Gossip

“අවසර ගන්නත් පොලිසියට ඇවිත්.. ඇතුලට යන්න 1200 යි.. හැමෝම අවුරුදු 18 ත් 25 ත් අතර..” කෙල්ලෝ කොල්ලෝ පදමට මත්වෙලා පවත්වපු ෆේස්බුක් සාදය අවසන් වුණු හැටි

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ එක්රැස් වන නන්විධ තරුණ තරු­ණි­යන්ගේ මිතුරු සමාජ වෙනු­වෙන් පව­ත්වන සාද හෙවත් ෆේස්බුක් සාද මෑතක සිට ‘රැල්ල’ක් බවට පත්වෙ­මින් තිබේ. නග­ර­වල පම­ණක් නොව ඈත ගම්ද­නව් කරාද මෙකී ෆේස්බුක් සාද දැන් දැන් ව්‍යාප්ත වී හමා­රය. මීට වසර පහ-හය­කට පමණ පෙරදී තරුණ තරු­ණි­යන් අත­රට ආ ෆේස්බුක් සාද මේ වන විට මුළු සමා­ජ­ය­ටම පිළි­ල­යක්ව ඇති බව ගම්‍ය වන්නේ එකී සාද­වල සිදු වන නොයෙක් අක­ට­යු­තු­කම් නිසා­වෙනි. මත්ද්‍රව්‍ය, මත්පෙති, මත්පැන් පම­ණක් නොව තරුණ තරු­ණි­යන් අතර ලිංගික හැසි­රීම්ද පසු­ගිය කාලයේ ෆේස්බුක් සාද­ව­ලදී වාර්තා විය.

මීට වසර දෙක­කට පමණ පෙරදී වේය­න්ගොඩ පැරැණි වල­ව්වක පැවැති ෆේස්බුක් සාද­යක් පිළි­බඳ අප පුව­ත්ප­තද තැබූ සට­හ­න­කදී වැට­ලීම සිදු කළ වේය­න්ගොඩ පොලිස් නිල­ධා­රින් පැව­සුවේ අලු­යම් කාලයේ සාදය වට­ලන විටදී අධික ලෙස මත් ගති­යෙන් සිටි ඇතැම් තරුණ තරු­ණි­යන් අඩ­නි­රු­වත්ව තැන තැන වැටී සිටියේ ලිංගික හැසි­රීම්හි සාක්ෂිද සට­හන් කර­මින් බවයි.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා­ගන්නා (Share) හෝ සමාජ මාධ්‍ය කණ්ඩා­යම් (Group) ඔස්සේ බෙදා ගන්නා දැන්වී­මක් හරහා මෙකී සාද­ව­ලට තරුණ තරු­ණි­යන් එක්වන්නේ එවැනි සාද­වල සිදු­වන්නෙ කුමක්ද යන්න ගැන නිසි අව­බෝ­ධ­යක්ද නොමැ­ති­වය.

මෙසේ ෆේස්බුක් ඔස්සේ එක්තරා තරු­ණ­ය­කුගේ උපන් දින සැම­රු­මක් වෙනු­වෙන් පළ කළ දැන්වී­මක් (පෝස්ට්ටු­වක්) හරහා නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය සමඟ තරු­ණ­යන් පිරි­සක් පැවැත් වූ ෆේස්බුක් සාද­යක් පසු­ගිය 12 වැනිදා මධ්‍යම රාත්‍රි­යේදී වට­ලනු ලැබීය. ඒ, මීග­මුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සමන් සිගේරා මහ­තාට ලැබුණු තොර­තු­රක් අනු­වයි.

පසු­ගිය 12 වැනිදා පෙර­ව­රුවේ කොච්චි­කඩේ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ශ්‍රිනික ජය­කොඩි හමු­වී­මට වයස අවු­රුදු පන­හක් පමණ වන පුද්ග­ල­යකු පැමි­ණියේ හිරි­මල් වියේ පසු­වන තරු­ණ­ය­කුද සම­ඟිනි. කොච්චි­කඩේ, කම්ම­ල්තොට ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු වන නිහාල් නමැති එකී පුද්ග­ලයා පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට පව­ස­න්නට වූයේ,

“සර්… මගේ පුතාගේ 18 වැනි උපන් දිනය යෙදෙන්නෙ මේ 13 වැනි­දාට. දරු­වට යාළුවෝ ටික ගෙනල්ලා හෝට­ලේක අද රෑට උපන් දිනය සම­රන්න අව­ශ්‍යයි කිය­නවා…”

