“ඒ දිනවල අපි හිටියෙ කුලී ගෙදරක. එතකොට මම හිටියෙ තුන වසරෙ. අපේ ගෙවල් අයිතිකාර අය අපි එක්ක හරිම හිතවත්. උඩහා ගෙදර අයියා කෙනෙක් ගහක බෝලයක් එල්ලාගෙන බැට් එකෙන් ගහනවා. මේක දැකලා මට ගොඩාක් ආසා හිතුණා. පස්සෙ බැලින්නම් එයා රුවින් පීරිස්. මුවර්ස් කණ්ඩායමේ හිටපු නායකයා. මේ ආසාව එක්ක ක්‍රිකට් පටන් ගත්තෙ 3 වසරෙ සිටියදීයි.
13න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගන්නවා කියන පණිවුඩය දැන ගන්න ලැබුණා. මම ඒකට යන්න හදනකොට අම්මා කිව්වෙ අනේ ඔයා ගහන ක්‍රිකට් කියලයි. කොහොම හරි එදා කණ්ඩායම තෝරපු අවස්ථාවේ ‘ඒ’ ටීම් එකේ නායකයා ලෙස පුහුණුකරුවන් වූ දිනේෂ් ගුණවර්ධන සර් සහ කාලිංග සර් මාව පත්කළා. මේ විස්තරේ මම ගෙදර ඇවිත් කිව්වාම අම්මා ඒක තාත්තාට කිව්වා. තාන්තා එදා ඉඳලා මගේ සෑම තරගයක්ම නරඹන්න ඇවිත් මාව ධෛර්යමත් කලා. 13න් පහළ සහ 15න් පහළ නායකත්වය දරපු මම 17න් පහළ කණ්ඩායම එක්ක පෙප්සි කෝලා කුසලානය සඳහා ඉන්දියාවට ගියා. වයස 16 දී ටැමිල් යුනියන් කණ්ඩායමේ දෙවැනි පෙළ කණ්ඩායමටත් ක්‍රීඩා කරන්න ලැබුණා. බ්‍රෙන්ඩන් කුරුප්පු සර් යටතේ පුහුණු වුණේ. එදා සුරංග ලක්මාල් ඒ කණ්ඩායමේ හිටියා. එදා ඒ කණ්ඩායමේ හිටපු පුංචිම කෙනා මම.
උසස් පෙළ කරන කාලයේදී 19න් පහළ පාසල් පළමු පෙළ කණ්ඩායමේදීත් හොඳට ක්‍රීඩා කළා. එදා පටන් ගත්ත දවසේ ඉඳලාම මම තුන් ඉරියව් දක්ෂ ක්‍රීඩකයෙක්. ඉසිපතනයට එරෙහිව පැවැති තරගයකදී වතාවක ලකුණු 5කට කඩුළු 6ක් දවා ගත්තා. කොහොමටත් ක්‍රිකට්වලට ආ දවසේ සිටම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ඉහළ දක්ෂතා පෙන්වුවා. පාසල් පළමු පෙළ ක්‍රිකට් ගහන කාලයේදීම භක්‍ක් එකට සහ මුවර්ස් එකට ක්‍රීඩා කරන්න ලැබුණත් රඟපෑමට ආ නිසා ක්‍රිකට් අත්හරින්න මට සිදුවුණා. එදා මම ක්‍රිකට් සහ නාට්‍ය අංශයට යොමු වුණේ ප්‍රාථමික අංශයේ සිටියදීමයි. ඉතින් මට කලාව අමුතු දෙයක් වුණෙත් නැහැ. අද ආපස්සට හැරී බලද්දී ක්‍රිකට් දිගටම නොගහපු එක ගැන මට දුකක් නැහැ. රංගනයෙන් මම යන ගමනට ආසයි. හැබැයි ක්‍රිකට් අත්හැරපු නිසා තාත්තා මෑතක් වෙනකල් මා එක්ක කතා කළේ නැහැ.”
සඳුන් ගමගේ