Gossip

එයාගේ පර්ස් ඒකේ රුපියල් 1,000යි නම් තියෙන්නේ ඒ 1,000ත් කාටහරි දීලා එනවා..දේශපාලනය කරපු කාලෙදිවත් එයාට කියලා කිසිම දෙයක් හම්බ කරගත්තෙ නැහැ.. රොජර් සෙනෙවිරත්නගේ බිරිඳ කියයි..

කොහොමද ඔබ සහ රොජර් මුණගැහුණේ?
නාට්‍යයක් කරන අතරතුර තමයි මට එයාව මුණගැහුණේ. මම ඒක බලන්න ගියා. ඒ හමුවීම තමයි මේ තරම් දුර ආවේ.

මුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක් ලෙසද හඳුනාගත්තේ?
හරිම මිත්‍රශීලීයි. ඒ නිසාමයි එයාට ගොඩක්ම කැමැති හිතුණෙත්.

පෙම්වතා කාලේ රොජර්?
එතකොටත් එහෙම්මම තමයි. ටිකක් විතර කේන්ති යනවා. ඒත් ඉතින් විනාඩි කිහිපයක් ඇතුළත ඒ කේන්තිය ඉවරයි. ඒ කාලෙත් ඔහු හරිම ලස්සනයි. කිසිම ලොකුකමක් නැහැ. හරිම සාමාන්‍යයි ඉතින්.

සැමියෙක් විධියට ඔහු?
ගෙදරට වෙලා ඉන්න හුඟක් කැමැතියි. එයා ගෙදර නම් අපිත් එයා එක්කම ගෙදර ඉන්නවට කැමැතියි. ගෙදර වැඩවලටත් ඔහු උදවු කරනවා. හැබැයි උයන පිහන ඒවා නම් බැහැ. ඒත් මල් ගස්වලට සාත්තු කරනවා. ඒ වගේ දේවල් කරනවා.

ජනප්‍රියත්වය ගැන ඔහු හිතන විධිය?
ජනප්‍රියත්වය ගැන සත පහකටවත් හිතන්නේ නැහැ. සරමයි, රබර් සෙරෙප්පු දෙකයි දාගෙන හන්දියටත් ගිහින් එනවා. අපි වෙලාවකට කියනවා කොණ්ඩෙ කපලත් නැහැ, රැවුල කපලත් නැහැ නේද කියලා. එතකොට එයා කියනවා “අයියෝ ඒවා ඕනෙ නැහැ” කියලා. හැබැයි ඉතින් දකින ඕන කෙනෙක් එක්ක හොඳට කතා කරනවා. හන්දියට ගියත් ගොඩක් වෙලාවකට පස්සෙ තමයි ගෙදර එන්නෙ. ඇයි ඉතින් හැමෝම එක්කම කතා කරනවනෙ. ගෙදර ඉද්දිවත් කියන්න බැහැ ඉතින් මේ ඉන්නෙ රටේ දන්න කෙනෙක් නේද කියලා.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන්නෙ කොහොමද?
අනේ අපිත් ඒ ගැන එහෙම හිතන්නෙ නැහැ. ඒත් ඉතින් තැනකට ගියාම එයාට ඕන දෙයක් ඉක්මනින් කරගන්න පුළුවන්. ඒවගේ වාසි තියෙනවා ඇරෙන්න ඒකෙන් කියලා ප්‍රයෝජන නම් ගන්නෙ නැහැ.

