ඉකුත් නව වැනි දා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව බාඳුරාගොඩ ප්‍රදේශයේ මියගිය අයෙකුගේ මළ සිරුරක් නැවත ගොඩගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනු ලදී. වමනය, පාචනය, ඇස් දැවිල්ල, ආදී රෝග ලක්ෂණ හේතුවෙන් මීරිගම රෝහලට ඇතුළත් කළ එම පුද්ගලයාගේ සිරුර ගොඩගැනීමට හේතුව කසිප්පු පානය කිරීම නිසා සිදු වූ මරණයක් යැයි ඥාතීන් සැක පහළ කිරීමයි.
කසිප්පු විස වීම හේතුවෙන් මීරිගම, බාඳුරාගොඩ අවට ගම් කිහිපයක බොහෝ පිරිසක් මියගිය අතර ඉහත රෝග ලක්ෂණ හේතුවෙන් තවත් පිරිසක් රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මිනිස් ජීවිත ගණනාවක් අවාසනාවන්ත ලෙස බිලිගත් වස සහිත කසිප්පු අලෙවි කළ හා නිෂ්පාදනය කළ බවට සැක කළ පිරිසක් මේ වන විට අත්අඩංගුවේය.
සිද්ධියට සම්බන්ධ යැයි කියන තවත් පිරිසක් ගම්පළාතෙන් ද අතුරුදන්ය.
එම සිදු වීම හේතුවෙන් පල්ලේවෙල හා මීරිගම පොලීසිවල පොලිස් ස්ථානාධිපතිවරුන් වෙනත් පොලිසිවලට මාරු කර යවා ඇත.
එහෙත් කසිප්පු චක්‍රය සක්රීයය. ජීවිත 14කට වග කී විස කසිප්පු කාරයන්ගේ කෙරුවා නිසා මේ ලියන මොහොත වන විට නම් මීරිගම හා පල්ලෙවෙල පොලිස් බල ප්‍රදේශ තුළ කසිප්පු ජාවාරම තරමක් දුරට ඇනහිට තිබේ.
වැඩේ අඩාළ වී ඇත්තේ සිදු වූ මරණ නිසාය. එහෙත් ඊට නුදුරු පොලිස් වසම් කීපයක කසිප්පු අලෙවි කරන්නේ වගේ වගක් නැති සේය.
පසුගිය දා තවමත් සක්‍රීය ඒ කසිප්පු තිප්පොළ දකින්නට ගියෙමු. හොරාට කසිප්පු පෙරන්නන් මෙන්ම ඒ තැන්වලට යන එන්නන්ද දකින්නට වෙහෙසක් දරන්නට සිදු වූයේ නැත.
වගේ වගක් නැතිව කසිප්පු පෙරා ප්‍රවාහනය කරන, කුඩා පොලිතින් කවර තුළ දමා අලෙවි කරන, කසිප්පු පැකට් රැගෙන යන හා පානය කරන පිරිස් ඒ තැන්වල අඩුවක් නම් නැත.
මෙතරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වී තිබියදී ද තමන්ගේම අතින් ගෙන කටට හලාගන්නේ වස ද විස ද කියා සිතන්නටවත් මොහොතක් ගත නොකර තව තවත් ඉල්ලන්නට එන මිනිසුන්ට සපයන්නට ඔවුන් සූදානම්ය.
ලේසියෙන්ම කළ හැකි පහසුවෙන් හා ඉක්මනින්ම ගොඩ යා හැකි මේ ජාවාරමට හුරු වු පිරිස ද ජාවාරම අතහැර යන්නට කිසි සේත් සූදානම් නැත. මීට වසර දහයකට පහළොවකට පෙර කාලය සසඳද්දී මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ කසිප්පු වෙළෙන්දන් සැලකිය යුතු අඩු වීමක් තිබෙන බව සැබෑය.
එය සිදු වන්නේ නීති සැර වීම නිසා නොව, යම් සමාජ ආර්ථික පරිවර්තනයන් සමඟය. අපට වැටහෙන තරමින් නීති රීති කොතරම් දැඩි කළ ද කසිප්පු පෙරීම නතර කිරීමට ඒවා ප්‍රමාණවත් වී තිබුණේ නැත.
කලකට පෙර මීගමුව හලාවත ආදී ප්‍රදේශවල කසිප්පු පෙරීම සිදු වූයේ බොහෝ ලිහිල් නීති රීති මැදය.
ඊට ලැබුණු දේශපාලන රැකවරණය ද සුළුපටු නොවේ. ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යන්නට නීත්‍යනුකූල නොවන අන්දමින් ලැබී තිබූ දේශපාලන අවසරය නිසා දංකොටුව වැනි ප්‍රදේශවල ඒ යුගයේ දඟරයක් හෝ පත්තක් නැති ගෙදරක් තිබුණේ නැති තරම්ය.
එක ළිපක බත් මුට්ටිය ඉදෙද්දී අනෙක් ළිප වෙන් වන්නේ කසිප්පු හැළියටය. එය කොතරම් සරලව පැවතුණාදැයි කියනවානම් හැලි අරක්කු පෙරීම සියයට අනූවක් පමණ සිදු කෙරුණේ කාන්තාවන් අතිනි. හැළිවලින් පෙරීමේදී දඟරය වෙනුවට හල්මිල්ල ලීවලින් තනාගන්නා පත්තක් භාවිතයට ගැනිණි.
වස නැති කසිප්පු
නිෂ්පාදනය වැඩි වීම හේතුවෙන් ඇති වන තරගකාරීත්වය නිසා එකල කසිප්පු ප්‍රමිතියකින් යුක්ත විය.
අහිතකර රසායනික ද්‍රව්‍ය එක් කිරීමක් සිදු වූ නැති තරම්ය. කාන්තාවන් විසින්ම අලෙවි කරන කසිප්පු අසල්වැසියන් මෙන්ම නිවසේ සාමාජික පිරිස (කාන්තාවන් ද ඇතුළුව) පානය කිරීම ද විස රසායනික වැනි දේ භාවිත නොකිරීමට බලපාන ප්‍රධානම හේතුවක් විය.
කසිප්පු පෙරීමට පොල් රා පමණක් යොදාගත් කාලයක් තිබිණි.
රා ප්‍රමාණයට අවශ්‍ය මාත්‍රාවට “ඊස්ට්” (බේකරි නිෂ්පාදන සඳහා පිටි පිපීමට යොදන පිපුම්කාරකය) එක් කර වඩිය පැසෙන්නට තැබුවේය. දින හතක් හෝ අටක් වැනි දීර්ඝ කාලයක් කාඩිය පැසුණු පසු පෙරීම සිදු කළේය. රා වෙනුවට සීනි හෝ පැණි ද භාවිත විය. වැඩි ලාබයක් ලැබීම සඳහා පැණි නිපදවීමෙන් අනතුරුව ඉතිරි වන පැණි මණ්ඩි හෝ ඉවත ලන කරවූ පැණි ද පාවිච්චියට ගැනිණි.
කරවූ පැණිවලින් නිපදවන කසිප්පු යම් පමණකට අප්‍රසන්න මලකඩ රසයක් හා ඒ සමාන ගන්ධයකින් යුක්ත විය.
සක්කරා” නැමති හකුරු භාවිත කළ විටත් පෙර සේම මලකඩ රසයක් හා ගන්ධයක් ඇති වෙයි. වර්තමානය වන විට ප්‍රවාහන අපහසුතා ගබඩා කර තබාගැනීමේදී මතු වන නීතිමය ගැටලු ආදිය හේතුවෙන් වැඩි වශයෙන්ම කසිප්පු පෙරන්නේ සීනි පමණක් උපයෝගි කරගැනීමෙනි.
කසිප්පු විකල්ප
පොල් රා, තල් රා, කිතුල් රා, ඇතුළු කුමක් යෙදුවත් කාඩිය දින හත අටකට වඩා වැඩි කාලයක් පල් වී පැසීමට සැලැස්විය යුතුය. එතරම් කාලයක් කාඩියක් සඟවා තබාගැනීම අසීරු කාරියක් වූ බැවින් පසු කාලයේ දී ඒ සඳහා නොයෙකුත් විකල්ප අත්හදා බැලීමට සිදු විය.
