අමන්දාගේ උපන්දිනයට ලස්සන පුදුම කිරීමක් ලැබුණා නේද?
ඔව්. අකිලට ලොකු ඕනකමක් තිබුණා අපේ දරුවා ලැබෙන්න කලින් මගේ අන්තිම උපන්දිනය හොඳට සමරන්න. මාධවී අක්කයි මිලාන් අයියයි තමයි උපන්දින සාදය සංවිධානය කළේ. මගේ උපන්දිනයයි බබා ඉපදෙන්න කලින් ගන්න උත්සවයයි දෙකම එකට සැමරුවා. ඒ ඔක්කොම අපේ අක්කාගේ අදහසකට අනුව වුණේ. පවුලේ සියලු දෙනා එකතු කරගෙන ඒ වගේ උත්සවයක් ගන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් තියෙනවා.
අමන්දත් දැන් මවක් වෙන්නනේ සූදානමින් ඉන්නේ. මවක් වෙන්න යනවා කියලා දැනගත්තම මොකද හිතුණේ?
ඒක පුදුමයක් වගේ. මම අම්මා කෙනෙක්, අකිල තාත්තා කෙනෙක් වෙනවා කියන එක දැනෙද්දී ගොඩක් සතුටු හිතුණා. මුලින්ම ඒ ආරංචිය කිව්වේ මවුපියන්ට.
ඒ ආරංචියත් එක්ක අලුත් වගකීම් ගොඩක් ජීවිතයට එකතු වෙනවා නේද?
ඔව්. ඒ වගකීම එදා ඉඳන්ම දැනුණා. මම අම්මා කෙනෙක් වෙන්න යන නිසා ඇවිදින එකේ ඉඳන්ම පරිස්සම් වෙනවා. අකිලත් මං ගැන සැලකිලිමත් වෙනවා. හිතලා බලලා දරුවට ගන්න ඕනි දේවල් පවා බලලා ලොකු සූදානමකින් වගකීමකින් තමයි දැන් ඉන්නේ.
පවුලට එකතුවෙන අමුත්තා දුවෙක්ද පුතෙක්ද කියලා හැමෝටම කලින් මාධවී දැනගත්තා නේද?
ඔව්. අපි අන්තිමට ඩොක්ටර් ගාවට ගිය වෙලාවේ අපිවත් එළියට යවලා අක්කා තමයි ඩොක්ටර්ගෙන් අහගත්තේ අපිට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. ඊට පස්සේ පාටි එක දවසේ තමයි අපි දෙන්නා දැනගත්තේ අපිට ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලා. එතැන හිටපු හැමෝම පුදුම වුණා. හරිම සතුටුයි.
අමන්දා දුවකුටද පුතකුටද කැමැත්තෙන් හිටියේ?
දුවෙක් වුණත් කැමැතියි. පුතෙක් වුණත් කැමැතියි. හැබැයි මම ප්රෙග්නට් කියලා දැනගත්තම අකිල නම් මුලින්ම කිව්වා දුවෙක් තමයි ලැබෙන්නෙ කියලා. ඉතින් දුවෙක් ලැබෙන එක හොඳයි කියලා හිතුණා.
අකිලගේ කාර්යබහුලත්වය එක්ක අමන්දා වෙනුවෙන් කාලය වෙන්කරන්නේ කොහොමද?
කාර්යබහුල වුණත් වෙනදාටත් වඩා අකිල මං ගැන හොයලා බලනවා. මට ගෙදර අස්පස් කරන වැඩ කරන්න අමාරු නිසා එයා ඒ වැඩකටයුතුත් හරි ආසාවෙන් ආදරයෙන් කරනවා.
ඒ කියන්නේ අකිල හොඳ සැමියෙක්?
අනේ ඔව්. අකිල ඇත්තටම හරි ආදරණීය කෙනෙක්.
පවුලට හා හා පුරා කියලා එකතුවෙන මුනුපුරා නිසා පවුලෙන් වැඩි සැලකිල්ලක් ලැබෙනවා ඇති?
අනේ ඔව්. අම්මා, අප්පච්චී, අක්කා, අයියා, චූටි මල්ලීි, නංගී, අම්මාගේ අප්පච්චීගේ පවුලේ අය පවා හරිම ආදරෙයි මට. කන්න බොන්න වුණත් මොනවා හරි ආසයි කිව්වම පස්සේ දවසෙම ගෙනත් දෙනවා. මං ගැන හැම තිස්සෙම හොයලා බලනවා.
