වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු වන කොළොන්ගොඩ, හසලක ප්රදේශයේ පදිංචි ආර්. එම් සම්පත් උදය කුමාර ජීවිතක්ෂයට පත්වුණා.
“බබා පෙර පාසැල් දැම්මද බලන්න උදේ මට කථා කරා…දවල් කෑම වේලාවට කථා කරනවා කිව්වා.. ආපහු මට කථා කරේ නෑ..” ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව් හර්ෂණි වික්රමසිංහ (28) සැමියාගේ දේහය රැගෙන ආ විට එසේ වැලපෙන්නට වුණා.
සම්පත් උදය කුමාරගේ මෘත දේහය පසුගිය 20 වනදා අලුයම හසලක, කොළොන්ගොඩ පිහිටි ඔහුගේ මවගේ නිවසට රැගෙන ආවා.
මියගිය සම්පත්ගේ දේහය නිවසට රැගෙන ආවද සිරුර තබාගැනිමට ඔහුගේ නිවස ප්රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් ඔහුගේ මවගේ නිවසේ දේහය තැන්පත් කර තිබුණා.
සම්පත්ගේ නිවස කාමර දෙකකින් යුතු ඉතා කුඩා එකක්. නිවසේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහු කොළඹ ප්රදේශයේ කුලි වැඩ සදහා ගොස් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණා. මියගිය සම්පත් දියණියන් තිදෙනෙකුගේ පියෙක්.
මේ ඔහුගේ බිරිඳ කියූ දුක්බර කතාවයි.
” මගේ අම්මයි තාත්තා දෙන්නාම නෑ. කොටි කලබල කාලෙ නැති උනා. ආච්චි ගාව තමයි මම හැදුනේ. මම කැබිතිගොල්ලෑව ප්රදේශයේ ඉදලා තමයි මෙහාට ආවේ. සලකන්ඩ බලන්ඩ මට නෑදෑයො නෑ. ආච්චිත් දැන් නැති වෙලා. මත්තයාගෙත් අම්මා විතරයි ඉන්නේ.
එයාලාටත් අපිට සලකන්න වත්කමක් නෑ. මගේ ගෙදර හදාගන්ඩ මට උදව් කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. මගේ දරුවන් ලොකු මහත් වෙනකම් උගන්න ගන්න කව්රුහරි උදව් කරන්න මට කියලා තමයි මම කියන්නේ. දරුවන් තුන්දෙනෙක් එක්ක මම අද තනිවෙලා.“ යැයි හඩා වැටෙමින් ඉල්ලා සිටියා. පෙරලුන ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් ඔවුන් වෙත සාධාරණයක් ඉටුවේවි යැයි ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.