රංගන භූමිකාවේ හිරවුන ඔහුට පවුල සහ ඔබව මඟහැරෙන්නෙම නැද්ද?
අනේ නැහැ. නාට්‍යවල රූගත කිරීම්වලට දවසක් දෙකක් ඉන්න වුණොත් අපිවත් එක්කගෙන තමයි යන්නෙ. හදිසියේ හරි එහෙම එයාට ඉන්න වුණොත් අපිට එන්න කියනවා. ඔහුට නිතරම ගෙදරත් එක්ක පුදුමාකාර බැඳීමක් තියෙනවා. අපිට යන්න බැරි වුණොත් රෑට ගෙදර ඇවිත් උදේ පාන්දරම වැඩේට යනවා.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් මොනවාද?
එයා ඉතින් එයාට කියලා කිසිම දෙයක් හම්බකරගත්තෙ නැහැ. එයාගේ පර්ස් ඒකේ රුපියල් 1,000යි නම් තියෙන්නේ ඒ 1,000ත් කාටහරි දීලා එනවා. එයා ගෙයක්වත් හදාගෙන නැහැ. හැබැයි කාටහරි ගෙයක් හදලා දෙන්න වුණොත් එයා ඒක කරලා දෙනවා. දේශපාලනය කරපු කාලෙදිවත් එයාට කියලා කිසිම දෙයක් හම්බ කරගත්තෙ නැහැ.

ඔහු වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔළුවට බර වගකීම් නම් එච්චර ගන්න කැමැති නැහැ. මොනවා හරි ගෙවීමක් කරන්න වුණත් “නංගිලා ගෙවයි, නෝනා ගෙවයි” කියලා පාඩුවේ ඉන්නවා. ඇයි ඉතින් හම්බ කරන හැම දේම ගෙනත් දෙන්නෙ අපිටනෙ.

සාමාන්‍ය ජීවිතයේදී ඔහු?
ඉතාමත් සාමාන්‍ය කෙනෙක්. ප්‍රේක්ෂකයො අපේ ගෙදර ආවොත් තේරෙයි මේ රූපවාහිනියෙ ඉන්න රොජර් සෙනෙවිරත්නමද කියලා. රූපවාහිනියෙ ඉන්න කෙනා අපේ ගෙදර අහලකවත් නැහැ. කොහොමටත් ගෙදර ඉන්නකොට අපිට තේරෙන්නෙ නැහැ මෙයා නළුවෙක් කියලා.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් විධියට හිතන කෙනෙක්ද?
මම හිතන්නෙ ඔහු ඔය දෙක අතරෙ ඉන්නෙ. ඕනම වැඩක් හරිම පිළිවෙළට කරන කෙනෙක්. මොකක් හරි වැඩක් පටන්ගත්තොත් රෑ එළිවෙනකම් හරි කරලා ඉවර කරනවා. ඒ වගේම කම්මැළියි කියලා හිතුණොත් දවසම වුණත් ඔහේ ඉන්නවා.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඇත්තටම ඔව්. මොකද එයා හරිම සාමාන්‍ය විධියට ඉන්න කෙනෙක්නෙ. එයාට හෝටලයකට ගිහින් කන්නත් පුළුවන්. ඒ වගේම පැල්පතකට ගිහින් කන්නත් පුළුවන්. එයා ඒ වගේ කෙනෙක්.

ගොඩක් දුක හිතුණම ඔහු?
තාත්තා නැති වුණු වෙලාවේ නම් ඇඬුවා. ඒ ඇරෙන්න ඉතින් දුක හිතුණම පාඩුවේ ඉන්න තමයි කැමැති. සමහර වෙලාවට ඉතින් දුකක් දැනුණම කියවනවා. කොහොමත් අපිට ගොඩක් දුක හිතෙන දෙයක් වෙලා නැහැ

ගොඩක් සතුටු හිතුණම ඔහු?
එහෙම විශේෂයක් නැහැ. සතුටින් ඉන්නවා. කිසි දෙයක් ලොකුවට ගණන් ගන්නෙ නැති නිසා ඒ වෙලාවට විතරයි ඉතින්.

තරහ ගියාම ඔහු?
ඒ වෙලාවට කෑගහනවා. හැබැයි ඉතින් ඒකත් ඒ වෙලාවට විතරයි.

ඔහු වැඩිපුරම සතුටු වුණු දවස?
මට හිතෙන්නෙ දුව හම්බවුණු දවස වෙන්න ඇති.

ඔහු ජීවිතයේ ජය ගත්ත දේවල්?
රඟපෑම පැත්තෙනුත් එයා ජයගෙන තියෙනවා. ඒත් එයා නම් අද චරිතයක් කළොත් හෙට කියනවා ඊට වඩා හොඳට කරන්න තිබ්බේ කියලා. ඒ වගේම අලුත් අලුත් චරිත රඟපාන්න කැමැතියි.

