Health & Beauty

කාන්තාවන් වැඩිපුරම තරබාරු ඇයි ? – කෙට්ටු වෙන්න ඕනනම් මේ කතාව කියවන්න

අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු අය අතුරින් බොහෝ දෙනකු කාන්තාවෝ වෙති.
එයට හේතුවන කරුණු අපට සමාජය තුළින්ම සොයාගැනීම අපහසු නොවේ. බොහෝ ලෙසින් මෙයට හේතුවනුයේ සමාජමය ආකල්පයන්ය.

මෙම කාන්තාවන් අතුරින් වැඩිපුරම තරබාරු බවට ගොදුරුව ඇත්තේ විවාහ වී දරුවන් ලද කාන්තාවෝය. මෙම තරබාරු බවට හේතු රැසක් බලපායි. මෙම හේතු මොනවාදැයි දැනගෙන සිටීම, කාන්තාවන්ට සිය තරබාරුබවින් ගොඩ ඒමට (මිදීමට) මහඟු අවස්ථාවක් උදාවනු ඇත.

මෙම කරුණු මොනවාදැයි අපි එකින් එක විමසා බලමු.

1. පරිවෘත්තීය වේගය
මෙහිදී පිරිමියාට වඩා කාන්තාවගේ පරිවෘත්තීය වේගය අඩුය. එබැවින් ශක්ති අතිරික්තයට ගොදුරුවීම කාන්තාවන්ට වැඩි ඉඩක් පවතී.

නමුත් කාන්තාවන් පවසනුයේ තමා එතරම්ම ආහාර නොගන්නා බවත්, ඒත් මහත් වන බවත්ය. එහෙත් පිරිමියා තරබාරු අතින් අඩුවන බවත් කියමින් කාන්තාවෝ මැසිවිලි නගති. එය එසේ වන්නට හේතුවනුයේ ශක්තිය අධික ආහාර කාන්තාව විසින් ලබාගැනීමත්, එම ශක්තීන් හරිහැටි පරිවෘත්තියට පත් නොවීමත් නිසා එය මේදය ලෙස තැන්පත් වීමත් නිසාය.

2. ආහාර රටාව
අතීතයේ සිටම බොහෝ කාන්තාවෝ තමා ආහාර ගනුලබනුයේ ගෙදර අය අනුභව කිරීමෙන් පසුවය. එකල්හි බොහෝ විට ආහාර බඳුන්වල අඩියේ ඉතිරිවන තෙල් අධික කොටස් ආහාරයට ගැනීම නිතැතින්ම සිදු වේ.
එපමණක් නොව දරුවන්ට ආහාර කැවීමේ දී බඳුනේ ඉතුරුවන සියල්ලම ද අනුභවයට පුරුදු වී සිටිති. මෙම ක්‍රියාදාමයට හුරුව ඇත්තේ නිතැතින්මය.
මේ නිසා අනවශ්‍ය ශක්ති ප්‍රමාණයක් තමා නොදැනුවත්වම තම ශරීරයට එක්කර ගනී. දවසේ ප්‍රධාන ආහාර වේල් තුනේදීම මේ ක්‍රියාදාමය සිදුවේ. තමා නොදැනීම අනවශ්‍ය මේද කොටස් ශරීරයේ තැන්පත් වීම, නිතඹ, කළවා, උදරය මෙන්ම අත්ගොබ යන්නෙහි ද තෙල් තට්ටු වශයෙන් තැන්පත් වීමට පටන් ගනී.
නිතරම පිටි සහිත ආහාර බිස්කට් සහ කට ගැස්ම (තෙල් සහිත වර්ග) අනුභවය ද සිදු කරයි. වරින් වර මෙසේ තෙල් අතිරික්තයක් එකතු වීම තරබාරු බවට හොඳ සාධකයක් සපයයි.
පොදුවේ සලකන විට, පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ කය වෙහෙසවා සිදු කරනු ලබන මේදය දහනය වන ක්‍රියාකාරකම් අඩුය. එබැවින් ශක්තිය වැය කිරීම ද අඩුය. එම නිසාම ශක්ති අතිරික්තයක් සිරුර තුළ ඇති වීම නිසා තරබාරු බව ඇති වේ.
මීළඟට තම අව අවස්ථාවක් වනුයේ කාන්තාව ගර්භණී සමයේ දී හා කිරි දෙන සමයේ දී වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීමය. මෙසේ ආහාර ගැනීම පුරුද්දක් ලෙසට ඇබ්බැහි වීමට පටන් ගැනීමත් සිදු වේ. මේ නිසා මේ පිළිබඳ සැලකිලිමත් වී මෙම කාලය අවසන් වීමෙන් පසුව ආහාර ප්‍රමාණය අඩුකර ගැනීමට තමා විසින්ම වගබලා ගත යුතු වේ. මෙහි තමා විසින් තමාවම පාලනය කරගැනීමට තීරණයක් ගත යුතුය.

