දුව හැමදාම ඉස්කෝලේ ඇරිලා හවස හතරහමාර වෙනකොට ගෙදරට එනවා… පළමුවැනිදා හය වෙනකොටත් ගෙදර ආවේ නෑ… ඒක නිසා අපි විදුහල්පතිතුමාටත් කතාකරලා ඇහුවා… වෙනද වෙලාවටම යාළුවොත් එක්ක පාසලෙන් ගියා කිව්වා… ඒත් අන්තිමට ගෙදර ළඟටම ආපු දරුවට වෙච්ච දෙයක්.“ චන්දිමා නිසංසලා ඉංග්‍රීසි ගුරුවරියගේ මව චන්ද්‍රා ජයවීර හඬා වැලපෙන්නීය.
රටම කම්පාවට පත්වූ ගම්පොළ කීරපන ප්‍රදේශයේ විසූ අබිරහස් ලෙස මියගිය නිසංසලාගේ මළසිරුර ඇය අතුරුදන්වූ ගම්පොළ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි හාරගම ප්‍රදේශයේ මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශයේ තිබියදී හමුවූයේ දින අටකට පසුවයි.
පසුගිය නව වැනිදා ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සිවසුබ්‍රමනියම් මහතා විවෘත තීන්දුවක් ලබා දුන්නෙ ඇගේ මරණය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.
චන්දිමා නිසංසලා රත්නායක 27 හැවිරිදි රූමත් තරුණියකි. හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය භාර ගුරුවරිය ලෙස සේවය කළ ඇය දිනපතා ගම්පොළ සිට කිලෝමීටර් පනහක් පමණ දුරින් පිහිටි හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලයට ආව ගියාය.
කෙතරම් වෙහෙසකර ගමනක් වුවද පාසල් දරුවන්ට මෙන්ම ගුරු වෘත්තියට ඇය දැක්වූ ආදරය නිසා කුමන බාධක පැමිණියද නිසංසලා පාසල් යෑම අතපසු නොකළාය.
පළමු වැනිදාට යෙදුණු ලෝක ළමා දිනයදා පාසල් දරුවන්ට සතුටුදායක දිනකි. එදින පාසලේ පැවැති ළමා දින වැඩසටහන්වලදී ප්රමුඛ කාර්යභාරයක් කළ නිසංසලා තමාගේ පන්තියේ දරුවන්ට අයිස්ක්රීම්වලින්ද සංග්‍රහයක් කර තිබුණාය.
පාසල නිම වීමෙන් පසු තම යෙහෙළියක වූ සාවිත්‍රි ගුරුවරිය සමඟින් සුපුරුදු ලෙස හැටන් සිට මහනුවර බලා පිටත්වන බසයට ගොඩ වී තිබුණේ නිවෙස් බලා යෑමටයි. පැය දෙකක පමණ ගමනකින් පසු ගම්පොළට පැමිණි නිසංසලා, යෙහෙළියගෙන් සමුගෙන ගම්පොළ නගරයේ සිට මීටර් 150ක් පමණ දුරින් පිහිටි නිවෙසට පාගමනින් ගොස් තිබුණාය. ඒ ඇය දිනපතා යනෙන සුපුරුදු ගමන් මාර්ගයයි.
සාමාන්‍යයෙන් සවස හතරයි තිහ පමණ වන විට සෑම දිනෙකම ඇය නිවෙසට පැමිණෙන්නීය. පාසලේ විශේෂ උත්සවයක් හෝ අතිරේක පන්තියක් පැවැති දිනවල නිවෙසට පැමිණ තිබුණේ රාත්‍රී අඳුර වැටෙන විටයි. එවැනි බාහිර වැඩක් යෙදි නොතිබුණු පළමුවැනිදා සුපුරුදු වේලාව ගෙවී පැය ගණනක් යනතුරු අගේ නොපැමිණිම නිවැසියන්ට ප්‍රශ්නයක් විය. එදින හැන්දෑවේ ඇද හැළුණ ධාරානිපාත වර්ෂාව දුවගේ ගමනට බාධාවක් වන්නට ඇතැයි ඔවුහු සිතුහ. ඇයගේ දුරකථනයට ඇමැතුම් ගත්තද එයද අක්‍රියව තිබිණි.
අනතුරුව පාසලේ විදුහල්පතිවරයා ඇමැතූ විට නිසංසලාගේ දෙමාපියන්ට විදුහල්පතිවරයාගෙන් දැන ගන්නට ලැබී ඇත්තේ නිසංසලා සුපුරුදු වෙලාවට පාසලෙන් පිටත් වූ බවයි.
මහ වැස්සේම නිසංසලා ගැන සොයා බැලීමට ඇගේ ඥාතිහු උනන්දු වූහ. නිසංසලාගේ අනපේක්ෂිත අතුරුදන් වීම පිළිබඳව ගම්පොළ පොලිස් පොතේද සටහනක් තැබිණි. ගම්පොළ දුම්රිය පොළ ආසන්නයේ කීරපන දුම්රිය හරස් මාර්ගය මාරුවී නිවෙසට යාමට ඇති අතුරු මාර්ගය නිසංසලා සැමදා යනෙන මාර්ගයයි. ඒ මාර්ගයේ සෝදිසියේදී ‘ඉගෙනුම’ නමැති උසස් අධ්‍යාපන ආයතන සීසීටීවී කැමරාවේ සටහන් වී තිබුණේ නිසංසලා කුඩයක් ඉහළාගෙන යන ආකාරයයි. එහි වෙලාව ලෙස සවස 4.06 සටහන් වී තිබිණි. එතැන් සිට නිසංසලාගේ නිවෙසට තිබුණේ මීටර් සියයක පමණ දුරකි.
කිලෝමීටර් පනහක් පමණ දුරක සිට පැමිණි ඇයට නිවෙසට මීටර් සියයක දුරකදී වූයේ කුමක්ද යන්න සැමට ප්රහේලිකාවකි. එහෙත් එම මාර්ගය අධික වර්ෂාව පවතින විටදී ජලයෙන් යට වන බවත් එවැනි අවස්ථාවල මාර්ගයට සමාන්තරව ගලා යන කොන්ක්‍රිට් කාණුවට අතුරා තිබෙන කොන්ක්‍රීට් ලෑලි මත ගමන් කිරීම බොහෝ දෙනෙකුගේ පුරුද්දකි. එහෙත් ඇතැම් ස්ථානවල කොන්ක්‍රිට් කාණුවේ ලෑලි නොමැති බවකි. නමුත් ජලයෙන් යටවූ විට කොන්ක්‍රිට් නොමැති ස්ථාන හරිහැටි නොපෙනේ.
නිසංසලා මේ කාණුවට වැටුණාද යන්න බොහෝ දෙනෙකුට සැකයක් මතුවිණි. එහෙත් ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොවිණි. අඩුම තරමේ ඇය සන්තකයේ වූ අත්බෑගය, සෙරෙප්පුවක් හෝ ඉහළාගෙන ගිය කුඩයද අසලක රැඳී නොතිබිණි. ගම්මු සහ පොලිසිය එක්ව අධික වර්ෂාවේම ඇය ගැන සොයා බැලුවත් කිසිඳු හෝඩුවාවක් නොවූහ. එම කාණුව මඳ දුරක් ගොස් වැටුණේ ඇළකටයි. එම ඇළ කිලෝමීටර් භාගයක පමණ දුරක් ගොස් මහවැලි ගඟට එක්වේ.
පළමු වැනිදා සිට කිසිදු තොරතුරක් නොමැතිව දින ගණනාවක්ම අතුරුදන්ව සිටි නිසංසලා ගැන ඒ වන විට නොයෙක් කටකතාද පැතිරෙමින් තිබිණි. ඇය විවාහ වීමට ඒ වන විටත් නම් ප්‍රසිද්ධියට පත්කොට සිටියාය. ඒ, යෝජිත විවාහයක් මත උපපොලිස් පරීක්ෂකවරයෙක් වන සංජීව සුරේෂ් සමඟිනි. කලක් ගම්පොළ පොලිසියේ සේවය කළ ඔහු මේ වන විට මන්නාරම පොලිසියේ සේවය කරමින් සිටී. නිසංසලාගේ අතුරුදන් වීම සිදුවන විට සංජීව නිවාඩු ලැබ පැමිණ සිය ගම් ප්‍රදේශය වන හොරණ විසුවේය. ඔහුද මේ මස 29 වැනිදා විවාහය ලියාපදිංචි කිරීමට සිටි සිය අනාගත බිරියගේ අනපේක්ෂිත අතුරුදන් වීම පිළිබඳව මහත් කම්පාවට පත්ව ඇය සෙවීමේ කටයුතුවලට ද එක්ව සිටියේය.
ඇගේ අතුරුදන් වීමෙන් දින හතරකට පසු අප ප්‍රාදේශීය වාර්තාකරු දිල්හාන්ට අවට ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගෙන් තොරතුරක් ලැබී තිබුණේ නුවර සිටඩෙල් හෝටලය ආසන්නයේ මහවැලි ගඟේ තරුණියකගේ මළසිරුරක් පාවෙන බවයි. ඒ පිළිබඳ අප මාධ්‍යවේදියා නිසංසලාගේ ඥාතින්ද දැනුවත්කොට එය බැලීමට යාමට සැරැසෙද්දී නැවතත් පණිවිඩයක් ලැබී තිබුණේ ගඟේ සැඩ පහර වැඩි හෙයින් සිරුර ලේවැල්ල පාලමද පසුකොට ගොස් ඇති බවයි. පසුව තොරතුරක් ලැබී තිබුණේ එම සිරුර පොල්ගොල්ල වේල්ලෙන්ද පහළට වැටුණ බවට හමුදා නිලධාරියෙක් දැක ඇති බවටයි.
කෙසේ හෝ ඒ වන විට නිසංසලාගේ සිරුර පිළිබඳව කටුගස්තොට, වත්තේගම, කුණ්ඩසාලෙ, තෙල්දෙණිය යන පොලිස් ස්ථානද දැනුවත්කොට තිබුණේ ගම්පොළ පොලිසිය විසිනි.
පසුගිය හත් වැනිදා සවස මහවැලි ගඟ සහ වික්ටෝරියා ජලාශය යාවන ප්‍රදේශයේ ධීවරයකුගෙන් හෝඩුවාවක් ලැබුණේ මළසිරුරක් පාවෙන බවට තෙල්දෙණිය පොලිසියටයි. එම ඉසව්ව තෙල්දෙණිය පොලිසියට අයත් නොවන හෙයින් පසුව ඒ පිළිබඳ පරීක්ෂණ තලාතුඔය පොලිසියට බාර කෙරිණි.
කිමිදුම්කරුවන් දෙදෙනෙක් යොදා හත්වැනිදා රාත්‍රියේම මළ සිරුර ගොඩගෙන තිබිණි. නිසංසලාගේ පියාණන් සහ ඥාතින් විසින් පසුගිය අටවැනිදා පෙරවරුවේ එම සිරුරේ අතෙහි බැඳි කහපැහැති නූලක් සහ ඇය අවසන් වරට ඇඳ සිටි හැට්ටයේ පාට අනුව ඒ තම දියණිය බවට හදුනා ගත්හ.
