ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රංශ පුවත් සේවයෙන් අද (25) ප්‍රකාශයට පත් කෙරිණි.
තෙහ්රාන් අගනුවර පැවැති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චි කහිමින් දහඩිය දමමින් සිටින අයුරු දක්නට ලැබුණු අතර ඒ ආසන්නයේ ඉරාන රජයේ ප්‍රකාශක අලි රබෙයි ද විය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ ශුද්ධ නගරයක් වන කුම් නගරයේ 50 දෙනෙකු මරණයට පත්වී ඇතැයි එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඉරිදා ප්‍රකාශ කළේය. කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සහ ආසාදනය වූවන් පිළිබඳ තොරතුරු ඉරාන රජයෙන් සඟවන බවට එම මන්ත්‍රීවරයා චෝදනා කළේය.
එම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශවලට පිළිතුරු දීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රජයේ ප්‍රකාශක එලෙස තෙහ්රාන් අගනුවර දී එම මාධ්‍ය හමුව පැවැත් වූහ.
කොරෝනා වයිරසයෙන් 50 දෙනෙකු මියගොස් ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද එම මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
ඉන්පැය කිහිපයකට පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් කළ අතර තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හෙතෙම එහි දී කීවේය.
එම වීඩියෝ පටය පටිගත කර ඇත්තේද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
මටත් කොරෝනා වයිරසය වැළඳිලා. මට ඊයේ රාත්‍රියේ උණ තිබුණා. මධ්‍යම රාත්‍රියේම පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මට කොරෝනා ආසාදනය වෙලා. එතැන් පටන් මම ඉන්නේ තනියම. දැන් විනාඩි කිහිපයකට පසු අවසන් පරීක්ෂණ වාර්තාවත් ලැබුණා. මම දැන්ම ප්‍රතිකාර ආරම්භ කරනවා යැයි ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.
