Gossip

යතුරු පැදියෙන් මඩට බැස්ස – ගයාන් සඳරුවන්

ගයාන් සඳරුවන් කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ රෝද දෙකක් උඩ විස්කම් පෑ අපූරු ධාවකයාය. ගයාන් මේ දවස්වල ඉන්නේ යතුරු පැදි ක්ෂේත්‍රයට සමු දීලා. ඒත් ආරංචියේ හැටියට නම් ඔහු මේ දවස්වල වෙනස්ම ක්ෂේත්‍රයක වැඩ පටන් අරන් තියෙනවා. 

මේ දවස්වල මොකක්ද මේ කරනවා කියන අලුත් වැඩේ?

පුරන් කුඹුරු අස්වද්දන වැඩකට අතගහල තියෙන්නේ.

එකපාර මේ වගේ දෙයකට යොමු වුණේ?

මම ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ පදනමත් එක්ක එකතුවෙලා කොරෝනා නිසා අපහසුතාවට පත්වෙලා හිටිය අයට වියළි අහාර පාර්සල් 1500ක් විතර බෙදුවා. මේ වැඩේට අපේ යාළුවොත් ගොඩක් උදව් කළා. එතකොට හාල් ගන්න අපිට ටිකක් අපහසු වුණා. ඒකත් එක්ක තමයි මේ අදහස මුලින්ම ආවේ.

එතකොට මේ වැඩේට කුඹුරු හොයා ගත්තේ?

මාලඹේ මගේ ගේ පිටිපස්සේ තියෙන්නේ අක්කර 40ක කුඹුරු යායක්. ඒක අන්තිමට වගා කරලා තියෙන්නේ මීට අවුරුදු 10කටත් කලියෙන්. ඉතිං මම ඒවාගේ අයිති අයත් එක්ක කතා කරාම අක්කර තුනහමාරක කොටසක මට වගා කරන්න අවස්ථාව ලැබුණා. අයිති අයගෙන් අඳේට තමයි මේ කුඹුරු ටික මට ලැබුණේ.

අක්කර තුනහමාරක් වගාකරන එක ලේසි වැඩක් නෙමෙයි?

මට ලැබුණු කොටසේ වගා කරන්න ගොවි සංගම් එක්ක කතා කරන්න යද්දි මේ පැත්තේ හිටිය ගොවියෝ 30ක් විතර මාත් එක්ක එකතු වුණා. ඇළ වේලි ටික හරියට හැදෙනවානම් ඔවුනුත් වගා කරන්න කැමැතියි කිව්වා. ඒ විදිහට දැන් අපි අක්කර 40ක කුඹුරු යායම වගා කරන්න ඉන්නේ.

ඊට පස්සේ?

වැඩේට අතගැහුවට පස්සේ තමයි මේක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා තේරුණේ. ඒ නිසා කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ ඇමැතිතුමාගේ ලේකම්ට මේ විස්තරේ කිව්වා. ඔවුන් ඉක්මනින් අපිට මේ වෙල් යායේ ඇළ වේලි ටික හදාගන්න මැෂින් එකක් එවලා තිබුණා. ගොවි සමිතියෙන් තමයි ඒ මැෂින් එකට තෙල් ගහලා වැඩ කරන අයට කෑම බීම එහෙම සපයන්නේ.

මේ වැඩේ කරද්දි තව අයගෙන් උදව් ලැබෙන්න ඇති?

ඔහොම වැඩේ යද්දි මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ඇන්ජලෝ විජේසිංහ කියලා කෙනෙක්ව අඳුන ගත්තා. ඔහු ඇන්සෙන් ඇග්‍රිකල්චර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා. එයා මට කිව්වා මේ අක්කර 40ම එයාගේ ආයතනයේ ට්‍රැක්ටර් දාලා හාලා දෙන්නම් කියලා. තව අපිට බිත්තර වී වගේ ඒවා ලබා ගන්න ගැටලු ටිකක් තියෙනවා.

වැඩි හරියක් ධාවන පථයේ හිටිය ගයාන්ට මීට කලින් වගා කටයුතු කරන්න අවස්ථාක් ලැබිලා තියෙනවාද?

මම ක්‍රීඩකයෙක් හැටියට කාර්යබහුල වුණත්, ගෙදර පැළ හිටෙව්වා. මගේ නිවසේ මම හිටවපු ගොඩක් පලතුරු වර්ග තියෙනවා.