ඔහු වැඩිපුරම යන්න කැමැති තැන්?
කවුරුත් වැඩිය නැති කැලෑවල් වගේ නිදහස් තැන්වලට යන්න කැමැතියි. ඒ ඇරුණම කතරගම, අනුරාධපුරය, රුවන්වැලිසෑයට යන්නත් කැමතියි.

ඔහු වැඩිපුරම ආදරේ කාටද?
මටත් හරි ආදරෙයි. දුවටත් ආදරෙයි. හැබැයි ඉතින් හැමකෙනා ගැනම හොයලා බලනවා. කාටවත් කියන්නෙ නැහැ “මම මෙයාට හරිම ආදරෙයි” කියලා. අම්මටත් ගොඩක් ආදරෙයි.

ඔහුට නැතිවම බැරි අය කවුද?
ගෙදර අයව නම් ඔහුට ඕනෙමයි.

මොන වගේ විලාසිතාවලටද කැමැති?
ඉස්සර නම් හරිම ලස්සනට ඇන්දා. විලාසිතා කළා. ඒත් දැන් නම් තියෙන එකක් අඳිනවා. ගොඩක්ම ඉතින් අපි ගෙනත් දෙන ඒවා තමයි අඳින්නේ.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
ගොඩක් අය කියනවා එයා හැමෝටම උදවු කරන හරිම නිහතමානී චරිතයක් කියලා. ඒ ගැන මටත් සතුටුයි.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?
තවම නම් එහෙම එකක් අහලා නැහැ.

එහෙම ආරංචියක් ආවොත්?
එයා ගැන අපි දන්න නිසා අපිට එහෙම කලබල වෙන්න දෙයක් නැහැ. මොකක් හරි හේතුවක් තියෙයිනේ. එහෙම නරක ආරංචියක් එන එකකුත් නැහැ.

ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල් මොනවද?
එයා පවුලට තමයි ප්‍රධාන තැනක් දෙන්නෙ. රූපගත කිරීම්වලට වුණත් යන්නේ අපිට කරදරයක් නොවෙන්න.

විනෝදාංශ?
සතුන්ට සලකනවා. ඒ වගේම ගස්වල කොටස් කෑලි එකතු කරනවා. මල් පැළ, ගස් වර්ග, එළවළු වවනවා. කුරුල්ලන්ට එහෙම ලෙඩ වුණාම එයා බෙහෙත් කරනවා. සමහර අය සත්තුන්ව ගෙනැල්ලත් දෙනවා සනීප කරලා දෙන්න කියලා.

ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?
මනුස්සකම කියන්නෙ හුඟක් වටින දෙයක්නෙ. ඒ දේ දීලා තියෙනවා. ඒක ඇත්තටම වටින දෙයක්. යටි හිතේ දෙයක් තියාගෙන උඩින් එකක් පෙන්නන් ඉන්න කෙනෙක් නෙවෙයි එයා. හිතේ තියෙන දේ කෙළින්ම කියලා දානවා. එතැනින් එහාට ඒක ඉවරයි. ඊට පස්සෙ ඒ කෙනාව හොඳින් ආශ්‍රය කරනවා.

ඔහුට ගැළපෙන නිළිය කවුද?
එහෙම නැහැ ඉතින්. ඕනම කෙනෙක් එක්ක එයාට හොඳට රඟපාන්න පුළුවන්. චාතුර්යා කරන කාලේ නයනා එක්ක හොඳට වැඩ කළා. ඩිලානි අබේවර්ධන, සංගීතා වීරරත්න, වසන්ති චතුරානි වගේ ඕනම කෙනෙක් එක්ක හොඳට රඟපාලා තියෙනවා.

ඔහු ගැන අපි නොදන්න රහස්?
එයා ඉතින් සාමාන්‍යයෙන් විවෘත කෙනෙක් නිසා එහෙම දේවල් නැහැ. එයා රූපවාහිනියෙන් පේන චරිතයට වඩා බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!