ඊට පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ප්‍රති­චාර දක්වා තිබුණේ, “ප්‍රශ්න­යක් නෑ… හැබැයි කොරෝනා නීති රෙගු­ලා­සි­ව­ලට යටත්ව සිදු­විය යුතුයි… පී.එච්.අයි මහ­ත්ත­යට දැනුම් දිය යුතුයි… ඒ වගේම අස­ල්වැ­සි­යන්ට බාධා වෙන්නත් බෑ…”

එලෙස පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු අනු­මැ­තිය සමඟ කොච්චි­කඩේ පොලි­සි­යෙන් නික්මෙ­න්නට සූදා­නම් වෙද්දී නිහාල්, යළි පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට කීවේ, “සර්ටත් පුළු­ව­න්නම් එන්න… අපි සාද­ර­යෙන් පිළි­ග­න්නවා…” කියාය.

ලැබුණු ආරා­ධ­නය එසැ­ණින් ප්‍රති­ක්ෂේප කළ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා අපට කීවේ, එම ප්‍රකා­ශයේ සැඟ­වුණු අර්ථය හෙළි වන්නේ පොලි­සිය විසින් සාදය වැට­ලී­මත් සමඟ බවයි.

ඒ අතරේ නිහාල් එදින රාත්‍රියේ උපන් දින සාදය පැවැ­ත්වී­මට අව­සර ගත් කොච්චි­කඩේ, කම්ම­ල්තොට හොයෝ හෝට­ල­යට වැල නොකැඩී තරු­ණ­යන් ඇදී එන බවට මීග­මුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාට තොර­තු­රක් ලැබිණි. ඒ සැණින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා ඒ ගැන සොයා බැලී­මට කොච්චි­කඩේ පොලි­සිය දැනු­වත් කළේය.

ඒ වන විට තරු­ණ­යන් නවීන පන්නයේ මෝටර් රථ මෙන්ම යතු­රු­පැදි, ත්‍රිරෝද රථ ඇතුළු විවිධ රථ­වා­හ­න­ව­ලින් එම හෝට­ල­යට ඇදී එමින් සිටි­යහ. එසේ එම හෝට­ල­යට තරු­ණ­යන් රැස් වන්නේ කුමක් අර­බ­යාද යන්න සෙවී­මට පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා විසින් පොලිස් නිල­ධා­රි­යකු සහ නිල­ධා­රි­නි­යක උපාය දූත­යන් සේ වෙස් ගන්වා යතු­රු­පැ­දි­ය­කින් මධ්‍යම රාත්‍රිය එළැ­ඹෙද්දී සාදය පැවැති හෝට­ල­යට යැව්වේය. ඒ වන විටත් සාද­යට එක්ව සිටි තරු­ණයෝ මහත් ඝෝෂා­කාරී ඩීජේ සංගී­ත­යට අනඟ රැඟුම් පාමින් සිට ඇත්තේ මත්පැන්, මත්කුඩු, සහ මත්පෙ­ති­ව­ලින්ද සප්පා­යම් වෙමින් බව උපාය දූත­යන් දැන­ග­න්නට ලැබිණි. තරුණ පිරිස් රැස්ව සිටි ශාලා­වට ඇතු­ළු­වී­මට තැත් කළ උපාය දූත­යන්ට එහි දොර­ටුව අසල සිටි අයෙක් කීවේ, “ඇතු­ළට යන්න නම් රුපි­යල් 1200ක ටිකට් පතක් ගන්න ඕනෙ…”කියාය.

ඒ සැණින් උපාය දූත­යන්ට වැට­හුණේ එම ස්ථානයේ උපන් දින සාද­යක් නොව කිසි­යම් අක­ට­යු­ත්තක් සිදු­වන බවයි. උපාය දූත­යන් දෙදෙනා පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා අමතා කීවේ, “සර්… මෙතන තියෙන්නෙ උප­න්දින සාද­යක් නෙවෙයි. විවි­ධා­කා­රයේ වාහ­න­ව­ලින් කොල්ලො එනවා. ඇතු­ළට යන්න ටිකට් කඩ­නවා…”

ලැබුණු තොර­තුර පිළි­බ­ඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යා­ගේද උප­දෙස් මත කොච්චි­කඩේ පොලිස් ස්ථානා­ධි­පති ශ්‍රිනික ප්‍රමුඛ නිල­ධා­රින් විස්ස­කට අධික කණ්ඩා­ය­මක් අලු­යම 1.40ට පමණ හෝට­ලය වට­ලනු ලැබීය. ඊට අවට පොලිස් ස්ථාන­වල නිල­ධා­රි­හුද එක්ව සිටි­යහ.

