Gossip

කෙනකුට ප්‍රසිද්ධ වෙන්න එක රැයක් ඇති.

මාධවී වත්සලා ඇන්තනි…ජැක්සන් ඇන්තනි පවුලේ එකම දියණිය බව කවුරුත් දන්නවා. ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිළියක් සේම කතිකාචාර්යවරියක් සේම ආදරණීය බිරියක ලෙස හරිම කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරන්නීය. ඒ අතරතුර ආදරණීය පිළිසඳරකට රසඳුන හා එක් වූ මොහොතකි මේ..

ජීවිතේ සුන්දරව ගලා යනවා නේද?

ඔව්. හැමදාම හිමිදිරිය සේ ජීවත් වෙන්න ආසයි.

ඔ‍බේ සතුට ‍රැඳෙන්නේ කොතැනද මා ඇසු‍වොත්?

ආරෝග්‍යය පරම ලාභය නම්, සතුට පරම ධනය නම්, මගේ සතුට ආදරයයි. සැනසීමයි. විශ්වාසයයි. සාර්ථකත්වයයි. යහපැවැත්මයි.

ඒ සතුට සුන්දරත්වය ඔබේ කරගත්තේ කොහොමද?

මිලාන් මුණගැහුණු දිනේ සිට මට දිගු කලක් අහිමිව තිබූ ඒ ගෞරවය, පිළිගැනීම, විශ්වාසය හිමි වුණා. ඒ නිසා වෙන්න ඇති මේ සතුට හා සුන්දරත්වය. මං ජීවිතේ ගොඩාක් කලින් පටන් ගන්න උත්සාහ කරපු කෙනෙක්. ඒත් දෛවෝපගතව මට මගෙ ජීවිතේ වටිනාම අවුරුදු 10ක් විතර අහිමි වුණා.

නොයෙක් වන මුර්ගයන් මගේ හොඳ හිත නිසාම මගේ දක්ෂකම් ඔවුන්ගේ ව්‍යාපාර ආඳිය දියුණු කරගන්න පාවිච්චි කළා.
ඉතිං මම පස්සට ගියා. හැරිලා බලද්දී මම එක තැනමයි. මිලාන් නිසා මට ඒ අහිමි වුණු කාලය අමතක වුණා..

නව වසරේ නව බලාපොරොත්තු ගොන්නක් ඇති?

ඔව්. මට 2019 වසරේ ඉටු කරගන්න බැරි වුණු බලාපොරොත්තු ගොන්නකුත්, අලුත් බලාපොරොත්තු ගොන්නකුත් හිතේ තියෙනවා. නිර්මාණ කටයුතු ගැන, රට රටවල සංචාරය කිරීමේ සැලසුම් ගැන, අධ්‍යාපන කටයුතු ගැන, අපේම කියා ගෙයක් දොරක් ගැන එහෙම සුන්දර අහිංසක බලාපොරොත්තු තියෙනවා.

මාධවී ජීවිතේ සැහැල්ලුවෙන් දකින කෙනෙක්ද?

නෑ. මම පොඩි දේටත් කලබල වෙන, නිතරම අඩියක් පස්සට තියන් අවධානයෙන් ඉන්න කෙනෙක්. පනින්න පෙර දෙතුන් වරක් හිතන කෙනෙක්. ඒත් සැනසීම මුදුන් මල්කඩ කරගත් කෙනෙක්.

ජීවිතයේ ඔබට බොහොම පාඩම් කියා දී ඇති?

ඔව්. අපි කාටත් එහෙමයි. හරි ගියොත් ජයග්‍රහණයේ කුසලාන හිමි වෙනවා. වැරදුණොත් පාඩමක් ඉගෙන ගන්නවා. ඒ දෙකම හොඳයි… මේ දේවල් මෙහෙම නොවෙන්න අද ඉන්නෙ මේ මාධවී නෙවෙයි. මම මේ මාධවීට කැමතියි. මගෙ මිලාන් කැමැතියි. මගෙ හිතවතුන් කැමතියි. එහෙම නොවන අය මොනව හිතුවත් මට වැඩක් නෑ.

ඔබ තුළ සිටින රංගන ශිල්පිනිය, ගායිකාව කෝ?

මේ ඉන්නෙ. නැත්තෙ මගේ නිර්මාණයි. ඒක මගෙ අඩුපාඩුවක්. 2020 දී ඒ වරද නිවැරදි කරගන්නවා.

ඒ හැකියා හංගා‍ගෙන කාලය අරුත්සුන් ‍දේවලින් ‍කාලය ගෙ‍වෙනවා යැයි හි‍තෙන්නේ නැද්ද?

නෑ. මට පැවරුණු රාජකාරි බොහෝමයක් තියෙනවා. මම නිවේදිකාවක්. කථිකාචාර්යවරියක්. සන්නාම තානාපතිනියක්. ඒවා අරුත්සුන් නෑ.

ඔබ දැන් කලින් කලට පුවත් මවන්නියක් වෙලා?

එහෙමද? ඔව් මම ඇස් දෙකකින් විතරක් බැලුවට ඇස් දාහක් අපි දිහා බලාගෙන ඉන්නවනේ. එදිනෙදා කටයුතු පවා පුවත් බවට පත් වෙන අවස්ථා තියෙනවා.

මාධවී ජනප්‍රියත්වයට ‍කොතරම් ඇලුම් කරනවාද?

ඕනෑම කලා ශිල්පියෙක් ඒ ආදරයට ඇලුම් කරනවා. කෙනකුට ප්‍රසිද්ධ වෙන්න එක රැයක් ඇති. ප්‍රසිද්ධියේ කඩප්පුලිකමක් කරලත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒත් ජනප්‍රිය වෙන්න “ජනයා ප්‍රිය කරන” කෙනෙක් විය යුතුයි. ඒකට කුසලතාව මෙන්ම සතතාභ්‍යාසය සහ වියුත්පත්තියත්, තුනම හේතු වෙනවා. ඉතිං ඒ ඵලදායි වෙහෙසටත් ඒ වෙහෙසේ අග්‍ර ඵලය වන ජනාදරයට මමත් ප්‍රියයි.

සිළුමිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!