Gossip

විවාහ වුණු අලුත නම් මට ඒක ටිකක් දරාගන්න අපහසු වුණා. ඒත් පස්සෙ මමම ඒ ගැන තේරුම් ගත්තා

ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ සොදුරු කලාකරුවෙක්. වේදිකාව, සිනමාව වගේම ටෙලිනාට්‍යයේ දකින්න ලැබෙන ඔහුට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඒ ආදරේට වයස් භේදයක් නැහැ. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද කාංචනා කාරියප්පෙරුම කියන්නේ මෙහෙම කතාවක්.

ඔබට ප්‍රියන්තව මුණගැහුණේ කොහොමද?
“සාරංගා නැවෙන් ඇවිත්” කියන වේදිකා නාට්‍යයේ අපි දෙන්නම රඟපෑවා. එතැනදී තමයි අපි හමුවුණේ.

මුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?
විහිළු තහළුවලින් පිරිච්ච, හිත හොඳ, කරුණාවන්ත කෙනෙක්.

පෙම්වතා කාලෙදි ප්‍රියන්ත?
ගොඩක් හොඳ කෙනෙක්.

සැමියෙක් විදියට?
අපි දෙන්නම බොහොම කාර්යබහුල ජීවිත තමයි ගත කරන්නෙ. දරුවො දෙන්නට එයා හරිම ආදරෙයි. පවුලේ හැම දෙයක් ගැනම හොයලා බලනවා. හොඳ වගකීම් සහිත ජීවිතයක් එයා ගෙවන්නේ.

ජනප්‍රියත්වය ගැන ඔහු හිතන විදිය?
ජනප්‍රිය වුණාට හරිම නිහතමානියි. ඕනම කෙනෙක් එක්ක හොඳට කතාබහ කරලා ඉන්නවා.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන විදිය?
ඒකෙ වාසි වගේම අවාසිත් තියෙනවා. මොනව හරි වැඩක් කරගන්න තැනකට ගියොත් එයාව හැමෝම දන්න නිසා ඒ වැඩේ ඉක්මනින් කරගන්න පුළුවන්.
ඒ වගේම අපි චාරිකාවක් ගිහින් ඉන්නකොට වුණත් ගොඩක් රසිකයො අපිත් එක්ක කතාබහ කරන්න එනවා.

ඔහුගේ වෘත්තීයමය භූමිකාව නිසා පවුලේ කටයුතු මඟහැරෙන්නෙම නැද්ද?
ඉස්සර නම් ගොඩක්ම පවුලේ දේවල් මඟහැරුණා. විවාහ වුණු අලුත නම් මට ඒක ටිකක් දරාගන්න අපහසු වුණා. ඒත් පස්සෙ මමම ඒ ගැන තේරුම් ගත්තා. ඇත්තටම කලාකාරයෙක් කියන්නෙ පොදු වස්තුවක් ඉතින්.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවද?
එහෙම ඒවා නැහැ. මම හිතන්නෙ ප්‍රියන්ත අයියා කියන්නෙ සාර්ථක චරිතයක්.

ඔහු වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඇත්තටම ඔව්.

ප්‍රියන්ත සාමාන්‍ය ජීවිතයේ මොන වගේද?
එයා හරිම නිශ්ශබ්ද, ගොඩක් පොත්පත් කියවන, පිළිවෙළට සහ වෙලාවට වැඩ කරන කෙනෙක්.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් හිතන කෙනෙක්ද?
මම හිතන්නේ සැහැල්ලුවට හිතන්නෙ නැහැ. හැම දෙයක්ම සැලසුම් කරලා වගකීම් සහිතව කරන කෙනෙක් එයා.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඇත්තටම ඔව්. ගොඩක් සතුටුයි.

දුක හිතුණම ප්‍රියන්ත?
එයා දුකින් ඉන්නවා මම වැඩිය දකලා නැහැ.

සතුටු හිතුණම?
එයා කොහොමත් නිශ්ශබ්ද කෙනෙක්. හැම දෙයක්ම සම සිතින් විඳගන්නවා.

තරහ ගියාම ඔහු?
ටිකක් සැරයි ඉතින්. තරහ ගියාම කතා නොකර ඉන්නවා. හැබැයි හරි ඉක්මනට තරහ නිවෙනවා.

ඔහු වැඩිපුර යන්න කැමැති තැන්?
එයා කොහෙවත් යන්න කැමැති නැහැ. වැඩිපුර කැමැති ගෙදර ඉන්න.

ඔහු වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද?
දරුවො දෙන්නට.

ඔහුට නැතිවම බැරි අය?
බබාලා දෙන්නා තමයි.

මොන වගේ විලාසිතා කරන්නද කැමැති?
විශේෂ දෙයක් නැහැ.තැනට සුදුසු විදියට අඳිනවා.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
එයා ගැන අහන්න ලැබෙන හැම දෙයක් ගැනම සතුටුයි.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?
තාම නම් එහෙම ආරංචියක් ලැබිලා නැහැ.

හදිසියේ හරි එහෙම ආරංචියක් ආවොත්?
මම හිතන්නෙ නැහැ එහෙම ආරංචියක් එයි කියලා. එයා අවංක කෙනෙක්.

ඔහු ගැන අපි නොදන්න රහස්?
එයාට හොඳට රසට උයන්න පුළුවන්.

ඔහු ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස?
මම හිතන්නෙ බබාලා දෙන්නා, හම්බවුණු දවසේ.

ඔහු ජීවිතයේ ජයගත්ත දේවල්?
ඔහු හැම පැත්තකින්ම සාර්ථක චරිතයක්. හැම දෙයක්ම ජය අරගෙන ඉන්නෙ.

ඔහු ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?
පිරිසුදුකමට ලොකු තැනක් දෙනවා. ඒ වගේම වෙලාවට වැඩ කරන එකට වගේම දරුවො දෙන්නටත් ලොකු තැනක් දෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!