සොෆියා ලොරෙන්ස්, කැතරින් හෙම්බර්, මැල්රින් මොන්රෝ වැනි අයගේ චරිතාවිදාන මට දැනුණේ ලෝකේ කොහේ හිටියත් අපේ ජීවිත කතාව එකවගේ කියලා… ඒ හැමෝම යම් කිසි තැනකට ඇවිත් තියෙන් නේ පුදුම දුකක් විඳලා.
පුංචි කාලේ මට තිබෙන සුන්දරම මතකය මගේ ආච්චි. ඇයට තිබුණේ නිල් පාට ඇස්. මගේ ඇස් නිල් පාට නැතත් ගොඩක් අය කියනවා මං ආච්චි වගේ කියලා. සමහර දේවල් ගියොත් ගියාමයි.
ආපහු ගන්න බැහැ. එහෙම දේවල් අපේ ජීවිතවලින් මඟ නොහැරිය යුතුයි. මුල අමතක කරන මනුස්සයකුට ජීවිතේ හරි යන්නේ නැහැ. මනුස්සකම නැත්නම් කලාවෙන් වැඩකුත් නැහැ.
වර්ණකුලසූරිය උස්වත්ත ලියනගේ සබීතා ජානකි පෙරේරා. මීට දශක දෙකකට පෙර සිංහල සිනමාවේ කාන්තිමත් දෑසක් හිමි සොඳුරු යුවතිය ඇයයි.
මේ ඉන්නෙත් ඒ සබීතාමයි.. ඒ දෑසේ කාන්තිය තවමත් එසේමයි.. එකම වෙනස අද ඇය ජීවිතේ පිළිබඳ විසල් අවබෝධයකින් යුතු සොඳුරු ගැහැනියක්, බිරියක්, මවක් ලෙස ජීවත් වීමයි..
ඔබේ ළමා කාලෙන් පටන් ගමු?
මට ඉන්නේ අක්කලා දෙන්නයි නංගියි. හැමෝම මට කතා කළේ චූටි කියලා. අපි පොඩි කාලේ හිටියේ කොළඹ. තුන් වැනි පන්තිය වෙනකල් මම කොළඹ විශාඛාවට ගියා. තාත්තාගේ ගම වෙන්නප්පුව. හැමදේම ගමේ තිබුණු නිසා, කාලෙකදී තාත්තා තීරණය කළා අපිව එක්කර ගෙන ගමට යන්න.
මාව වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් කළා. ඉගෙනීමට නම් මම හරි සාමාන්‍යයි. හැබැයි චිත්‍ර අඳින්න හොඳට පුළුවන්. ඒ කාලේ හරිම ලජ්ජාශීලී කෙනෙක්. පාසල් නාට්යවලටවත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ තිබුණූ ලැජ්ජාවයි කම්මැලිකමයි නිසා. පස්සේ කාලෙකදී මම නිළියක් වුණු බව දැන ගත්තහම මගේ පාසලේ යාළුවොත් පුදුම වුණා. ළඟදි මට උගන්වපු කන්‍යා සොහොයුරියන් පිරිසක් මුණ ගැහුණා.
ඔවුන් මං ආ ගමන ගැන කතා කළේ හරිම සතුටකින් හා ආඩම්බරෙන්. මට එදා ජීවිතයේ වටිනාම සම්මානයක් ගත්තා වගේ සතුටක් දැනුණා. මනුස්සයකුට එහෙම අහන්න ලැබීම භාග්‍යයක්. ඒ භාග්‍යය හිමි වෙන්නේ කලාකරුවාට විතරයි.
පුංචි සබීතා කොහොමද?
මම ගොඩාක් දේවල් එකතු කරන් ගෙදර ගේනවා. මිදුලේ වැටිලා තියෙන ගස්වල කොල, මල් එකතු කරන් ඇවිත් ගොඩ ගහනවා කියලා ගෙදර අය කෑගහනවා. හැබැයි මගේ අක්කලා දෙන්නා මාව අඬවන්න බයයි.
මම අඬන්න ගත්තොත් ගොඩාක් වෙලා ඒ ඇඬිල්ල අල්ලන් ඉන්න නිසා. පුංචි කාලේ මට තියෙන සුන්දරම මතකය මගේ ආච්චි. තාත්තා ගේ අම්මා. ඇය එක්ක මට තිබුණු සම්බන්ඳේ හරි වැඩි.
ඇයට තිබුණේ නිල් පාට ඇස්. ගොඩක් අය කියනවා මං ආච්චි වගේ කියලා.
පුංචි කාලේ හීන මැව්වේ?
කතාවට මම ඒ කාලේ කිව්වේ දොස්තර කෙනෙක් වෙනවා කියලයි. එහෙම කිව්වට ඒ පැත්තට යන්න උත්සාහ කළේවත්, විද්‍යා විෂයයන් හදාරන්න උනන්දු වුණේවත් නැහැ.