“ඒ වෙලාවෙ තරු­ණයෝ 153 දෙනෙක් පමණ හිටියා. සියලු දෙනාම අවු­රුදු 18ත් 25ත් අතර. අපි වට­ලන වෙලාව වෙන­කොට තමයි මේ සාදයේ උපරිම තත්ත්වය ආරම්භ වුණේ… ඒ වෙලා­වෙත් කපල්ස් වාහ­න­ව­ලින් එමින් හිටියේ. පස්සෙ හැඳු­නු­ම්පත් තිබුණ අය අව­වාද කරලා මුදා­හැ­රියා. තිස්දෙ­නෙක් හිටියා අන­න්‍ය­තාව තහ­වුරු කිරී­මට නොහැ­කිව. ඔවුන් අතර මත්පැන්, මත්ද්‍රව්‍ය සහ මත්පෙති ගත් පිරිස හිටියා. ඒ අය අත්අ­ඩං­ගු­වට ගත්තා.”

ඒ අතර සිටි සාදය සංවි­ධා­නය කළ 18 හැවි­රිදි තරු­ණයා සහ ඔහුගේ පියා වන නිහාල් නීති­වි­රෝධි මත්කුඩු, මත්පෙති, මත්පැන් සහි­තව සාද­යක් සංවි­ධා­නය කිරී­මට ආධාර අනු­බල දීම නිසා අත්අ­ඩං­ගු­වට ගැණින. මෙකී නීති­වි­රෝධි සාදය පැවැ­ත්වී­මට අව­සර ගැනී­මට සිය පුත්‍රයා සමඟ නිහාල්ද පොලි­සි­යට පැමි­ණි­යත් සාදය ජංගම දුර­ක­ථ­නය ඔස්සෙ සමාජ මාධ්‍ය උප­යෝ­ගී­කොට සංවි­ධා­නය කර තිබුණේ ඔහු සමඟ පොලි­සි­යට පැමිණි පුත්‍රයා විසිනි.

පොලිස් අත්අ­ඩං­ගු­වට පත් තරු­ණ­යන් 31 දෙනා අතර මාර­විල, දංකො­ටුව, කොච්චි­කඩේ, පමු­ණු­ගම, මීග­මුව, සීදුව, හලා­වත ආදි පෙදෙස්හි විවිධ තරා­ති­රමේ පිරිස් වූහ. ඒ අතර සිටි ඇතැම් දෙනා ඉහළ පවුල් පසු­බිම් සහිත අධ්‍යා­ප­න­යෙන්ද ඉහ­ළ­ටම ගිය තරු­ණ­යන්ය. පොලිස් බාර­යට පත් තරු­ණ­යන් පාපෝ­ච්චා­ර­ණය කළේ,

“සර්… අපි මුකුත්ම දන්නෙ නෑ… ෆේස්බුක් එකේ තිබුණේ අස­වල් හෝට­ලයේ උප­න්දින සාද­යක් තියෙ­නවා, එන්න කියලා…”

එහෙත් වර්ත­මා­නය වන විට රටේ බොහෝ තරුණ තරු­ණි­යන් ෆේස්බුක් සාද යනු කුම­නා­කා­රයේ සාද­යක්ද යන්න හොඳින් දනී. පොලිස් බාර­යට පත් තරු­ණ­යන් 30 දෙනාගේ මවු­පි­යන්ද කොච්චි­කඩේ පොලි­සි­යට කැඳ­විණි. එකී තරු­ණ­යන්ගේ ඇතැම් මවු­පියෝ පොලි­සිය තුළ­දීම දරු­වන්ට දඬු­වම් කර තිබුණේ තැන නොතැ­නද නොත­ක­මින් ඔවු­නට පැමිණි ආවේ­ගය නිසා­වෙනි.

මෙකී නීති විරෝධි සාදය පැවැති හෝටල් බල­ධා­රි­න්ගෙන්ද පොලි­සිය ප්‍රශ්න කෙරිණි. ඔවුහු පවසා ඇත්තේ ශාලාව වෙන්කර ගත්තේ උප­න්දින සාද­ය­කට බවත් එහෙත් එතුළ සිදු වන්නේ කුමක්ද යන්න සොයා බැලී­මක් නොකළ බවත්ය.

කොරෝනා නිසා හෝට­ල්ව­ල­ටද සිදුව තිබෙන ලාබ­පාඩු පියවා ගැනී­මට කිසිදු සොයා බැලී­ම­කින් තොරව හෝටල් බල­ධා­රින්ද හෝටල් ශාලා ලබා­දෙන බැවින් මේ දින­වල මෙවැනි සාද ඇතුළු බොහෝ නීති­වි­රෝධි කට­යුතු සිදු වන බව පොලි­සිය පව­සයි. කොච්චි­කඩේ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාද මෙකී සාදය පැවැති හෝට­ලයේ බල­ධා­රින්ට දැඩිව අව­වාද කළේ නිසි සොයා බැලී­ම­කින් තොරව දිගින් දිග­ටම මෙවැනි දෑ සඳහා හෝට­ලය ලබා­දු­න­හොත් නීති­මය පිය­වර ගන්නා බව­ටයි.

