“කොළඹ ඉගෙන ගත්ත කෙනත්, අම්පාරේ ඉගෙන ගත්ත මම බොහෝ තැන් පසු කර යම් තැනකට ගියා නම් ගියේ මම, මා ගැන අනෙක් අයත් සමග සංසන්දනය නොකළ නිසයි.”
එසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉපිද ඇමරිකාවට ගොස් එරට හමුදා සේවයට එක්ව සිටින ශ්‍රී ලාංකිකයෙකි. ඔහු ඇමරිකානු හමුදාවේ වඩාත්ම බලගතු ප්‍රහාරක හෙලිකොප්ටරය ලෙස සැලකෙන ‘අපාචි AH 64 D/E’ යානා පිළිබඳ කාර්මික නිලධාරියෙකි.
ඇමරිකානු හමුදාවට එක්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිස් සේවයේ සම්මුඛ පරීක්ෂණවලින් තෙවරක්ම ප්‍රතික්ෂේප වුවත් පසුව ඇමරිකානු හමුදාවට එක්වීමට අවස්ථාව ලද අනූජ් පූජිත ගුණවර්ධන නම් ඔහු පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ අසන්නට ලැබිණි. ඔහු කුඩා කළ පටන් හමුදා නිලධාරියෙකු වීමට සිහින දුටු තරුණයෙකි.
සම්මුඛ පරීක්ෂණයකින් ප්‍රතික්ෂේප වීම සහ ඇමරිකාවට සංක්‍රමණය වීම යන කාරණාවලින් ඔබ්බට ගිය කතාවක් තමා පිටුපස ඇති බව එහිදී අනූජ් මා සමග කියා සිටියේය. ඔහු පවසන පරිදි එය අම්පාර වැනි කොළඹින් බැහැර වෙසෙන බොහෝ තරුණ තරුණියන් හමුවේ පවතින අවස්ථා (Opportunities) හිමි වීම සහ ඒ සමඟ බැඳී පවතින අභියෝග පිළිබඳ කතාවකි.
තම සිහින රැකියාව (Dream job) හෝ වෘත්තීය ඉලක්ක සඳහා යන ගමනේදී ශ්‍රී ලංකාවේ ඇතැම් ක්ෂේත්‍ර තුළ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා පෞද්ගලික පසුබිම පිළිබඳ අවධානය යොමු කර අවස්ථා ලබා දීමේ තත්ත්වයක් පවතින බව අනූජ් පවසයි. පාසල, තම ගම්පළාත, ස්ත්‍රී පුරුෂ භාවය ඇතැම් විට ජාතිය වැනි කාරණා ද ඒ අතර වන බවත් වයස ඉන් ප්‍රධාන වන බවත් ඔහු පෙන්වා දෙයි.
තමන්ට සිය සිහින ජය ගැනීමට අවශ්‍ය නම්, දැඩි අධිෂ්ඨානයක් පවතී නම් ඉහත කී කරුණු බාධාවක් කර නොගෙන තම ඉලක්කය ගැන පමණක් අවධානය යොමු කළ යුතු බව අනූජ් සඳහන් කරයි.
“O/L, A/L කරලා නැත්නම් වයස ගැන හිතන්න එපා, ආපහු කරන්න. විශ්වවිද්‍යාල උපාධියක් ගන්න වයස බලපෑමක් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඉගන ගන්න එක නවත්තන්න සිහින හඹා යන්න වයස හේතුවෙක් කර ගන්න එපා. තමන්ට හීනයක් තිබෙනවා නම් තමන්ගේ වයස, ඉන්නේ කොහෙද, ආවේ කොහෙන්ද, තමන් පිරිමියෙක් ද ගැහැණියෙක් ද ඒ කිසිම දෙයක් අදාළ නැහැ. මොකද මම ඉපදුනේ, ජීවත් වුනේ අම්පාරේ. මමත් එහෙම හිතුවා නම් අම්පාරෙන් ඇවිල්ලා ටෙක්සාස්වලින් ඉවර වුනු ජීවිතයක් මට නැති වෙන්න ඉඩ තිබ්බා. අදාළ වෙන්නේ තමන්ට යන්න ඕනි කොහෙට ද කියන දේ විතරයි.
අනූජ් තම කතාව ආරම්භ කළේ, “මම කවුද කියන දේ කියද්දී මේවත් කියන්න වෙනවා” යනුවෙන් ඌණ පූර්ණයක් එක්කරමිනි.
“මම හැදුනේ වැඩුනේ ලංකාවේ. උසස් පෙළ කළේ 2003 අවුරුද්දේ. කොළඹට එන්න කලින් මම ජීවත් වුනේ අම්පාරේ. මොකද මගේ තාත්තා රැකියාව කළේ අම්පාරේ නිසා. 11 වසරට එනකම් අම්පාර ගාමිණී විද්‍යාලයේ ඉගෙන ගත්තා. උසස් පෙළ කරන්න කොළඹ අශෝක විද්‍යාලයට ආවා. A/L වලින් පස්සේ ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වුණා. මට අවුරුදු 19 වෙද්දී තාත්තා අපිව දාල ගියා. මම පවුලේ වැඩිමලා. මට නංගිලා තුන් දෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඊට පස්සේ අම්මා තමයි අපිව හදා ගත්තේ.”

