රටේම කතාබහට ලක්වුණු රාගම ලක්ෂ 77ක මංකොල්ලය සිදු කලා බව කියන තරුණයා පසුගියදා අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව මෙම මංකොල්ලයේ සුලමුල හෙළි කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
අදාළ මංකෝල්ලය මෙහෙයවූ තරුණයා කියා ඇත්තේ පිළිකාවකින් පීඩා විඳින සිය පියාගේ ප්‍රතිකාරවලට මුදල් නොවූ නිසා මේ මංකොල්ලයට සහය දුන් බවයි.
මෙම මංකොල්ලය සිදුවුනේ වත්තල රෙදිපිළි ආයතනයකින් ඉවත් කළ සේවකයෙකු සැපයූ ඔත්තුවක් මත එම ආයතනයේ මුදල් ගෙනයමින් පැවති අවස්ථාවක වාහනය හරස් කළ කණ්ඩායමක් විසින්.
කොල්ලය මෙහෙයවන්නට මුල් ඔත්තුව දුන් මේ කියන සේවකයා මින් පෙර අපරාධවලට සම්බන්ධව සිටි අයෙකු නොවන අතර ඔහුට බූරු පොළකදී හමුවූ ජගත් නමැති කොල්ල කල්ලි නායකයා සමග ඇතිවූ කථාබහේදී මෙම මුදල් කොල්ලකන යෝජණාව පවසා තිබෙනවා..
ලක්ෂ ගාණක් මුදල් සොරාගත හැකි බවත් තමාට ඉන් අවශ්‍ය කරන්නේ ලක්ෂ 5 ක් පමණක් බවත් ඔත්තුකාර සේවකයා දන්වා තිබුණ අතර ඒ කියූ ලෙසම කොල්ලකෑම අවසානයේ ඔහුගේ මුදල් කොටස ලැබී තිබෙනවා.
මේ සැකකරු පාසලින් මෑතකදී ඉවත්වූ විසිහැවිරිදි තරුණයෙක්.
කොල්ලයේ කොටස ලෙස ලැබුණු ලක්ෂ පහක මුදලින් ලක්ෂ දෙකක් රෝහල්ගතව සිටින සිය පියාගේ පිළිකා එන්නත් සඳහා වැයකර ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
මෙම පිරිස ලක්ෂ 15 බැගින් බෙදාගෙන ඉන් පසුව වෙනමම ලක්ෂ පහක් ඔත්තුකරුට ලබාදී ඇති බවයි මේ වනවිට හෙළිවී තිබෙන්නේ.
ඔහුගේ පියාගේ පිළිකා රෝගය කාලයක් තිස්සේ උත්සන්න මට්ටමක පැවතියත් මුදල් හිඟකම නිසා ප්‍රතිකාර ප්‍රමාද වූ බවත් ඒ අතරවාරයේ රැකියාවේ ප්‍රශ්නයක් නිසා රැකියාවද අහිමිවූ බවත් පවසා ඇති අතර එබැවින් කොල්ලයක් සිදු කර හෝ මුදල් උපයාගන්නට සිතා මෙම ඔත්තුව ලබාදුන් බවත් පාපොච්චාරණය කර තිබෙනවා.
මේ වනවිට මෙම කොල්ලය සිදුකළ සැකකරුවන් සියල්ල අල්ලාගෙන තිබෙන අතර ඔවුන් කොල්ලයෙන් ලබා ගත් මුදල් සඟවා ඇති තැන්වලින් නැවත පොලිසියට ලබාදෙන්නට කටයුතු කර තිබුණා.
මේ වන විට කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 40ක් සොයාගත් බව කැලණිය පොලිසිය පවසා තිබෙනවා.
