අයහපත් කාලගුණික තත්ත්වයත් එක්ක ඇතිවුණු ගංවතුර තත්ත්වය නිසා මේ වෙද්දි ජීවිත 11 ක් නැතිවෙලා.
ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වෙලා.
ජීවිතේ අමාරුවෙන් ගොඩනගාගත්තු හුඟක් දේ වැස්සට හේදිලා යද්දි ඒ දේ දරාගන ඉන්නවා කියන එක ගොඩක් අමාරු දෙයක්.
මානසිකව ඒ වේදනාව ප්‍රශ්නය තියන කෙනාට තරම් වෙන කෙනෙකුට නොතේරෙන්න පුළුවන්.
මේ නිසාම අපි හිතුවා ගංවතුර තත්ත්වයෙන් ඇතිවන මානසික ව්‍යාකූලතාවයට පිළිතුරක් වගේම එවන් කෙනෙකුට වචනයකින් හෝ ශක්තියක් වෙන්න.
ඒ නිසාම මේ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න අපි කතා කළා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ට.
“ව්‍යසනයකට පස්සේ ප්‍රධානම දේ තමයි ආරක්ෂාව. ගංවතුර තත්ත්වයක් ආපසු ඇතිවෙයිද..? තමන්ගේ ජීවිත ආරක්ෂාව හා දේපල ආරක්ෂාව යන කරුණු ප්‍රධාන වශයෙන් බලපානවා.
ගංවතුර බැස ගියාට පස්සේ ජීවිත ගොඩනගාගන්න අවශ්‍යයි.
නැවත තමන්ගේ සුපුරුදු ස්ථානවල පදිංචිය තහවුරු කරගන්නයි ඒ අයට ඕනේ.. ඒ වගේම ඉදිරියේදි වැසි තත්ත්වය, තියෙන අවධානම ගැන නිවැරදි තොරතුරු අදාල අංශවලින් පීඩාවට පත්වුණු ජනතාවට දෙන්න ඕනේ.
එතකොට ඔවුන්ගේ බය අඩුවෙනවා. එය මානසික තත්ත්වයට ගොඩක් බලපානවා.
ඒ වගේම පවුලේ අය එකට එන්න එක වටිනවා. පවුලේ අය ඉන්නේ විසිරිලානම් මේ වගේ අවස්ථාවකදි ඒ අයව එක්කරන එක වැදගත්.
මේ වගේ වෙලාවක දෙමව්පියෝ වෙන වෙන වැඩවල.. ගෙවල් සකස්කරගන්න තමයි වැඩි අවධානයක් දෙන්නේ. එතකොට ළමයි ගැන තියෙන අවධානය අඩුවුණාම අනතුරුවලට භාජනය වෙන්න පුළුවන්.
ළමයි දෙමව්පියෝ ළග නැතිවුණාම අනාරක්ෂිත බව දැනෙනනවා.
ගංවතුර තත්ත්වයෙන් ජීවිත නැතිවෙලා තියෙනවා, දේපල නැතිවෙලා තියෙනවා. හිතේ ලොකු දුකක් තියාගෙන ඉන්නේ. මේ දුක පිටකරගන්න කෙනෙක් නැහැ.
ඉතිං වැදගත්ම දේ තමයි ළඟම හිතවතෙකු සමඟ හරි මේ ප්‍රශ්න කතාකරන්න. ඒක වැදගත් දුක හිතේ තදකරගෙන ඉන්නවට වඩා.
අනිත් අයගේ යුතුකම තමයි මේ අයට අවශ්‍ය මොනවද, උදව් කරන්න ඕන කොහොමද කියන එක.
ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු තියෙනවානම් ඒවට ඇහුම්කං දෙන එක ගොඩක් වැදගත්.
අලුතින් ජිවිත පටන් ගන්න මේ අයට උදව් කරන්න ඕනේ..
ළමයිනම් නැවත පාසල වෙත ඉක්මනින් යොමු කරන්න කල්පනා කරන එක වැදගත්.
ආබාධිත අය, දරුවෝ මානසික රෝගීන් ගැන බලන්න ඕනේ.
වැදගත්ම දේ තමයි දිනපතා ගත්තු බෙහෙත් ගන්න එක. හෘද රෝග, මානසික රෝග තත්ත්වයන් තියෙන අයට දිනපතා ගන්න ඕනේ බෙහෙත් මගහැරෙන්න පුළුවන්.
එහෙම වුණොත් ප්‍රශ්න වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා බෙහෙත් දිනපතා ගැනීම වැදගත්. ඒවට පවුලේ අය උපදෙස් දීම වැදගත්.
දරුවෝ ගැන බැලුවොත් එයාලගේ පොත් පාසල් බෑග් නැතිවෙලා තියෙන්න පුළුවන්. ඒ ගොල්ලන්ගේ ලෝකේ වැදගත්ම දේවල් තමයි ඒවා. ඒවා ලබාදෙන එකයි වැඩියෙන්ම වැදගත් වන්නේ.
නිවාස අහිමිවෙලා කඳවුරකනම් ඉන්නේ සෙල්ලම් කරන්න තැනක් ලබාදෙන එක ඒ අයව ළඟට අරගෙන සෙනෙහස, ආදරය ලබාදෙන එක වැදගත්.
මෙම ව්‍යාසනයෙන් ජීවිත අහිමිවෙලානම්, නිවාස නැතිවෙලානම් ඒ අයට වගේම හිතවතුන්ට මානසික බලපෑම් ඇතිවෙන්න පුළුවන්.
එය ආකාර දෙකකින් ඇතිවෙන්න පුළුවන්.
ඒ කෙටි කාලීන බලපෑම සහ දිගු කාලීන බලපෑම වශයෙන්.”
* කෙටි කාලීන බලපෑම
බොහෝ විට දින කිහිපයකින් ඉබේම පහව යයි..
නින්ද නොයාම, තරහ, පපුවේ දැවිල්ල, හෘද ස්පන්දනය වේගවත් වීම, හුස්ම සිරවීම, කතාව අඩුවීම, කෑම බීම ප්‍රතික්ෂේප කිරීම, දින චර්යාව වෙනස් වීම, තීරණ ගැනීමේ අපහසුව, නපුරු සිහින පෙනීම, අනතුරු සම්බන්ධ සිද්ධීන් මැවී පෙනීම, බියවීම, කලකිරීම, මියගිය අය නිතර සිහිවීම, ඔවුන් ගැන අධික වියෝ දුක, විනාශ වූ දේ පිළිබඳ අධික ලෙස දුක්වීම.
- දිගුකාලීන බලපෑම්
විශාදය
කලකිරීම, නින්ද නොයාම, අසුබවාදී සිතුවිලි, සියදිවි නසාගැනීමට සිතීම සහ වෙනත් ලක්ෂණ.
මේ ලක්ෂණ දිගු කාලීනව තියෙනවනම් මානසික සෞඛ්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි..