Gossip

“මම හරියට ඒ ගැන දුක් වුණා. මට අවස්ථාවක් ලැබුණොත් මම එය නොකර ඉන්නේ නැහැ” – හිමාලි සයුරංගි

භූමිකාවෙන් කලාවට පිවිස, ගායනයෙන්ද නර්තනයෙන්ද වරින් වර ඉස්මතු වී පසුව රංගනයේ දී තමා සතු දක්ෂතා හඳුනා ගන්නා ඇය, විවිධ චරිතවලට දක්ෂ ලෙස පණ පොවමින් කාලයක් පුරා තම රංග කාර්යය මැනවින් ඉටු කිරීමට සමත් රංගන ශිල්පිනියකි.
ප්‍රේක්ෂක ආදරය, අවධානය හා ආකර්ෂණය දිනාගත හැකි චරිත මනා ලෙස හඳුනා ගනිමින් එවැනි රංගනයන් තුළ නිතර ගැවසුණු ඇය මෑත කාලීනව ජනාදරයට පත්ව සිටින්නේ ‘දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයයේ ‘උදේනි‘ ලෙසයි. ඇය දක්ෂ, ජනප්‍රිය සහ සම්මානනීය රංගන ශිල්පිනි හිමාලි සයුරංගි ය.

හිමාලිගේ රංගනය දැන්මෙ ගාවක් නිසා සීමා වෙලාද?
මෙගා නාට්‍ය නිසා අනෙකුත් නිර්මාණවලට දායක නොවන සීමාවක් මම පනවා ගෙන නැහැ. ‘දෙවැනි ඉනිම‘ ට එදා වගේම තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඒ නිසා තවමත් මම නාට්‍යයේ රැඳි ඉන්නවා. නමුත් මේ නාට්‍ය තුළ මට එපා වීමක් වුණු දවසට මම එයින් ඉවත් වේවි.
මේ කාලේ හොඳ තිර පිටපත්වල අඩුපාඩුවක් නැති නම් ඒ නිර්මාණ බාර ගන්න මේගා නාට්‍යය මම ප්‍රශ්නයක් කර ගෙන නැහැ.

“දෙවැනි ඉනිමේ” කොඳු නාරටියවන්ධ ර්මප්‍රිය ඩයස්, ඔබ වැනි රංගන ශිල්පීන් ඒ හරහා කිසිදු ජනප්‍රිය සම්මානයකට නිර්දේශ නොවන්නේ ඇයි?
ජනප්‍රිය සම්මානයට තේරි පත්වෙන පිළිවෙළම අද උභතෝකෝටික ප්‍රශ්නයක්.
ධර්මප්‍රිය ඩයස්, බිමල් ජයකොඩි වැනි අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් මෙවැනි සම්මානවලට නිර්දේෂ නොවන්නේ ඇයි ද යන්න මටත් ගැටලුවක්. එවැනි ප්‍රවීණයන්ගේ රංගන ප්‍රබලත්වය නාට්‍යයක ජනප්‍රියත්වයට සෘජුවම බලපානවා.

මේ සම්මානවල විනිවිද බව ගැන සතුටු විය හැකිද?
එකම එක නිර්මාණයකට පෙනි සිට ඒ නිර්මාණය ප්‍රේක්ෂයා අතරට ගොස් මාස තුන හතරක් ගත වෙන්නත් මත්තෙන් ඒ රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් ජනප්‍රිය ලැයිස්තුවේ පස් දෙනා අතරට ඇතුළත් වෙන්න පුළුවන්ද.., කවුද ඔවුන්ව එහෙම ඇතුළත් කරගන්නේ.., ජනප්‍රිය සම්මානය වෙනුවෙන් මෑතකාලීනව ඇයි මේ අවුරුදු 18-25 අතර වගේ නවකයින් හතර පස්දෙනකු විතරක්ම නිර්දේශ වෙන්නේ, ඇයි ප්‍රවීණයකුගේ නමක් එයට ඇතුළත් නොවන්නේ, මැදි වයසේ අයට ජනප්‍රිය කිරුළ ගන්න බැරිද? මට හිතෙන්නේ මේ සියල්ලටම හේතු සොයා වගකිව යුත්තන් මැදිහත් විය යුතු කාලය දැන් ඇවිත්.