ස්වභාවිකව සිදු වන පැසීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට යොදා ගැනුණු අත්හදා බැලීම් මේ වන විට පමණටත් වඩා සාර්ථකය. කොතරම් සාර්ථකද කියනවා නම් ගහපු ගමන් නාගසලංය.
සමහර විට වළපල්ලටම යන ගමනට කසිප්පු උගුරක් ආමාශගත වීමෙන් ඉඩ සැලසෙයි.
කසිප්පු පෙරීම සඳහා සකස් කරනු ලබන ගෝඩා හැළිය ස්වභාවිකව පැසීමට දින හත අටක් ගත වුවත් අද වන විට දින එකහමාරක වැනි සුළු කාලයක් දක්වා ඒ පැසීමේ ක්‍රියාවලිය කෙටි වී තිබේ.
එතරම් ඉක්මනින් සිදු වන කෘතීම පැසීමක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන්ට අමතරව ඉතා විස සහිත යවකාර ලුණු, යූරියා පොහොර සහ ඇමෝනියා යොදාගනු ලබයි. මුල් කාලයේදී සුළු වශයෙන් එක් කරගත් මිනිස් ශරීරයට භයානක ලෙස අහිතකර එම රසායනික ද්‍රව්‍ය අධික ලෙස යොදමින් අද වන විට කසිප්පු පෙරීම සිදු කරයි.
කෙටි කාලයක් තුළ කාඩිය පැසීමේ රසායනික ක්‍රියාවලිය සිදුවනවා සේම අධික සැරක් ලබාගැනීම සඳහා ඉහත කී රසායනික වර්ග වැඩි ප්‍රමාණයක් යොදනු ලබයි. මෙරට තුළ කසිප්පු පෙරන සියල්ලෝම එම රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමෙන් කෙටි කාලයක් තුළ කසිප්පු නිපදවා ගැනීමට හුරු වී සිටිති.
දිනෙන් දින තැනින් තැනට මාරුවෙමින් හොරෙන් රහසින් නීතියේ ඇසට වැලි ගසා පෙරීම් ක්‍රියාවලිය සිදු කරද්දී භාවිත කරන ක්‍රමවල ද උපකරණවලට ද ප්‍රමිතියක් සොයන්නට පෙරන්නන්ට කලක් වේලාවක් ඉතිරි වන්නේ නැත. කාඩි සඟවා තබන්නට සිදු වන්නේ කිසිවෙකුටත් ඇස නොගැටෙන ඉසව්වල ය.
කැලෑවල සඟවා තැබීමේදී කාඩියට කටුස්සන්, මීයන්, ගැරඬින්, පමණක් නොව ඉතා විස සහිත සර්පයන් පවා වැටෙන අවස්ථා එමටය. පෙරීමට සහ කාඩිය දැමීමට භාවිත කරන බැරල් සේදීම පිරිසුදු කිරීම කුමන අයුරකින් සිදු කරනවා ද දන්නේ පෙරන්නන් ම පමණි. බැරල්වල ඇති මලකඩ, ඒවා සඟවා තබන තැන්වල තිබිය හැකි අහිතකර වස විස ප්‍රමාණ වශයෙන් කොතරම් එකතු වනවා දැයි අනුමාන කරන්නට බැරිය.
කසිප්පු පෙරාගැනිම සඳහා අවශ්‍ය පමණට පැසුණු පසු කාඩිය ළිපක් මත තබා පොල්කටුවලින් ගිනි දැල්වීම පැරණි ක්‍රමයයි. දැන් වැඩි දෙනා පොල්කටු ළිප වෙනුවට ගෑස් භවිත කරති. ළිප ගිනි දල්වා ගෝඩා රත් කිරීමෙන් වාෂ්ප බවට පත් වී පසුව තඹ දඟරයක් තුළින් ගමන් කරවා සිසිල් කරගන්නා ස්ප්‍රීතුව ලබාගැනීමට පෙරීම අවසන් වන තුරුම තඹ බඳුන සහිත භාජනයට සිසිල් ජලය එක් කළ යුතුය.
ඒ සඳහා මොන ජරා වළකින්, කුණු ඇළකින්, අසූචි පොකුණකින් හෝ ජලය ලබාගැනීමට “පෙරන්නන්” දෙපාරක් සිතන්නේ නැත.
