Gossip

“ගැහැනියක් එක්ක යාළු වුණාම වෙන්නේ ඔය කියන අඛණ්ඩ සන්නිවේදනය වැඩි වීමයි.” – රන්ජන් හෙළි කළ කතාව මෙන්න

දේශපාලනයට අවතීර්ණ වීමත් සමඟ කලින් කලට පුවත් මවන ආන්දෝලත්මක චරිතයක් තමයි රන්ජන් රාමනායක කියන්නේ.
පසුගිය දවසක උසස් පෙළ විභාගයට පෙනී සිටි රන්ජන් ගැන හුඟක් දෙනෙක් කතා වුණා.
මේ ඒ ගැන රන්ජන් රාමනායක ඇමතිවරයා සතිඅන්ත පුවත්පතකට කියපු කතාවක්.

රංජන් රාමනායක උසස් පෙළ කිරීමත් අලුත් රංගනයක කොටසක් දෝ කසුකුසුවක් තිබෙනවා ?
මේක රංගනයක් වෙන්න බැහැනේ. මට නීතීඥයකු වීමේ දැඩි අවශ්‍යතාවක් වගේම හීනයක් තිබුණා.
එහි එක්තරා අඩිතාලමක් විදිහට පසුගිය වසරේ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් අවසන් කළා. ඒ පාඨමාලාවේ විෂයයන් හතරක් දැනටමත් සමත්.
පහු ගිය කාලේ අධ්‍යාපන සුදුසුකම්වල තියෙන ඒ අඩුපාඩුකම් සපුරා ගෙන එල්. එල්. බී කරන්න කියලා තිලක් මාරපන මහත්තයත් කිව්වා.
ඒ සියලු උපදෙස් අරගෙනයි මේ දේට අවතීර්ණ වුණේ. දේශපාලනඥයෝ බොහෝ වෙලාවට තමන්ගේ ඉතිහාසය, අධ්‍යාපන සුදුසුකම් ගැන ගොඩක් බොරු කියනවා. ඉතින් ඔය වටේ පිටේ කියන කතා මට වැඩක් නෑ. මම යන්න ඕන ඉලක්කෙට යනවා.

ඒ හීනේට යන්න මෙතරම් කල් ගත්තේ ?
මේ වෙනුවෙන් කැප වුණේ වසර පහක ඉඳන්. අජිත් පී. පෙරේරා ඇමතිතුමා ගේ පන්තියටත් සහභාගී වුණා.
ඉගෙන ගන්න මම ආසයි. පාසල් කාලෙදී වැඩිපුර ක්‍රීඩා සහ චිත්‍රවලටයි මගේ හිත යොමු වුණේ.
ඒ කාලේ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයකුත් කළා. කුංෆු, කරාටේ වගේ ක්‍රීඩාවලටත් පාසල් කාලය වෙන් වුණා.
මේවා බොරු නෙවෙයි. මගේ සමකාලීනයෝ, පාසල් මිතුරන්, ඒ කාලේ හිටපු විදුහල්පතිතුමාත් තාම ජීවතුන් අතර. 81 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මදි වුණා මට නීති විද්‍යාලයට ඇතුළු වෙන්න.

81 උසස් පෙළ ප්‍රතිඵල කියන්න කැමැතිද?
සිංහලවලට එස් එකක් තියෙනවා. අනිත් විෂයයන් තුනටම තියෙන්නෙ ලයිට් කණු. ඒ කිව්වේ ෆේල්. මම ඉතිං ඒ කාලේ සෙල්ලමට බරයි.
ගොඩක් අය මේවා හංගනවා. මම මේ කරන්නේ මත් කුඩු විකුණනවා, එතනෝල් ගෙන්නනවා, කසිප්පු විකුනනවා වගේ නරක දෙයක් නෙවෙයි නේ. අපිට මැරෙනකල් වුණත් ඉගෙන ගන්න පුළුවන්.

