කොවිඞ් ආසාදිතව ඉකුත් 08 දා මියගිය 63 හැවිරිදි කාන්තාවගේ සැමියාත් මෙයට සතියකට පමණ පෙර මියගොස් තිබෙන අතර ඔහුගේ මරණය නිරෝධායන නීතිවලට පටහැනිව වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයාගේ දැනුම් දීම මත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මහනුවර, මහයියාව ධම්මදස්සි මාවතේ පදිංචිව සිට පසුගිය 28 වැනිදා මියගිය ඔහුගේ මළසිරුර ග්‍රාම නිලධාරී දැනුවත්ව සාමාන්‍ය මළසිරුරක් භූමදානය කරන අන්දමට මහයියාව පොදු සුසාන භූමියේදී භූමදානය කර තිබේ.
එම පුද්ගලයාගේ බිරිඳ ද ඉකුත් 08 දා මරණයට පත්වීමෙන් පසු ඇයට කොවිඞ් වෛරසය ආසාදනය වී තිබෙන බව පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. ඇගේ සැමියා නිරෝධායන නීතිවලට පටහැනිව වළදමා තිබෙන බව අනාවරණය වී තිබෙන්නේ කාන්තාවගේ මරණ පරීක්ෂණයේදී සිදුකළ සාක්ෂි විමසීමේදීය.
සිද්ධිය හෙළිවීමෙන් පසු මහනුවර ජාතික රෝහලේ මරණ පරීක්ෂකවරයා පැවසුවේ, මියගිය කාන්තාව කොවිඞ් ආසාදිත බැවින්, ඇයගේ සැමියාටද වෛරසය ආසාදනය වී තිබෙන්නට ඇති බවට සැක කළ හැකි බවයි. නිරෝධායන නීතියට අනුව පුද්ගලයකු මියගිය විට මහජන පරීක්ෂක දැනුම්වත් කර අවසන් කටයුතු සිදුකළ යුතු වුවත් මෙහිදී එවැන්නක් සිදුව නැති බව පවසන හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බව පවසයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකා කොට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත්, මරණයක් සිදුවන ඕනෑම අවස්ථාවක කටයුතු කළ යුතු අන්දම පිළිබඳව දැනුම් දී තිබියදී සිදුව ඇත්තේ කුමක්ද යන්න වහා සොයා බලන බවත් මහනුවර පොලිසියේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. තුසිත හලංගොඩ මහතා පැවසීය.