3. ජීවන රටාව
සමාජයේ පවතින නොයෙකුත් මතිමතාන්තර හා ආකල්ප නිසා කාන්තාවට බොහෝවිට ව්‍යායාම සඳහා යොමු වීම අඩුය. විශේෂයෙන්ම රැකියාව නොකරන කාන්තාවෝ ගෙදර දොර හා තම පවුලේ කටයුතු සඳහා පමණක් කොටු වී සිටීමෙන් ව්‍යායාම සඳහා යොදවන්නට කාලයක් නොලැබීමය.
මීටත් වඩා අද කාන්තාව තරබාරු බව අධිකවීමේ හේතුවක් ලෙස දැක්විය හැක්කේ බාහිර ක්‍රියාකාරකම් අවම වීමය. ගෙදර රූපවාහිනිය නැරඹීම අද කාන්තාවගේ ජනපි‍්‍රයතම විනෝදාංශය බවට පත්වී හමාරය. එහිදී කාන්තාව ආහාර ගැනීමෙන් පසුවද ආහාර ගන්නා අතරතුරද රූපවාහිනිය නරඹන අතර ඉන්පසුව සමහර කාන්තාවෝ දිවා ආහාරයෙන් පසුව නිදාගැනීමට ද පුරුදු වී සිටිති.
මේ හේතු නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ද හොඳින් සිදුනොවන අතර ආහාරයේ තෙල් සහිත කොටස් දහනය වීමක් සිදුනොවන බැවින් එම මේද කොටස් තැන්පත්වීම සිදුවේ.

4. මානසික ආතතිය
අද සමාජයේ බහුතරයකගේ පවුලේ සියලු ගෘහ කළමනාකරන කටයුතු බොහෝ දුරට සිදුකරනු ලබනුයේ කාන්තාව විසින්ය. සැමියා රැකියාවේ කාර්යබහුල වන අතර දරුවන් සහ සියලුම එදිනෙදා ජීවිතයේ හැලහැප්පීම්වලට මුහුණ දීම සහ සොයා බැලීම ආදී කටයුතු ගෘහණිය අතින්ම සිදුවන අවස්ථා බහුලය.
මේ නිසා කාන්තාවෝ දැඩි මානසික ආතතියට ලක්වීමට හේතුවිය හැක. මෙම නිසා අතුරුඵලයක් ලෙස මෙම මානසික ආතතිය නැතිකර ගැනීම සඳහා වැඩිපුර ආහාර ගැනීමට ද නිතර නිතර මොනවාහෝ දෙයක් සපමින් මුව තුළ රඳවා සිටීමට ද පුරුදු වී සිටිති. මෙය ද නොදැනුවත්වම තරබාරු බවට අතවැනීමක් වනු ඇත.

5. ආර්තවහරණය
කාන්තාවන්ගේ ආර්තවහරණයේදී ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් ද මෙම තරබාරු බවට තවත් හේතු සාධකයන්වෙයි. එම අවස්ථාවට ළඟාවෙමින් සිටින බොහෝ කාන්තාවෝ තෙල් අධික, සීනි සහ ලුණු අධික ආහාර ගැනීමට පුරුදු වී සිටිති.
මෙහිදී ඉතාම සුලබව දැකිය හැකි කරුණක් නම් ආර්තවහරණ සමයේ කාන්තාවගේ උදර ප්‍රදේශයේ මේදය තැන්පත්වීමෙන් උදරය ඉදිරියට නෙරා ඒමය.
එපමණක් නොව එම උදරය ඉදිරියට නෙරා ඒමෙන් එල්ලා වැටීම සිදුවේ. සිරුරේ ඇති අධික වූ මේද කොටස් සම යට තැන්පත්වීම මෙම තත්ත්වයට හේතුවේ.
එබැවින් තරබාරු බව කාන්තාවන්ගේ ජීවිතයට නිරතුරුව අතවැනීමට හේතුවන ශාරීරික තත්ත්වයන් මෙන්ම, අප විසින්ම සිදුකරනු ලබන වැරැදි ජීවන රටා සහ ආහාර පුරුදු පිළිබඳව නිසි අවබෝධයෙන් සිටීමෙන් සහ වැරැදි නිවැරැදි කරගැනීමෙන් තරබාරු බවින් අත්මිදීමට හැකිවනු ඇත.
මේ මඟින් ඔබගේ සුන්දර රූ සපුව සහ ශාරීරික සුවතාවයට තවදුරටත් තර්ජනයක් නොවන අයුරින් කටයුතු කරගැනීම සඳහා නුවණ මෙහෙයවා ගැනීම අගනේය.

වෛද්‍ය කේ. එල්. ජී. අමරනායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!