දැන් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. වගකීම් වැඩියි. මේ වැඩ කරනවාට බිරිඳ කැමැතිද?

වයසට ගියාම ඉඩමක් අරන් ගහක් කොළක් වවාගෙන ඉන්න මගෙයි බිරිඳගෙයි අදහසක් මීට කලින් ඉඳන්ම තිබුණා. ඒ නිසා එයා මේ වැඩේට ගොඩක් කැමතියි. උදේට ඇහැරුණාම වුණත් අපිට මුලින්ම පේන්නේ මේ වෙල් යාය.

මේ වැඩේට යතුරුපැදි ක්ෂේත්‍රයේ අයට කතා කළේ නැද්ද?

තවම ඒ අයට කතා කළේ නැහැ. ඒත් වෙල් යාය පැළ හිටවන ගොයම් කපන දවස් වෙද්දි ධාවකයෝ කිහිප දෙනෙක්ටම කතා කරන්න හිතාගෙන ඉන්නේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් වැඩේට එකතු වෙනවා කියලයි ආරංචිය?

ඔව්. කුසල් පෙරේරාත් වැඩේට එකතුවෙලා ඉන්නවා. එයත් දැන් කොටසක් ඉල්ලුවා වගා කරන්න. මගේ කොටසින් අක්කරයක් විතර එයාට දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

කුසල්ගෙ හිතවත්කම ඇතිවෙන්නෙ කොහොමද?

පහුගිය කාලයේ මම ක්‍රිකට් ක්‍රීඩා කළා. එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණ ගැහුණා. ඒත් කුසල්ගෙ හිතවත්කම ඇතිවෙන්නේ මගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන්.

රටක් දන්න යතුරුපැදි ධාවකයා ආයෙත් ධාවන පථයට එන්න අදහසින් නේද ඉන්නේ?

අවුරුදු 18ක් මම යතුරුපැදි ධාවකයෙක් විදිහට කටයුතු කළා. දැන් මම යතුරුපැදි ක්ෂේත්‍රයට සමුදීලා ඉන්නේ. ඒත් මෝටර් රථ ධාවකයෙක් වශයෙන් නැවත ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්නේ. වයිරස තත්ත්වයත් එක්ක මේ වසරේ රේසිං තරග හරිහැටි තියෙන එකක් නැහැ. ලබන වසරේ මෝටර් රථ ධාවකයෙක් විදිහට තරග කිහිපයකට ඉදිරිපත්වෙන්න සූදානමින් ඉන්නවා.

එතකොට ක්‍රිකට් ක්‍රීඩාවට මොකද වෙන්නේ?

ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩා කළේ යතුරුපැදි ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටිය අවුරුද්දක විතර කාලයේ. ගිය අවුරුද්දේ කැලණිය ස්පෝර්ට්ස් ක්ලබ් එකට ඩිවිෂන් 3 යටතේ ක්‍රීඩා කළා. දැන් මේ අවුරුද්දේ කොළඹ කණ්ඩායමක ක්‍රීඩා කරන්න අපි යාළුවෝ ටිකක් එකතුවෙලා හිතාගෙන ඉන්නවා.

ගයාන්ගෙ අත්දැකීම් එක්ක යතුරුපැදි පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන්න අදහසක් නැද්ද?

මම නාවික හමුදාවේ පුහුණකරු වශයෙන් කටයුතු කරනවා. මගේ සහෝදරයා ශානුක සඳරුවන් හැරුණාම ගිය වසරේ ශූරයා වුණ ජාක්ස් ගුණවර්ධනට පොඩි කාලේ ට්‍රේන් කරලා තියෙනවා.
ඒ වගේම මම දන්න දේ මෙතෙක් කල් ලොකු පිරිසක් එක්ක බෙදාගෙන තියෙනවා.

ඔය අතරේ ජාත්‍යන්තරයට යන්න පුළුවන් ක්‍රීඩකයෙක් හම්බෙලා නැද්ද?

ජාත්‍යන්තර මට්ටමට යන්නනම් හොඳ කැපවීමක් තියෙන්න ඔනේ. ඒත් එහෙම ක්‍රීඩකයෙක් මට තාම හම්බෙලා නැහැ. ඉස්සරහට බලමු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!