පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ සිටි විදේශිය ජාතික හිමිනමකගේ මෘතදේහය රත්ගම කළපුවේ තිබී පෙරේදා (08) දා සොයාගත් බැව් රත්ගම පොලිසිය පවසයි.
මෙකී හිමිනමගේ මළ සිරුර රත්ගම කළපුවේ පාවෙමින් තිබියදී පොලිසිය මගින් සොයා ගෙන ඇත. මෙකී හිමිනම නෙදර්ලන්ත ජාතිකයකු වන අතර ජිනවංශ නමින් පැවිදි දිවියට ඇතුළත්ව ඇත. 59 හැවිරිදි වියේ පසුවන මෙකී හිමිනම පොල්ගස්දුව ආරණ්‍යයේ ඇති කුටියක භාවනායෝගීව වැඩසිට ඇත. දින තුනක සිට මෙකී හිමිනම අතුරුදන්ව ඇති බවට පොල්ගස්දුව ආරණ්‍යයේ නායක හිමියන් විසින් රත්ගම පොලිසියට දැනුම් දී ඇත. අපවත් වී ඇති හිමිනම ඔරුවකින් පිණ්ඩපාතය සඳහා වැඩම කර ඇත. ඒ සඳහා උන්වහන්සේ වෙනම ඔරුවක් භාවිතා කර තිබේ. රත්ගම කළපුවේ ඔරුව පාවෙමින් තිබී ඇති අතර මේ නිසා හිමිනමගේ අතුරුදන් වීම ගැන පොලිසියට දැනුම් දී ඇත.
හිමිනමගේ මෘතදේහය ගොඩගන්නා අවස්ථාවේ පාද දෙකේ ලණුවකින් ගල් දෙකක් ගැට ගසා තිබූ බව පොලිසිය පවසයි. එක් පාදයක ගැට ගසා තිබූ ගල ගැලවී ගොස් තිබුණි. මෙකී හිමිනමට හොඳින් පිහිනීමට හැකියාව තිබූ බව ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. හිමියන්ගේ මෘතදේහය පිළිබඳ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ (09) දා පැවැත්වීමට නියමිතව තිබුණි.
කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ පළමුවෙන් පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවය. ඒ අනුව අද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
උපුටාගැනිම – දිවයින