හැලහැප්පීම් මැද වුවත් අනූජ් සිය අධ්‍යාපන කටයුතු නතර නොකරයි. ඔහු එම කාලයේ රැකියා කීපයක නිරත වෙයි. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් බාහිර උපාධි ඩිප්ලෝමාව අවසන් කරයි.
“ඊට පස්සේ මගේ යාළුවෙක් තමයි මගේ නම දාල ග්‍රීන් කාඩ් ඇප්ලයි කළේ. මට ඒ ගැන එතරම් විශ්වාසයක් තිබුනේ නැහැ. කොහොම හරි මට ඒක කාඩ් එක හම්බ වුනා. ඒ එක්ක තමයි ඇමරිකාවට එන්න අවස්ථාවක් ලැබුනේ.”
“නැතුව මම එක රැයකින් ඇමරිකාවට ආපු කෙනෙක් නෙමෙයි. මම අවුරුදු තිහක් වෙනකම් ජීවත් වුනේ ලංකාවේ.”
ශ්‍රී ලංකාවේ හමුදා සිහිනය
දහඅට වෙනි වියේදී පළමු වරට ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරී තනතුරට අයදුම් කරන අනූජ් ඉන් ප්‍රතික්ෂේප වන්නේ නියමිත බර සහ පපුවේ ප්‍රමාණය සපුරා නොතිබීම නිසාය. එවිට ඔහුගේ වයස අවුරුදු 18 කි.
“2005 ආපහු දෙවෙනි පාරට සම්මුඛ පරීක්ෂණයට ගියා. නමුත් පපුව සහ බර ආයෙත් ප්‍රශ්නයක් වුනා,”
“එතනදී මගෙන් ඇහුවා “මේකට ඔයාව ගන්න බැහැ. ඔයා ගිය අවුරුද්දෙත් ආවා නේද?” කියලා. මම ඔව් කිව්වා. “ඊලඟට එනවනම් හොඳට කාල බීලා ඇඟ පොඩ්ඩක් හදාගෙන එන්න, මේවා කරන්න ඔහොම බැහැ,” කියලා, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය එතනදී හිනා වෙලා කිව්වා. මට එතනදී පොඩ්ඩක් කඩා වැටුනා. කවදාවත් මේක කරගන්න බැරි වෙයිද කියල මට එතනදී ඔළුවට ආවා. ඒ කොච්චර ඔළුවට ආවත් අපි අධිෂ්ඨාන කර ගන්නවනේ අපි යම් තැනකට යනවා කියලා, අන්න ඒ හීනය අත ඇරෙන්නේ නැහැ. හැබැයි ඕනම කොල්ලෙකුට වගේ මටත් යම් දුකක් දැනුනා,” අනූජ් සිය අතීත අත්දැකීම සිහිපත් කරයි.
“පස්සේ මම කාටවත් නොකියා CID එකට ඇප්ලයි කළා. මාව ගන්න බැහැ කියලා දැන්නුවා. ඒත් ඒකට හේතුවක් දක්වලා තිබුනේ නැහැ. වෙන සම්මුඛ පරීක්ෂණයකට ගියත් අඩුපාඩු නිසා මාව කැපිල යයි කියල හිතුනා. නමුත් හමුදාව රැකියාවක් සඳහා නියමිත සුසුදුකම් සපුරා තිබිය යුතුයි. ඒක අපි හැමෝම දන්නා දෙයක්.”
බාධා එල්ල වුවත් තම හමුදා සිහිනය බොඳ කර නොගෙන තමා තුළ තබා ගත් බව අනූජ් පවසයි.
ඇමරිකානු හමුදාවට එක්වුණු හැටි

ඔහු පවසන පරිදී අධිෂ්ඨානයක් (Determine) පැවතියත් ඕනෑම අයෙකුට ජීවිතයේ උදව් අවැසි මොහොතක් පැමිණෙයි. එහිදී වඩාත්ම වැදගත් වන්නේ යමෙකුගෙන් ලැබෙන පෙළඹවීමයි (Motivation).
“එක තැනක් ආවා මට හමුදා ට්‍රේනින් එක අමාරු වුණු. මම කිව්වා “මට මේක කරන්න බැහැ සාජන්, මට මේක අමාරුයි, කියලා.”
මේ කියන සාජන්වර්යා අනූජ්ගේ හමුදා සිහිනය ගැන දැන සිටි අයෙකි.
“එතකොට සාජන් කිව්වා ‘ඔයාගේ හීනයක් තිබ්බා. ඒ හීනය සැබෑ කර ගන්න ඕනි. මම ඔයාට ඒ හීනෙන් අයින් වෙන්න දෙන්නේ නැහැ’ කියලා.”
“ඇතැම් අවස්ථා තියෙනවා අපේ හිතේ කොච්චර ධෛර්ය තිබ්බත් වැඩක් නොවෙන. ඇදගෙන වැටෙන වෙලාවල් එනවා. නමුත් ඒ වගේ වෙලාවක අපිව මෝටිවේට් (පෙළඹ වීමට) කරන්න කෙනෙක් ඉඳීම වැදගත්. ඒ නිසා තමයි ට්‍රේනින් එක සාර්ථකව අවසන් කරලා අද ඉන්න තැනට එන්න පුළුවන් වුනේ.”
“මම ඒ සාජන්වරයාට ස්තූති කළ යුතුයි.”