ඒ හීනය එහෙමම මඟහැරිලා ගියා. පස්සේ කාලෙකදි හිතුණා අනේ මම වැඩිදුර ඉගෙන ගත්තනම් කොච්චර හොඳද කියලා. මගේ පුතාගෙන් ඒ සතුට අද මම ලබනවා.
පාසල් ප්‍රේමයක් තිබුණද?
එහෙම හැඟීමක් ඇතිවීම සාමාන්‍යයයි. මගේ යාළුවකුගේ අයියා කෙනෙක් දවසක් මට ලියුමක් එවලා තිබුණා. ඒකේ තිබුණේ ඔහු කැමැතියි මාව හම්බෙන්න කියලයි. මගේ ගැන කවුරුහරි හිතනවානේ කියලා එදා නම් පුදුම සතුටක් දැනුණේ. පාසල් ඉවරවෙලා ගෙදර යන ගමන් අපි පාරෙදි මුණ ගැහිලා කතා කර කර යනවා.
තාත්තාව ගමම දන්න නිසා පොඩි බයකුත් දැනුණා. ඒ සම්බන්දේ එතැනින් එහාට ගියේ නැහැ. එය බොහොම සුන්දර මතකයක්. ගොඩක් පස්සේ කාලෙක දී නැවත ඔහු අහම්බෙන් මුණ ගැසුණා. එතැනින් එහාට ඔහු ගැන විපරම් කරන්න මට උනන්දුවක් තිබුණේ නැහැ.
ඔබ පොත පත කියවන්න බොහොම ළැදි කෙනෙක්?
ඔව්. පොඩි කාලේ ඉඳලම මම හරියට පොත් පත කියවනවා. ලොකු අක්කා ගේන නවකතා, චිත්‍ර කතාවලටත් ආසයි. එහෙම කියවන්න ගිහින් වුණු අමතක නොවන රසවත් මතක ගොඩයි. දවසක් පන්තියේ ඩෙස්ක් එක ඇතුළේ තියන් පොතක් කියවද්දි සිස්ටර් පිටිපස්සට වෙලා බලන් ඉන්නවා.
ඉස්කෝලෙට නවකතා පොත් ගේන්න තහනම්. මාව ප්‍රින්සිපල් ළඟට ගෙනිහින් ගෙදර අයටත් එන්න කිව්වා. එහෙම වුණා කියලා කියවන එක නැවැත්තුවේ නැහැ. අතට අහුවෙන හොඳ දේවල් කියවනවා. තිස්ස අබේසකරයන් මට කිව්වා මතකයි සිනමාවේ ඉන්න නිසා චරිතාපදාන කියවන්න කියලා. ඉතින් චරිතාපදාන ගෙඩාක් සල්ලිවලට ගත්තා.
සොෆියා ලොරෙන්ස්, කැතරින් හෙම්බර්, මැල්රින් මොන්රෝ වැනි අයගේ පොත් කියවද්දි මට දැනුණේ ලෝකේ කොහේ හිටියත් අපේ ජීවිත කතාව එකවගේ නේද කියලා… ඒ හැමෝම යම් කිසි තැනකට ඇවිත් තියෙන්නේ පුදුම දුකක් විඳලා.
ජීවිතයේ අත්දැකපු අමිහිරි සිදුවීමක්?
මට දුක දැනෙන සිදුවීම් දෙකක් තිබෙනවා. එක සිදුවීමක් වුණේ වසර 8 කට කලින්. ඒත් ඒ කාලේ මේ තරම් දැනුණේ නැහැ. ඒ මගේ මව්පියන් මෙලොවින් සමුගැනීම. ඒ දෙන්නා තවමත් ජීවතුන් අතර හිටියා නම් ඔවුන්ට පුතා එක්ක සම්බන්ඳ වෙන්න තිබුණා. ඔවුන් නැති වෙද්දි පුතාට අවුරුදු 10 විතර.
ලොකු අවබොධයක් තිබුණේ නැහැ. නමුත් දැන් ඔහුට තේරෙනවා. අම්මා තාත්තා ළඟ ඉඳිද්දි අපට ඒ තරම් අගයක් නැහැ. නමුත් දැන් කල්පනා වෙනවා අනේ එයලා හිටියා නම් මට ඉස්සරට වැඩිය දේවල් ඔවුන් වෙනුවෙන් කරන්න තිබුණා නේද කියලා. ගෙවන කාලය ආපහු එන්නේ නැහැ. එය කවුරුත් හිතට ගත යුතුයි.
අනෙක් සිදුවීම ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ දයා විමලවීර බොහෝ කාලයක් අසනීප වෙලා හිටියා. ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය මට හරිම සමීපයි. මම නිතරම ඔහු බලන්න එන්නම් කියලා ඔහුගේ බිරියට කිව්වත් මට යන්න ලැබුණේ නැහැ. මම විදෙස් ගත වුණු වෙලාවක ඔහු මිය ගියා. එදා මට දැනුණා සමහර දේවල් ගියොත් ගියාමයි කොහොමටවත් ආපහු ගන්න බැහැ කියලා.