කෙටි පණිවිඩ ඔස්සේ ජනප්‍රියත්වය තක්සේරු කළ හැකිද?
එය ප්‍රමිතිගත වෙනවා නම් වඩා හොඳයි. ජනප්‍රියත්වය ලස්සන මත පදනම් වූ දෙයක් නෙමෙයි.
නමුත් අද එය රූපය මත දෙන දෙයක් බවට පත් වෙලා. ජනප්‍රිය කිරුළ වෙළෙඳ ප්‍රචාරණ ක්‍රමෝපායක් වෙලා.
එස්.එම්. එස් මත පමණක්ම සම්මාන ලබාදීම සාධාරණයි කියලා මම හිතන්නේ නෑ.
සියයට පනහක් එස් එම් එස් මනාපවලිනුත්, ඉතිරි සියයට පනහ දක්ෂතාව මත ලබාදෙන ක්‍රමයක් ඇති කළොත් හැබෑම ජනප්‍රිය නළුවා නිළිය අපට දකින්නට ලැබේවි.
ඒ නිසා මම හිතන්නේ ජනප්‍රිය සම්මානයටත් ජූරියක් තිබිය යුතුයි. සම්මානය ලබා දීම පිළිබඳ යම් නිවරැදි මඟපෙන්වීමකට නම් ජූරියක මැදිහත් වීම අවශ්‍යයයි .

මෑත කාලීනව ජනප්‍රිය සම්මානයට නිර්දේශ වූවන් සැබවින්ම ජනප්‍රියද?
ඔවුන් ජනප්‍රිය ඇති. ඒ සම්මාන ගත් අය අතර දක්ෂයනුත් ඉන්නවා. නමුත් ඒ ගමනට ඔවුන් එකතු කර ගත යුතු දේවල් තවත් බොහොමයි. නිර්මාණ එකකට දෙකකට පෙනී සිට නිර්දේශ වන අයට වඩා මිනිස්සු ආදරේ කරන ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය, ප්‍රවීණයෝ ඉන්නවා. එවැනි අය ඇයි මේ ලැයිස්තුවට ඇතුළත් නොවන්නේ?

නවකයකුට ජනප්‍රියම සම්මානය හිමි වීම හානියක්ද?
දක්ෂයන් නිර්දේශ වීම සහ එයින් දක්ෂතම කෙනකුට එම සම්මානය හිමි වීමේ කිසිම හානියක් නැහැ.
නමුත් බොහෝ දුරට එය එසේ නොවීම මම දකින්නේ නවක පරම්පරාවට සිදුවන අපරාධයක් සහ ප්‍රවීණයන් අවතක්සේරුවකට, කලකිරීමකට හා හෑල්ලුවට ලක් කිරීමක් ලෙසයි.
මෙය මා නව පරපුර ගැන ද්වේෂයකින් හෝ ඊර්ෂ්‍යාවකින් කියන දෙයක් නෙමෙයි.
මුකුත් හසරක් නොදැන එක නාට්‍යකින් කලඑළි බහිද්දිම මේ වගේ ජනප්‍රිය සම්මාන දීම හෝ නිර්දේශ වීම ඔවුන්ට කරන අපරාදයක් හා ඔවුන්ගේ නිර්මාණශීලිත්වය මොට කිරීමක්.
මීට එහා ගමනක් නැහැ යනුවෙන් ඔවුන් එයින් අධිතක්සේරුවකට වුණත් පත් විය හැකියි. කවුරුන් හෝ කණ්ඩායමක් විසින් කෙරෙන මේ නොමග යෑවීමෙන් සිදු වෙන්නේ නව පරපුරට මේ ක්ෂේත්‍රය හොයා යන්න තිබෙන වුවමනාව, මේ විෂයය අත්හදා බැලීම් කරන්න තිබෙන අවස්ථා, එයට යොදන කාලය හා එවැනි දෑ තුළින් පන්නරය ලබන්න තිබෙන අවස්ථා ඔවුන්ගෙන් උදුරා ගැනීමයි. සමහර නළු නිළියන් කැමරාවට හරි බයයි. ඒ නුහුරු බව, චකිතය, මුහුණෙන්, දෙබස් කියන විදිහෙන් පවා පේනවා.
එහෙම අය ජනප්‍රිය කිරුළට නිර්දේශ වීම ප්‍රවීණයකුට කරන අවතක්සේරු කිරීමක් නෙමෙයිද? ජනප්‍රිය සම්මානය කියන්නේ අවුරුදු කුමරා කුමරිය තෝරා ගැනීමක් නෙමෙයි. නළුවකුට හෝ නිළියකට ජනප්‍රිය වෙන්න හොඳ රංගනයක් තිබිය යුතු නොවේද?

මේ වෙන්නේ ආධුනිකයන් බලෙන් ජනප්‍රිය කරවීමක් ද ?
ඔවුන් ජනප්‍රිය වෙන්නේ වසරක් හෝ දෙකක් ඒ නාට්‍ය විකාශය වන කාලය අතර. නමුත් අදටත් කොතැන ගියත් ලකි ඩයස්, ක්ලිටස් මෙන්ඩිස් , නිල්මිණි තෙන්නකෝන් වැනි රංගන ශිල්පීන්, ශිල්පිනියන් දුටු පමණින් හො නම කියූ සැණින් නොදන්න කෙනෙක් ඉන්නවාද?
මම කියන්නේ මේ කාලේ ජනප්‍රිය කෙනා හෝ කමක් නැහැ ඔහු හෝ ඇය කර තිබෙන නිර්මාණ කිහිපයක් බලන්න.
අද මේ ජනප්‍රිය චරිත බොහෝ වෙලාවට ‘කළු චරිත‘, හිඟන චරිත හෝ අපිළිවෙලට ඉන්න චරිතයකට පණ පොවන්න කැමැති නැහැ,
එය ජනප්‍රිය කිරුළට හානියක් ලෙසයි ඔවුන් දකින්නේ. නළුවා හෝ නිළියක් නම් එසේ වෙන්න බැහැ. මේ නව පරපුරට කලාව තුළ හැදෑරිම් කරන්න අවස්ථා හදලා දෙන්න, එවැනි හැදෑරිමකින් පසු ඔවුන් සම්මානනියත්වයට පත් කිරීම කිසිදු වරදක් නැහැ. එයින් ඔවුන්ගේ කලා දිවියට සුබසිද්ධියක් වේවි.

ජනප්‍රිය වූ පමණින් ක්ෂේත්‍රයේ පැවැතිය හැකිද?
එය මට හරියටම කියන්න බැහැ. සමහර අයගේ පැවැත්මක් තිබෙනවා. සමහරු ජනප්‍රිය සම්මාන ගත්තට පස්සේ එක නාට්‍යකවත් දකින්න ලැබෙන්නේ නැහැ.
මේ සම්මානවලට නිර්දේශ වන අය අතරේ දෙබසක් හරියට කියා ගන්න බැරි අය පවා ඉන්නවා.
ඔවුන්ට ඒ චරිත හැරුණු විට තව චරිත කරන්න පුළුවන් ද, ඔවුන් ඉදිරියටත් ක්ෂේත්‍රයේ රැඳේවී ද කියලවත් ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ. ඔවුන් චරිතාංග නළු නිළියන් නම් වෙන චරිතවලට ද ප්‍රවිෂ්ට විය යුතුයි. ඒ නිසයි මම කියන්නේ අනෙක් හැම සම්මානෙකටම ජුරියක් තිබෙනවා වගේ මේ සම්මානෙටත් ජූරියේ අවධානය යෙමු කරන්න දැන් කාලය එළැඹිලා කියලා.

ඔබේ මතය ඔවුන් පිළිගනීවිද?
අපි පිළිගත්තා. මමත් ජනප්‍රිය නිළිය, නැගී එන නිළියට නිර්දේශ වෙලා තිබෙනවා. මේ අධුනිකයන්ට ‘නැඟි එන නළුවා -නිළිය‘ සම්මාන ලැබෙනවා නම් සාධාරණයි. ජනප්‍රියත්වයට, දක්ෂතාව සහ පැවැත්ම සැලකා බැලිය යුතුමයි.
අපි ක්ෂේත්‍රයට එන කාලේ ජනප්‍රිය නළු – නිළි සම්මාන ගත්තේ එක් නාට්‍යයකින් ආ අය නෙමෙයි. චරිතාංග නළු නිළියන් ලෙස ක්ෂේත්‍රයේ යම් කාලයක් තම දක්ෂතා පෙන­්වමින් ක්‍රමානුකූල ආ ගමනේදී තමයි ඔවුන්ට ඒ සම්මාන ලැබෙන්නේ. අද ප්‍රවීණයන් ලෙස අපි දකින ලකි ඩයස්, යශෝධා විමලධර්ම, නිල්මිණි තොන්නකෝන් වැනි රංගන ශිල්පීන් ශිල්පිනයන් එවැනි දක්ෂතා සහ පැවැත්මක් ඇතිව සම්මාන හිමි කර ගත් අය.

ඔබ හිතන විදිහට මොකද්ද මේ ජනප්‍රිය සම්මාන මාෆියාව?
සම්මාන උළෙල සංවිධානය කරන පිරිස මෙය කරනවාද, සම්මාන උලෙළ ට අනුග්‍රහාය දෙන පිරිස මෙය කරනවාද, එහෙමත් නැතිනම් අනුග්‍රාහක වෙළෙඳ ආයතන ඔවුන්ගේ අභිලාෂයක් ඉටු කරනවාද යන මේ ප්‍රශ්නයේ යටි පෙළ නම් මම දන්නේ නැහැ. නමුත් මම පුන පුනා කියන්නේ, නව පරපුරේ දක්ෂතාව, පැවැත්ම බලන්න ජූරියක් තිබුණොත් ඔවුන් ඉදිරියටත් රැකිලා තව දිගු ගමනක් යයි.

ප්‍රවීණ පරපුරට කෙරෙන ගෙවීම්ස ම්බන්ධයෙනුත් අද යම් ගැටලු තිබෙනවා නේද?
ලංකාවේ වර්තමානයේ වෘත්තීමය වශයෙන් කලාවේ යෙදෙන්න බැහැ. නමුත් අවසානාවකට රඟපාන්න දන්න කෙනා රඟපානවා හැරෙන්න වෙන දෙයක් කරන්න දන්නේ නැති නිසාම මෙය අපේ වෘත්තීය බවට පත් වෙලා.

මේ වෘත්තීය ඇතුළේ අපි ඉල්ලන ගණන් සමහර විට අපට ගන්න බැහැ. නමුත් කොහොම හරි මේ ක්ෂේත්‍රය හැමෝම එකතු වෙලා හදා ගත්තොත් ඉදිරියේදී හෝ වෘත්තීය මය කලාකරුවකුට තමාගේ කැප කිරීමේ නියම වටිනාකම ලබා ගන්න බැරි වෙන එකක් නැහැ.

හිමාලි, ළඟකදී එන සුනාමිය ගැනත් කියමුද ?
‘සුනාමි‘ කියන්නේ වසර ගණනකට පස්සේ මට ලැබුණු චිත්‍රපටයක්. ‘සිකුරු හත‘ තිරගත වුණාට පස්සේ බොහොම ආසාවෙන් බලන් හිටියත් කිසිම අධ්‍යක්ෂවරයෙක් මගෙන් වැඩක් ගත්තේ නැහැ. මම හරියට ඒ ගැන දුක් වුණා. නමුත් මගේ වාසනාවකටදෝ ‘සුනාමි‘යට මාව මතක් වුණා. මම එහි ප්‍රධාන චරිතයක් කරනවා.
ඉතාමත් සතුටින් සහ කැපවීමකින් කළ ඒ චරිතයට මම හොඳ සාධාරණයක් කර ඇතැයි බලාපොරොත්තු වෙනවා. එය ප්‍රේක්ෂකයාට මුදා හැර ඔවුන්ගේ ප්‍රතිචාර ලැබෙන තුරු බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.

ඔබේ කාර්යබහුල ජීවිතයේ දරුවා වෙනුවෙන්කා ලය වැය වෙන්නේ කොහොමද ?
ලැබෙන හැම විවේකයදීම මම ඇය සමඟයි ගත කරන්නේ. කෙතරම් කාර්යබහුල වුණත් ඇය වෙනුවෙන් වෙන් වෙලා තිබෙන කාලය මම නැති කර ගන්නේ නැහැ.

හිමාලි සයුරංගි කියන ඒ නිවේදිකාවට මොකද වුණේ?
හොඳ අවස්ථාවක් ලැබුණොත් මම එය නොකර ඉන්නේ නැහැ. නමුත් මගේ පළපුරුද්ද සමඟ ගුණවත් හරවත් වැඩසටහන් ලැබෙන තුරු මම බලන් ඉන්නවා. රූපවාහිනියෙන් නොදකින සම්මාන උළෙල සහ වෙනත් වැඩසටහන්වල නිවේදනයෙන් සහභාගී වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!