“කෑම කන්න බැහැ කියලා තාත්තා මීට ටික දවසකට කලින් කිව්වා. ඒ හින්දයි අපි තාත්තව රෝහලට රැගෙන ගියේ.
ඊට පස්සේ තමයි අක්මාවේ රෝගී තත්ත්වයක් කියලා දැනගත්තේ. තාත්තට ඔපරේෂන් එකකුත් කළා.
මම විවාහවෙලා ඉන්නේ වෙනම ගෙදරක. තාත්තා මිය ගියදා හවස අපි තාත්තාව බලන්න යන්නයි හිටියේ.
ඒත් ඊට කලින් මේ ආරංචිය ලැබුණාම මට හිතාගන්නත් බැරි වුණා.
ගාමිණී හෙට්ටිආරච්චිගේ එකම දියණිය ප්‍රතිභා සතිඅන්ත පුවත්පතකට කියූ කතාවකි ඒ..
කිසිවකු බලාපොරොත්තු නොවූ මොහොතක සිදුවූ මේ විපත නිසා ප්‍රතිභාගේ එකම සහෝදරයාත්, ගාමිණීගේ ආදරණීය බිරින්දෑත් අතිශය හැඟුම්බර වී සිටියා.
නළුවකු වශයෙන් පමණක් නොවෙයි, ආදරණීය ස්වාමිපුරුෂයකු සහ ආදරණීය පියෙකු ලෙසද ඒ සටහන් අදටත් අපගේ හදවත් පාරවන සුළුයි.
1951 ජූලි මාසේ 24 වැනිදා ඉපැදුණු ගාමිණී අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද විදුහලින්.
වේදිකාවෙන් සිය රංග දිවිය ඇරඹූ ගාමිණී පුංචි තිරය වගේම සිනමාව තුළත් විවිධාකාර චරිත රැසක් නිරූපණය කළා. ඔහුගේ ආදරණීය බිරිඳ සුභාෂිණි හෙට්ටිආරච්චිත් රංගන ශිල්පිනියක්. ඒ වගේම ඔවුන්ගේ දියණියත් නිළියක්.
ඔහුගේ පුතා ශක්ති හෙට්ටිආරච්චි පුංචි සන්දියේදී දඩබිම ටෙලි නාට්‍යයේ මයිකල්ගේ ළමා කාලය නිරූපණය කළා. මේ වන විට ඔහු විවිධ රූප රචනා අධ්‍යක්ෂවරයකු විදිහට කටයුතු කරමින් සිටිනවා.
අසූව දශකයේ ඇරඹුණු අපේ ටෙලි නාට්‍යය ඉතිහාසයේ එදාමෙදාතුර හැම යුගයක්ම නියෝජනය කළ නළුවන් අතර ගාමිණී හෙට්ටිආරච්චිට හිමිවන්නේ සුවිශේෂී තැනක්.
අසූව දශකයේදී යශෝරාවය සුනිමල් ලෙසින් අතිශය ජනාදරයට පත් ගාමිණී මිය යන විට සිඳු ටෙලි නාට්‍යයේ නවරත්න බණ්ඩාර ලෙස රංගනයේ යෙදෙමින් සිටියා.
ඔහු අවසන් වරට රඟපෑ ටෙලි නාට්‍ය අතර වූ සිඳූ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ තිළිණට අප කතා කළේ ගාමිණීගේ අවසන් දින කිහිපය ගැන විමසන්නයි.
මලී, අත්තම්මා සහ සිඳු ටෙලි නාට්‍ය ත්‍රිත්වය ආරම්භයේමයි ගාමිණී ටෙලි නාට්‍යය සඳහා එකතු වුණේ.
නමුත් ඔහු අත්තම්මාට එකතු වුණේ නැහැ. හැබැයි මලී හා සිඳුට එකතු වුණා. සිඳු නාට්‍යයේ රඟපානකොට ඔහු තරුණ පුතෙකුගේ පියෙක්.
ඔවුන්ගේ පුතා තමයි සනෙත්. මේ ටෙලි නාට්‍යයේ ගාමිණී අයියාගේ බිරිඳ වුණේ සුභාෂිණී. ඔහුගේ සැබෑ ජීවිතයේ බිරිඳමයි. ඒත් කතාව මුලදීම ඇය මියයන නිසා පුතාවත් හදාගෙන ජීවත්වෙන තාත්තා විදිහට ගාමිණී අයියා අපූරු රඟපෑමක් කළා.