කොහොමද මේ විස්තරේ පත්තු වුණේ?
මෙගේ ගෙදර තියෙන බෝඩ් එකක පන්ති තියෙන දිනයි, විභාග දින ගැනයි ලියලා තිබුණා. පහු ගිය දවසක හරේන්ද්‍ර ආවා මගේ ඉන්ටර්විව් එකකට.
ඒ වෙලේ මේ බෝඩ් එක දැකලා මේ මොනවද ඇහුවා. ඒකට මම දුන්න උත්තරේ වෙබ් එකක ගිහිල්ලා තිබුණා.
පස්සේ ඒ ප්‍රවෘත්තියට බී.බී.සී එකෙනුත් විශාල ප්‍රචාරයක් ලැබිලා කොච්චර පත්තු වුණාද කිව්වොත් මම විභාගෙට යද්දිත් මාධ්‍යයෙන් එතැන. විභාගේ ඉවරවෙලා එද්දිත් මාධ්‍ය ගේට්ටුව ළඟ. හැබැයි මගේ මේ වැඩේ තරුණ පරපුරට ලොකු දිරිගැන්වීමක්, හොඳ ආදර්ශයක් වුණා යැයි මට කතා කළ බොහෝ දෙනා කියනවා. මොන වයසෙදී වුණත්, අ.පො.ස සා. පෙළ නැතිවත් උසස් පෙළ කරන්න පුළුවන් කියන දේ අලුත් පණිවුඩයක් විදිහට තරුණ පරපුර අතර මේ සිද්ධියෙන් සමාජගත වුණා.

පාඩම් කටයුතුවලට කොහොමද වෙලාව වෙන් වුණේ?
මගේ මතකය හොඳයි. මට විභාගය ගොඩ දා ගැනීමට තියෙන තදබල වුවමනාව එක්ක කොහොමත් පාඩම් කරන දේවල් මතක හිටිනවා.
මම ගත කරන්තේ බැඳිම් නැති ජීවිතයක්. අම්මා, තාත්තා නැහැ, කසාද බැඳලා නැහැ. ඉතින් මාකට් යන්න, බඩු ගේන්න ගුරු දෙගුරු සමිති, දරුවන්ගේ ඩෙස් පුටු පේන්ට් කරන වැඩ මට නැහැ.
මට අවශ්‍ය දේවල්වලට කැප වෙන්න මගේ කාලේ සියයට අනුවක්ම ඉතුරුයි. ඒ තමයි මට තිබෙන ලොකුම නිදහස. මගේ කාර්යමණ්ඩලයෙන්, මගේ මිතුරන්ගෙන් ඉගෙනීමේ කටයුතුවලට ලොකු සහායක් ලැබුණා. මේ නිව්ස් එක දැකලා ගුරුවරු, මගේ රසික රසිකාවෝ පාස් පේපර්ස් ගෙනල්ලා දුන්නා. ගුරුවරු මට නොමිලයේ පන්ති කරන්නත් ඉදිරිපත් වුණා.

තනිකඩ ජීවිතේ හොඳයි කියලද වහෙන් ඔරෝ මේ කියන්නේ?
අනේ නැහැ. විවාහය කියන කන්සෙප්ට් එක ගැන මම විවේචනයක් නෙමෙයි කළේ. අපේ යම් යම් අරමුණුවලට යෑමට තනිකඩ බව අපිට ලැබෙන මාර නිදහසක්. ජන සන්නිවේදනයේ උගන්වනවානේ අඛණ්ඩ සන්නිවේදනයක් ගැන. ගැහැනියක් එක්ක යාළු වුණාම වෙන්නේ ඔය කියන අඛණ්ඩ සන්නිවේදනය වැඩි වීමයි. ඒ කියන්නේ දවසට පැය දෙක තුනක් අඛණ්ඩව මල් කැඩුවොත් අපිට වෙන වැඩක් කරගන්න බැරි වෙනවා. මට ඔය ප්‍රශ්න අඩුයි. තනිකඩ ජීවිතයක ලැබෙන වරප්‍රසාද අසීමාන්තිකයි.

