පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වන විට ණය ආධාර ලැබී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළා.
ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීයි.
කැලණිවැලි දුම්රිය මාර්ගය නව ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කරන බවත් පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් සකස් කිරීමට සහ එය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක් ලැබී ඇති බවත් ඔහු පැවසූ අතර තවත් වසර කිහිපයක් ඇතුළත ලංකාවට විදුලි දුම්රියක් එන බව තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්‍රිඩ් බස්රථ දාහක් සහ සාමාන්‍ය ඩීසල් බස් රථ දාහක් ගෙන ඒමට බලාපොරොත්තුවන බව ඔහු එම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
ඒ අනුව අඩුම තරමින් මේ වසර තුළ නවීන පන්නයේ බස් රථ 1000ක් ගෙන ඒමට වැඩපිළිවෙලක් සකස් කරන බවයි ඔහු කියා සිටියේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500 ක් ගේන්න දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවත් එම බස් රථවලින් ආසන 54-56 බස් රථ 400 ක් සහ ආසන 36 බස් රථ 100 ක් වශයෙන් ඉන්දියාවෙන් ලේලන්ඩ් හෝ ටාටා වර්ගයේ බස්රථ මේ වසරේ ජූනි හෝ ජුලි යන මාසවලදී මෙරටට ගෙන එන බවත් අමාත්‍යවරයා කියා සිටියා.