ගාමිණි අයියා රඟපෑ ජවනිකා ඉදිරි කොටස්වල විකාශය වෙන්නත් තියෙනවා. ටෙලි නාට්‍යයේ හැටියට සිඳු ගෙදරට නොකියා එළියට යනවා. ඒ හින්දා ඔහුගේ මව සිඳූට බණිනවා. ඒ වෙලාවේ ගාමිණී අයියා ඇවිත් පුතාගේ හිත හදනවා. ඒක තමයි ගාමිණී අයියා අවසන් වරට පෙනී සිටි ජවනිකාව.
අසනීප තත්ත්වයක් හින්දා රෝහල් ගතවෙනවා කියලා තමයි එදා ගාමිණී අයියා ගියේ. හැබැයි ඒ සමුගැනීම සදාකාලික සමුගැනීමක් කියලා නම් අපි හිතුවේ නෑ. තවමත් ඔහුගේ මරණය ගැන අපිට හිතාගන්නත් බෑ..
අන්තිම දවස් කිහිපය තුළ ඔහු පෙනී සිටි රූපවාහිනි වැඩසටහන් අතර තනූජා ජයවර්ධනගේ තාලභාෂණ සුවිශේෂී
එකක්. සෙනසුරාදා රෑ 10යි 20ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන තාලභාෂණ තුළත් ගාමිණි හෘදයාංගම කතාබහක නියැලුණා.
මම කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකළා. එහිදී මට දවස් පතා විවිධ මිනිස්සු හමුවෙනවා. ඒ අයගේ සිතුම් පැතුම් ගති පැවැතුම් ඉරියව් හැම එකක්ම මම නිරීක්ෂණය කළා. විවිධ චරිත නිරූපණය කරන්න ඒ හැම එකකින්ම මම විශාල ආභාෂයක් ලබාගත්තා.
ගාමිණී එම වැඩසටහනේදී කළ ඒ අවසන් ප්‍රකාශය නවක ශිල්පීන්ටත් හොඳ පූර්වාදර්ශයක්. දක්ෂ නළුවෙක් වගේම හොඳ සැමියෙක් හා පියෙක් වූ ගාමිණී තමන්ගේ දරු දෙදෙනාට දැක්වූ ආදරය එදා වැඩසටහන තුළදී එළිදරව් කළේ මේ විදිහටයි.
මගේ දුව නිළියක් විදිහට මටත් වඩා ඉදිරිතැනක ඉන්නවා කියලා මට හිතෙනවා.
පුතා හරිම නිර්මාණශීලි විඩියෝ රූප රචනා අධ්‍යක්ෂවරයෙක්. දවසක ඔහු අධ්‍යක්ෂවරයෙක් විදිහට ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට ක්‍ෂේත්‍රයට යොමුවෙලා ඔහු යටතේ රඟපාන්න ලැබෙනවා නම් ඒක තමයි මගේ ජීවිතයේ මා ලබන ලොකුම සතුට.
වේදිකාව, ටෙලිනාට්‍යය හා සිනමාව තුළ විවිධාකාර චරිත රඟපෑ ගාමිණී හෙට්ටිආරච්චි ඒ සඳහා සම්මානයට පාත්‍ර වූ අවස්ථාවන් රැසක් තිබෙනවා. දඩබිම ටෙලි නාට්‍යයේ මයිකල්ගේ චරිතය සඳහා ඔහු හොඳම නළුවා ලෙස සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා. දඩබිමේ මයිකල් තමන්ගේ රංගන දිවියේ කඩඉමක් විදිහටයි ගාමිණී හැමදාමත් සැලකුවේ.
ජීවිතය කියන්නේ අනපේක්ෂිත සිදුවීම් රැසක එකතුවක්.
ඒ සියලු සිදුවීම් අවසන් වන්නේ මරණයෙන්. ජීවිතය තුළ මිනිසකු මුහුණ දෙන අනේකවිද අවස්ථා විවිධාකාර චරිත හා මුසුකරමින් අපූරු ලෙස ප්‍රතිනිර්මාණය තුළ මේ අපූරු කලාකරුවා සියල්ලට සමුදී මරණය තුළ නිසල නින්දක සැතපුණා. පසුගිය මැයි 30 වැන බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නාවල පොදු සුසානභූමියේදී තමයි ගාමිණීගේ අවසන් කටයුතු සිදුකෙරුණේ.
නමුත් පුංචි තිරය මත ඔහු මැවූ විවිධාකාර භූමිකා හා ඔහුගේ මතකයන් තවත් දිගු කාලයක් යනතුරු රසික හදවත්වල රැඳී තිබෙනු ඇති බව නම් නොඅනුමානයි.