නිසංසලා ගමන් ගත් මාර්ගයේ තිබූ කාණුව අධික වර්ෂාවට ජලයෙන් යටවීම නිසා ඇය කාණුවට වැටි එම කාණුවෙන් ඇළට ගොස් ඊට මීටර් පන්සීයක් පමණ දුරින් ඇති මහවැලි ගඟට ගසාගෙන ගොස් පසුව වික්ටෝරියා ජලාශය දක්වා ගසාගෙන යන්නට ඇතැයි පොලිසීය සැක කරයි. එය එසේ වුවද ඇයට වූයේ කුමක්ද යන්න මෙතෙක් කිසිම ඇසින් දුටු සාක්ෂියක් නොමැත. ඇයගේ ගෙල බැඳි පවුම් තුන රන් මාලය මළ සිරුරේ තිබිණි.
නිසංසලාගේ පියාණන් වන වීරසිංහ මුදියන්සේලාගේ රත්නායක මහතා පවසා තිබුණේ තම දියණියගේ අතුරුදන් වීම පිළිබඳව සැකයක් පවතින බවයි. “දුව ගැන මීට වසර පහකට පමණ පෙර පුද්ගලයකු උනන්දුවෙන් හිටියෙ. ඊට අකමැති වුණ නිසා ඒ පුද්ගලයා යම් යම් බලපෑම් කළා. මගේ දුව හරිම අහිංසක කෙනෙක්. දුවට වූ විපත ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නයි මම ඉල්ලන්නෙ.“ නිසංසලාගේ පියා පවසන්නේ බොහෝ කම්පාවෙනි.
චන්දිමා නිසංසලා මූලික අධ්‍යාපනය ලබා තිබුණේ ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකාවෙනි. අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වූ ඇය පසුව මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළත්ව උසස් පෙළට පෙනි සිට පේරාදෙණිය සරසවියට සුදුසුකම් ලබා තිබුණාය. ඉංග්‍රීසි භාෂාවට හපන්කම් පෑ නිංසසලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය සම්පූර්ණකොට ගුරු පත්වීමක් ලැබුවාය.
2016 වසරේදී මුල්ම පත්වීම ලෙස ඇය වැඩ බාරගෙන තිබුණේ හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලයෙනි. එම විදුහලේ විදුහල්පති වසන්ත කවිරාජ මහතාද නිසංසලා ගැන මතකය අවදි කළේ මෙසේය.
“අපේ පාසලේ ඉංග්‍රීසි විෂයට අමතරව සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ඉගැන්නුවෙත් නිසංසලා. ඒ වගේම පාසලට ඇතුළත් කිරීමට පෙර හය ශ්‍රේණියේ දරුවන්ට කරන විශේෂ ඉංග්‍රීසි වැඩසටහන් සියල්ලම බාරව කටයුතු කළේ මේ ගුරුතුමිය. ඇගේ වියෝව අපේ පාසලට මහත් පාඩුවක්. කොතරම් දුරක සිට පැමිණියත් කියන කිසිම වැඩක් අතපසු කළේ නැහැ.
දරුවන් වෙනුවෙන් ඉතාම හොඳින් කැපවුණ ගුරුවරියක් හැටියට මුළු පාසලේම දරුවන්ගේ සිත් දිනාගෙන සිටියා. මොනතරම් දුරක සිට පාසලට පැමිණියත් කිසිම දිනෙක පරක්කු වෙලා ආවෙ නෑ. දරුවන් වෙනුවෙන් හවස අතිරේක පන්ති පැවැත් වුවත් නිසංසලා ටිචර් කිසිම දවසක එම පන්ති මඟ හැරියේ නෑ.
තවමත් අබිරහසක්ව පවතින නිසංසලාට සැබැවින්ම සිදු වුයේ කුමක්ද? ඇය මිය ගියේ කොන්ක්‍රිට් දමා වසා නොතිබුණ කාණුවට වැටීමෙන් ද? එසේ වැටුණා නම් ඈ ඉහළෙගන ආ කුඩයට මෙන්ම ඈ අත තිබුණු බඩුවලට සිදු වුයේ කුමක්ද? එහෙමත් නැතිනම් කවුරුන් හෝ ඇයට විපතක් කළේද? මේ සියල්ලටම පිළිතුරු තිබිය යුතුය.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