මෙකී සාදය වැට­ලී­මට මීග­මුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සමන් සිගේ­රාගේ උප­දෙස් මත කොච්චි­කඩේ පොලිස් ස්ථානා­ධි­පති ශ්‍රිනික ජය­කොඩි, පොලිස් පරී­ක්ෂක දේව­ප්‍රිය, උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන ජය­කොඩි, ලක්ෂ්මන්, පොලිස් සැර­ය­න්ව­රුන් වන 51833 තෙන්න­කෝන්, 51750 නිහාල්, 12780 නිලුක යන නිල­ධා­රින් සමඟ මීග­මුව අවට පොලිස් ස්ථාන කීප­ය­කම නිල­ධා­රිහු එක්වූහ.

කොච්චි­කඩේ පැවැති මෙකී සාදය සේම ෆේස්බුක් සාද­යක් ගෙවී ගිය සතියේ දිනෙක පිළි­ය­න්දල ප්‍රදේ­ශයේ ස්ථාන­ය­කද පවත්වා ඇති අතර එයද පොලි­සිය විසින් වටලා තරු­ණ­යන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

සමා­ජ­යට පිළි­ල­යක් වන මෙවැනි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය­ය­න්ගෙන් තරුණ තරු­ණි­යන් එක්ව මත්පෙති, මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කර­මින් දින ගණන් එක දිගට අනඟ රැඟුම් පානා සාද­වල මෑත­කා­ලීන ඉති­හා­සය පිරි­ක්සී­මේදී 2018 වසරේ වාද්දුවේ සැප්රෝන් හෝට­ලයේ පැවැති සාදය මෙතෙක් මෙවැනි සාද­ය­කදී ඛේද­නී­යම සිදු­වීම වූ සාදය වේ. ඒ, එම සාද­යේදී අධික ලෙස මත්පෙති පානය නිසා­වෙන් තරුණ ජීවිත හත­රක්ම මෙලොව හැර යෑම නිසා­වෙනි. නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කර­මින් පැවැත්වූ මෙවැනි ෆේස්බුක් සාද­යක් ගැන මුලින්ම වාර්තා වන්නෙ 2013 වස­රේ­දීය. ඒ, රාජ­ගි­රිය ප්‍රදේ­ශ­යෙනි. සමාජ මාධ්‍ය ඔස්සෙ රටේ විවිධ පෙදෙ­ස්වල තරුණ තරු­ණි­යන් එක්රැස්ව විශේ­ෂ­යෙන්ම වෙර­ළ­බඩ පෙදෙස් ආශ්‍රි­තව සිදු වන මෙවැනි සාද 148ක් පමණ මේ වන විට වටලා ඇති බව පොලි­සිය සඳ­හන් කරයි. එය තවත් ඉහළ යන්නේ සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තු­වද පසු­ගිය කාලයේ ෆේස්බුක් සාද රැසක්ම රටේ විවිධ පෙදෙ­ස්ව­ලදී වට­ලනු ලැබ ඇති හෙයිනි. එසේම ගිය වසරේ ජූලි මාස­යේ­දීද මිරි­ස්සෙන් දිය­ඹට ගිය අධි සුඛෝ­ප­භෝගී නෞකා­වක පැවැති මෙවැ­නිම ෆේස්බුක් සාද­යක් වැට­ලී­මට මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒක­කය සමත් වූයේය. එදි­නද තරුණ තරු­ණි­යන් 74 දෙනෙක් පොලිස් බාර­යට පත් විය.

කෙත­රම් වැට­ලීම් සිදු­ක­ළද මෙවැනි සාද රට­පුරා විශේ­ෂ­යෙන්ම සති අන්තයේ නගර ගම්ද­නව් සිසාරා කෙත­රම් පැවැ­ත්වෙ­න­වාද යන්න දන්නේ ඊට සහ­භාගි වන තරුණ පිරිස් ය. ඇතැම් තරුණ තරු­ණි­යන් මෙවැනි සාද­ව­ලට එක්වී­මට කිලෝ­මී­ටර් සිය ගණන් දුර ගෙවා එති. එම නිසා මෙවැනි සාද­ව­ලට එක්වන දරු­වන්ගේ මවු­පි­යන් සිය දූපු­තුන් පිළි­බ­ඳව බොහෝ සේ අව­ධා­න­යෙන් සිටිය යුතු­මය.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!