ඉතින් එහෙම දේවල් අපේ ජීවිතවලින් මඟ නොහැරිය යුතුයි. මුල අමතක කරන මනුස්සයකුට ජීවිතේ හරි යන්නේ නැහැ. මනුස්සකම නැත්නම් කලාවෙන් වැඩකුත් නැහැ.
වේදනාව, විඳවීම, දරා ගැනීම ඔබට සාපේක්ෂව?
හැමොගේම ජීවිතවල දුක, සතුට, කඩාවැටීම යළි නැඟිටීම පොදුයි. මගේ ජීවිතෙත් එහෙමයි. ටික කාලයක් දුකෙන් හිටියොත් සතුටු වෙන්න යමක් එළැඹෙනවාමයි. සතුටින් හිනා වෙලා හිටියොත් දුක් වෙන්න කාරණයකුත් තියෙනවාමයි.
ඔබේ දුර්වල කම?
මම සමහර වෙලාවට සමහර අයව මම වගේමයි කියලා හිතනවා. මම එහෙම හිතුවත් ඔවුන් එහෙම නැති බව තේරෙනකොට පරක්කු වැඩියි. අන්තිමට පසුතැවෙන්නේ මම. අපි දකින ස්වරූපය නෙමෙයි ආශ්‍රය කරද්දි.
ඔබ ගැන කලින් කලට ඇතිවෙන කතා බහ දිහා බලන්නේ කොහොමද?
කාලෙන් කාලෙට මොකක් හෝ මාතෘකාවක් මතු වෙනවා.
වැඩ නොකර හිටියම අවධානය නැති වෙයි කියලා හිතුවට වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත.
යමක් වෙනස් කර ගන්න අවස්ථාවක් ලැබුණොත්?
ජීවිතේ ගැන හැරිලා බලද්දි සතුට, දුක හිමි, අහිමි හැමදේම ජීවිතයේ කලින් සැලසුම් වූ දෙවල් ලෙසයි මා දකින්නේ. ඉතින් වෙනස් විය යුතු යැයි හැඟෙන යමක් නැහැ.
ධර්මය පිළිබඳ ඔබේ දැක්ම?
බෞද්ධයෙක් විදිහට මට ඒ දර්ශනය ගැන ලොකු පැහැදීමක් කැමැත්තක තිබෙනවා. ලොව හොඳම දර්ශනය බුදු දහම යැයි මම විශ්වස කරනවා. එයින් මට හොද මානසික සුවයක් ලැබෙනවා. අනෙක් හැම ආගමකම කියන්නෙත් ආදරය දයාව කරුණාව ගැනයි.
හදවත සොරා ගත් ප්‍රේමයක් ගැන මතකය?
නම් ගම් කියන්න බැහැ. ඔවුන් දැන් කසාද බැඳලත් ඇති. මම මේ කියන්න යන කෙනා දැන් ලංකාවේ නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්නත් කලින්ම මට හරියට මංගල යෝජනා ආවා. නමුත් සිනමාව නිසා මම ඒ හැම දේම අමතක කළා. මම මේ කියන පුද්ගලයත් මට විවාහ යෝජනාවක් ගෙනවා.
ඔහු මට ගොඩක් ආදරය කළා. නමුත් විවාහයෙන් පස්සේ මේ හැම දේම අත්හැරලා ඔහු සමඟ රට යන්න ඕනේ කිව්වා. ඒ කාලේ මගේ බර තිබුණේ සිනමාවට. ඒ නිසා ඔහුව අතහැරලා මම සිනමාව තෝරගත්තා.
ඔහු ජීවිතේ හමු වූ හොඳ පුද්ගලයෙක්. ඒ කාලෙන් පස්සේ මට ඔහුව කවදාවත් මුණගැසුණේ නැහැ. තව කෙනෙක් හිටියා. ඔහු මගේ රසිකයෙක්. ඔහු මගේ තාත්තාගෙන් මම ගැන ඇහුවා. තාත්තත් හිතුවා ඔහු මට ගැලපෙනවා කියලා. නමුත් ඒ, මම සිනමාවට ආ මුල්ම කාලේ. කසාදෙට වඩා සිනමාවේ රැඳෙන්න මට තිබුණු කැමැත්ත නිසා මම බැහැ කිව්වා. අද ඒ හැමෝම විවාහ වෙලා සතුටින් ජිවත් වෙනවා ඇති.
සැදැ සමය ගැන ඔබේ දැක්ම?
අපි ජීවත් වෙන්න ඕනේ අද මේ මොහොතේ. ඒ නිසා සැදැ කාලය ගැන මට ලොකු හැඟීමක් නැහැ. එන ඕනෑම තත්ත්තවයකට මුහුණ දෙන්න පුළුවන් මානසිකත්වයක් මම ගොඩනඟා ගෙනයි ඉන්නේ. යථාර්ථය අවබෝධ කර ගන්නවා නම් එය බාර ගැනීම එතරම් අමාරු නැහැ.
සිළුමිණ.