උසස් පෙළ සමත් වෙයි කියලා හිතනවාද?
විශ්වාසයක් තියෙනවා. මේකට ලැබුණු ප්‍රචාරය එක්ක දැන් ඉතින් ෆේල් වෙන්නත් බයයි.
ඒ ලෙවල් කළා වගේ නෙමේ ප්‍රතිඵල පෙන්නන්නත් වෙනවා. මෙතෙක් මගේ ජීවිතේ කිසි දෙයක් හංගලත් නෑ. මගේ අ.පො.ස (සා පෙළ) ප්‍රතිඵල හොඳ තත්ත්වෙක තිබුණත් ගණන් ෆේල්. ගණන් කියන්නේ ඒ කාලේ ඉඳලම හරි පීඩාවක්. නමුත් කොහොම හරි මම ඒකත් ගොඩ දා ගෙන මගේ academic qualifications හදාගන්නවා.

ඔබ සා. පෙළටත් පෙනි සිටින්නයි සූදානම?
ඔව්. මේ දෙසැම්බර්වල සාමාන්‍ය පෙළ කරනවා. ගණන්වලට තියෙන ලයිට් කණුව ගැන මගේ විරුද්ධවාදීන් හිනා වෙනවා.
මං මොකටද ඒ උදවියට හිනා වෙන්න අවස්ථාවක් දෙන්නේ. කොහොම හරි ගණන් ගොඩ දාගෙන මගේ සියලුම අඩුපාඩු හදාගෙන ඉදිරියටම යනවා. මේ පාර බැරි වුණොත් ඊළඟ පාර කරනවා. ඊට පස්සේ නීතීඥයෙක් වෙනවා. ඔය වගේ හීන ගොඩක් තියෙනවා. ඒ සමහර හීන හරි යයි. සමහර හීන වරදියි. වැරැදුණා කියලා අතහරින්නේ නැහැ. නැවැත උත්සාහ කරනවා.

දැනට පිළිතුරු ලියූ විෂයන් පහසුයිද?
විවෘත විශ්වවිද්‍යාලයේ මම තෝරා ගත් විෂයයන් අතරින් කිහිපයක් උසස් පෙළ විභාගයට ලියන්නත් තෝර ගත්තේ. ඉතින් අමාරු වුණේ නැහැ. ක්‍රිස්තියානි ධර්මය හිතපු තරම් ලේසි නැහැ. ඒ ටික පාඩම් කරද්දි නම් මට පිස්සු හැදුණා.

විභාග ශාලාවේ අනෙක් සාමාජිකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ?
හරිම විනෝදයි. දැන් මට ඒ ලෙවල් බැජ්මේට්ස්ලත් ඉන්නවා. ඔවුන් කෝල් කරනවා. විනෝදයෙන් තමයි විභාග ලිව්වේ. විභාගය ඉවර වෙලා එළියට ආවාහම කට්ටිය selfie ගත්තා. තරුණ පරපුර සමඟ වැඩ කරන්න ලැබීම හරිම සතුටුයි, සුන්දරයි. විභාග ශාලාවේ හිටපු ගුරුවරුන්ගෙනුත් ලැබුණේ පුදුම සහයෝගයක්. සමහර විරුද්ධ දේශපාලනඥයෝ විතරයි මගේ මේ වැඩේට හිනා වුණේ.

නීතිඥයෙක් වෙන්න මේ තරම් උත්සාහ කරන්නේ?
ලංකාවේ ලොකු ලොකු මිනිස්සුන්ට, දේශපාලනඥයන්ට මොන හොරකම්, වැරැදි කළත් හරි ඉක්මනට ඇප අරන් එන්න පුළුවන්. නමුත් අහිංසක, දුප්පත් මිනිස්සු අඹ ගෙඩි හයක් කඩා ගත්තාට, හාල් උරයක්, පාන් ගෙඩියක් ගත්තට හිරේ යනවා. මට අවශ්‍ය හොඳ නීතිඥයෙක් වෙලා සල්ලි ගන්නේ නැතුව ඒ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න. ඔවුන්ට සාධාරණයක් කරන්න. මටත් තියනවනේ කටේ බ්‍රේක් නැතුව කතා කරල නඩු තිහක් විතර.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!