පෙරා අවසන් වූ පසු ලැබෙන ස්ප්‍රීට් ප්‍රමාණයට එකට එකක් වතුර දමා කසිප්පු ප්‍රමාණය දෙගුණයක් කරගත හැකිය. ඒ සඳහා උණු කර නිවාගත් ජලය භාවිත කළ යුතුය. එලෙස කසිප්පු දෙගුණ කරන්නට භාවිත කරන්නේ උණු වතුරද, ඇල් වතුරද, පල් වතුරද කියා දන්නේද පෙරන්නන් ම පමණය.
මද්‍යසාර පෙරීමේදී ඊතයිල් හා මීතයිල් ඇල්කොහොල් ප්‍රභේද ඇති වේ. මත් වීමට සඳහා යොදා ගන්නේ ඊතයිල් ඇල්කොහොල්ය. මීතයිල් යනු අධිකම විස සහිත රසායනයකි. ක්ෂණික මරණය වුවද ළඟා කළ හැකි ඒ විස රසායනය වෙන් කරගැනීමට ප්‍රමිතිගත ස්කාගාර තුළ විද්‍යාත්මක ක්‍රම භාවිත කරයි.
නමුත් ගමේ කසිප්පු මුදලාලි ඊතයිල් වලින් මීතයිල් වෙන් කරගන්නේ අතේ හුරුවටය. ඔවුන්ට අනුව මුලින්ම බටය දිගේ ගලාඑන බෝතල් කාලක පමණ ස්ප්‍රීට් ප්‍රමාණය මිනිස් පරිභෝජනයට ඉතා අහිතකර අතිශය විස සහිත කොටසය. අප විද්‍යාවේදී ඉගෙන ගෙන ඇති ආකාරයට උග්‍ර විස “මීතයිල්” ය. විද්‍යාව හරි හැටි නොදන්නවා වුවද සමහර “පෙරන්නන්” මුල් ස්ප්‍රීතු කොටස දෙන්නේ කඩවර දෙවියන්ටය.
එසේ කියමින් මුලින්ම පෙරී එන ස්ප්‍රීට් යම් ප්‍රමාණයක් ගෙන ළිපට විසි කිරීම සිරිතය. මීතයිල් ශරීරගත වුවහොත් එය වමනය, ඇස් දැවිල්ල, පාචනය, ඉතා කෙටි වේලාවක් තුළ ඇස් නොපෙනී යාම, පමණක් නොව මරණයෙන් කෙළවර වන කෙළියකි.
සාර්ථකව වඩියක් ගසා නිම කරගැනීමට මනා පළපුරුද්දක් තිබිය යුතුය. නිවැරදිව වැඩේ නොකළහොත් සියල්ල අහකටය. දඟරයක් හෝ පත්තක් ඇති නම් ඉඳහිට වඩියක් ගසාගෙන මිතුරන් අතරේ පමණක් විකිණීමේ ක්‍රමද තිබේ. ඒ සඳහා බොහෝ විට ඉවත් කිරීමට ආසන්න පලතුරු යොදාගන්නා නිසා මෙයට පලතුරු වඩිය යැයි කියති. කසිප්පුවලට රස කාරක වර්ග යොදා පලතුරු වඩියෙ බඩු කියමින් වැඩි මිලට බඩු විකුණන පිරිස් ද ඔවුන්ට අහුවෙන පිරිස් ද ඕනෑ තරම්ය.
අලි ඉන්ජෙක්ෂන්
කැලෑ අලින් මෙල්ල කිරීම සඳහා භාවිතයට ගන්නා එන්නත් වර්ගයක් කල් ඉකුත් වූ පසු සාන්ද්‍රණය අඩු කොට කසිප්පු ලෙස වෙළඳපළට එන බව කසිප්පු පෙරන්නෝ කියති.
පෙති වර්ග දිය කර නිෂ්පාදනය කරන කසිප්පු වර්ග ගැන ද කතා පැතිරී ඇත. නුවරඑළිය, බණ්ඩාරවෙල ආදී සීතල පළාත්වල කසිප්පු නැත්තේ මොන දේ දැම්මත් සීතල නිසා කාඩිය පැසෙන්නේ නැති නිසාය.
