පසුගිය දවස්වල රටේම කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය ගැන.
මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයෙකු බවට සැලකෙන කැළුම් ඉන්දික නැමැත්තා සතුව තිබී මෙම මැණික සොයා ගැනීමත් සමග එයට සිදු කරන්නේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා.
කෙසේවෙතත් අදාළ දියමන්තිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් එය මැණික් හා ස්වරණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර තක්සේරු වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර තිබූ අතර එම දියමන්තියේ නියම වටිනාකම ලබන 11 වැනිදාට ලබා දෙන බව එම ආයතනය පවසා තිබෙනවා.
මේ අතර පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම දියමන්තිය රේගු නීති රීති උල්ලංඝනය කරමින් සෞදි අරාබියේ සිට මෙරටට ගෙන්වා ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවීම නිසා එය රාජ සන්තක කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
එසේම මෙම දියමන්තියේ හිමිකාරිත්වය ඔප්පු කිරීමට එහි හිමිකරුට නීත්‍යනුකූල ලිපි ලේඛන කිසිවක් නොමැති බව ද පොලිසිය පවසන අතර මැණික් ව්‍යාපාරිකයා සතුව ඇති ලිපි ලේඛන පෞද්ගලික ආයතනවලින් ලබාගත් ඒවා බව ද පොලිසිය පවසනවා.
මෙම දියමන්තියේ හිමිකරු බව කියන මැණික් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් සෞදි අරාබියේ රැකියාවක් කළ කාලසීමාවේදී පස් ගොඩක තිබී මෙම දියමන්තිය හමුවූ බවටයි.
එසේම මෙලෙස මැණික හමුවූ පස්ගොඩ දකුණු අප්‍රිකාවෙන් රැගෙන ආ ඒවා බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
