පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නව සේනාවිධායක ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පත්කර තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා පාතාල මර්දන ඒකකය හා බුද්ධි බලකායේ ආරම්භක සාමාජිකයෙකු වන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේද සමාජිකයෙක් වනවා.
පසුගිය කාලය පුරාම රට පුරා අසන්නට ලැබුණු පාතාල හිස එසවීම් සහ විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සිය දැනුම හා අත්දැකීම මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව පරිදි මෙරට තුල පාතාලය තුරන් කිරීම නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් සිදුකරනු ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවටම විශ්වාසය පවතී.
මෙම වසර තුල සොයාගත් විශාලම මත්කුඩු තොගය අල්ලා ගන්නටද මොහුට හැකිවිය.
දේශපාලන අතගැසීම්වලට පිටුපසට නොයන, සිය නිල ඇඳුමේ ගෞරවය එලෙසින්ම රැක ඇති නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බලකායට අතතබන්නේ රටේ නම ගිය පාතාලකාරයන්ට උන්හිටි තැන් අමතක කරවමින්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා වැඩබලන පොලිස්පතිවරයා විසින් සුදුස්සාට සුදුසු තැන වසන්තය පමාවී හෝ පැමිණෙනවා බවට තහවුරු කරමින් ලබාදීම ගැන නියෝජ්‍ය පොලිස්පති වරුණ ගැන දන්නා අය නිතැතින්ම පවසනු නොඅනුමානය.
මෙරට බොහෝ පාතාල නායකයින් පිටුපස ඇති දේශපාලන හිතවත්කම්ද, සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කෙරුවාවල්ද නතර කිරීම නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ වගකීමක් බව මතක් කළ යුතුය.
මක් නිසාද යත් මෙම පාතාල රංගනයන් නිසා ව්‍යාපාරිකයන්, සාමාන්‍ය වැසියන් පීඩා විදින්නේ නීතියේද පිළිසරණක් නොමැතිවය.
මහාපරිමාණ පරිසර විනාශයන් කරමින්, කෝටි ගණනින් මුදල් ඉපැයීමට තම බලය භාවිත කරන පාතාල කෙරුමන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීම සමාජයට මෙන්ම අනාගත පරපුරටද අමිල සේවාවක් වනු නොඅනුමානය.
කුඩ් ගම්වල පවා අවුරුදු 18 ට අඩු තරුණයන් හා තරුණියන්ද තම ජීවිත විනාශ කරගන්නා මත් උවදුරටද වැට බැදිය යුතුව පවතී.
ඇතැම් පොලිස් නිලධාරීන්ගේද නොමද සහයෙන් රටේ අස්සක් මුල්ලක් නෑර විනාශ වෙන මේ තරුණ පරපුර බේරා ගැනීමද ඔබ අත පවතී.
ගංජා, කුඩු, මත් පෙති තොග පිටින් ගම්තුල සැරිසරන්නේ නීතියේ සිදුරුවලින් ජාවාරම්කරුවන් රිංගමින් බව කවුරුත් දන්නා කරුණකි.
එවැනි සිදුරු පවා වසා දැමීමට ඔබ ක්‍රියා කරනු ඇතැයි අප දැඩිව විශ්වාස කරමි.
ඉතිහාසය දෙස බැලූ විට මාකදුරේ මධූෂ් පොලිසියට කොටුකර දීමේ මෙහෙයුම පිටුපසද සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරය.
ඉතිං මේ ඔබේ කාලයයි. රටේත් ජනාධිපතිවරයාගේත් විශ්වාසය රකිමින් මෙතැන් සිට ඔබ සිදුකරන ක්රියාගැන අපත් රටත් අවධානයෙන් සිටින බව ඔබට සිහිපත් කරමි..