“ඉස්සර වගේ නෙවෙයි දැං තියෙන කසිප්පුවල අඩු තරමේ කසිප්පු ගඳවත් නෑ. වෙරි නෙවෙයි තියෙන්නෙ නිදිමත. ගහපු වෙලේ ඉඳලා වැඩක් පලක් කරන්ඩ පණක් නෑ.
කොච්චර ගැහුවත් පැය බාගයක් යනකොට වෙරි බැහැලා. රෑට බීල නිදාගත්තාම පාන්දර දෙකට විතර ඇහැරෙනවා. ඒ වේලාවෙ ඉඳල පුදුම වතුර තිබහක් තමයි හැදෙන්නෙ.”
මේ එක් කසිප්පු බොන්නෙකු කී දෙයක් නොවේ. උදේ හවස කසිප්පු බොන්නන් හැමෝම කියන්නේ ඔය කතාවමය. ඊට හේතුව කුමක් දැයි අප දන්නේ නැත. එහෙත් සියල්ලන්ගේම දැනගැනීම පණිස මෙසේ ලියා තැබිය යුතුය. ඒ ලියන්නෙ “පෙරන්නන්ගේ” නව තම සොයාගැනීම පිළිබඳය. ඒ සොයාගැනීම නිසා ඔවුනට කාලය ශ්‍රමය පමණක් නොව මිලක්ද ඉතිරි කරගත හැකිය.
සිමෙන්තියෙන් කසිප්පු පෙරීම
නව ක්‍රමයට කසිප්පු නිෂ්පාදනය කිරීමට පෙර සේම සීනි, ඊස්ට්, වලට අමතරව යවකාර, යූරියා, ඇමෝනියා, නියමිත මාත්‍රාවට යොදා දවස් එකහමාරක් පමණ පැසෙන්නට තැබිය යුතුය. ඉන් පසුව සිමෙන්ති කිලෝ පහක් හයක් කාඩියට දමා බලාසිටින්නට වන්නේ පැයක පමණ කාලයක් පමණි. සිමෙන්ති යටට මිදී වැහි වතුරටත් වඩා පිරිසුදු වතුර තට්ටුවක් භාජනයේ ඉතිරි වෙයි. අනතුරුව කරන්නේ සිමෙන්තිවලට නොදැනෙන සේ බටයක් දමා පිරිසිදුව පෙනෙන වතුර වැනි දේ වෙනත් භාජනයකට වෙන් කරගැනීමය. එපමණකි. බෙදා හැරීම, පැකට් කිරීම, විකිණිම, පෙර පරිදිමය.
මේ විස බොන උන්ගේ බොකු බඩවැල් දිරාපත් නොවී තිබිය නොහැකිය. අදහාගත නොහැකි පුදුමය මුන් මේ කසිප්පු බී ජීවත්වීමය.
ඒ ජීවත්වන්නන් දෙස මතින් තොර රටක් හදන්නට දිවුරුම් දුන් ආයතන මවිත වී බලාගෙන සිටීමය.
ගමේ මේ ජාවාරම පසුපස සිටින්නේ ගමේ මැරයෝය. උන්ට අනුබල දෙන්නේ ගමේ දේශපාලකයෝය.
ඒ දේශපාලකයන් රැකෙන්නේ උන්ට උඩ ඉන්නා උන්ගේ දේශපාලන ලොක්කන්ගෙනි. පොලිසිය උන්ගේය. රටටම විස කසිප්පු බෙදනා ඇතැම් ජාවාරම්කරුවන් සමහර විට ඉන්නේ කවුන්සලයේය. නැති නම් කවුන්සලේ චරිත උන්ගේ ඔඩොක්කුවලය. එවිට සියලුම බලය උන් අතේය.
මේ විසම දාමය කසිප්පු විකුණන උන් හෝ බොන උන් අල්ලා නවත්වන්නට නොහැකි බව නොතේරෙන්නෙක් නැත.
තව ජීවිත ගණනාවක් එක් මොහොතක විස කසිප්පු බී ළපල්ලට ගිය විට අපට තව මෙවැනි රස කතාවක් ලිවිය හැකිය. ඔබට එය රසවිඳිමින් කියවිය හැකිය. කාටත් වැටහෙන පරිදි සිදු විය හැකි එකම දේ එපමණය.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
