Gossip

බොබ් මාලේගේ කටු­ගෙය – Photos

බොබ් මාලේ එදා විතරක් නොවෙයි අදටත් මුළු ලෝකයේම සංගීත රසකාමීන්ගේ මනදොළ සපුරමින් රස පිපාසාවෙන් ඉන්න මිනිසුන්ගේ ගතට සිතට කතා කරමින් නිහඬ සේවයක් ඉටු කරනවා.

ඒ කාරණාව නිසාම වෙන්න ඇති බොබ් මාලේ ‘අයිකන් එකක්‘ බවට පත් වෙලා තියෙන්නෙ.

අක්ෂාංශ දේශාංශ සීමා මායිම් නැතිව මේ මොහොත වෙනකොටත් ලෝකයේ ඉන්න ජනප්‍රියම චරිත කිහිපයක් පෙළ ගැසුවහොත් එහි ඉහලම තැනක ඉන්නත් බොබ් මාලේට හැකියාව ලැබිලා තියෙනවා.
ඔහුගේ ජනප්‍රියත්වයට හොඳම උදාහරණය තමයි හිසේ සිට පාදාන්තය දක්වා ඇති විලාසිතා. හිස් වැසුම්, මාල, කරාබු, ටී ෂර්ට්, අත් පලඳනා, මුදු, සපත්තු විතරක් නෙවෙයි කොට්ට උර, මේස රෙදි බෑග්, වතුර බෝතල් වගේ නොයෙකුත් දේවල් තුළින් බොබ් මාලේ ගේ ජනප්‍රියත්වය විද්‍යමාන වෙනවා.

බලන්න ඔබ මේ ලිපිනය දන්නවද කියලා. සමහරවිට සුළුතරයක් දෙනා දැනගෙන ඉන්න පුළුවන් උනත් බහුතරයක් දෙනා ගේ මතකයන් අතර නම් බොහෝ විට ඒක ලියැවිලා නැතුව ඇති.

56, Hope road, Kingston 6,Jamaica W.I මේ තියෙන්නෙ බොබ් මාලේගේ නි‍වසේ ලිපිනය. ජීවත් වන කාලය තුළ ඔහුගේ ජීවිතයේ සංගීත කටයුතු බොහොමයක් සිදු කෙරුණේ මෙන්න මේ නි‍වසේ තුළ. ඒ විතරක් නොවයි ඔහු විවේකය ගත කළ තැන වගේම හිත මිත්‍රාදීන් හමුවුනු ස්ථානය තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ.

ඔහු මිය යන තුරු පදිංචිව සිටින නිවස 19 වැනි ශතවර්ෂයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය වුණු එකක්.
මේ නිවස බොබ් මාලේ විසින් මිලදී ගත්තේ 1975 දී. කෞතුකාගාරයක් බවට පත්වුණේ ඉන් වසර 6කට පසුවයි. මෙය කෞතුකාගාරයට පිවිසීමේ දී ඇත්තේ තොරණක් ආකාරයට සැකසූ බොබ් මාලේගේ මුහුණ සහිත ප්‍රදර්ශනාත්මක ආවරණයක්. ඊට දෙපසින් නිර්මාණය කර තිබෙන්නේ සිංහ රූපයන් දෙකක්. ඇතුළු වීමේදීම ගිටාරයක් අතේ තබාගෙන මේ අපූරැ ගායකයා හිඳීවි අතක් ඔසවා ගෙන ඔබව පිළිගන්න සූදානමින්.

කෞතුකාගාරය ඇතුළෙ තියෙන්නෙ මොන වගේ දේවල්ද කියලා දැනගන්නත් ඔබට දැන් කුතුහලය ඇති. මෙහි ඇතුලත ටී ෂර්ට්, පෝස්ටර්, සීඩී සහ බොබ් මාලේ වෙනුවෙන්ම ඉදි කෙරුණු නොයෙකුත් අනුස්මරණ භාණ්ඩ මෙන්ම බොබ් මාලේගේ ජීවිතය හා සම්බන්ධ නොයෙකුත් සැමරැම් රාශියකුත් දක්නට ලැබෙනවා. තවත් විස්තර කියනවා නම් මෙහි බිත්ති පුරා බොබ් මාලේගේ ඡායාරූප සහ ඔහුගේ තැටි සවි කර තිබෙන අතර ඔහුට ලැබුණු කීර්තිමත් සම්මාන, ජැමෙයිකානු රජය විසින් ඔහුට ලබාදුන් කුසලාන සහතික මෙන්ම රස්තෆේරියන් සළුව පවා මේ තුළ දක්නට ලැබෙනවා. ඒ අතරවාරයේම මෙහි යන හැමෝටම බොබ්මාලේ කවදත් ප්‍රිය කරපු ඩෙනිම් සහ ෂර්ට් දැකබලා ගන්නත් පුළුවන්.

මෙහි නිදන කාමර ඇතුළත් වෙලා තියෙන්නේ දෙවැනි මහලට. කෞතුකාගාරයේ තියෙන එක් කාමරයක ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ බොබ් මාලේගේ හොඳම කාලයේදී කරපු පටිගත කිරීම්.
පටිගත කිරීම් එක් කාමරේක එහෙම තියෙන කොට තවත් කාමරයක තියෙන්නේ බොබ් මාලේගේ මුල්ම වාර්තා ගබඩාව. මේ කොහොම වුණත් කාගෙ කාගෙත් කුතුහලය වැඩි වැඩියෙන් දැනෙන කාමරයක් තියෙනවා. මේ කාමරයේ තමයි බොබ් මාලේගේ ඇඳත් සමග පසෙකින් තබා තිබෙන ස්ටාර් හැඩයට නිර්මාණය කරපු ගිටාරය තියෙන්නෙ. මේ නිදන කාමරය තවත් වැදගත් සිදුවීමක් වුණු කාමරයක් බවටත් සඳහන් වෙලා තියෙනවා. මොකද මේ කාමරයේදී තමයි මා‍ලේව ඝාතනය කරන උත්සාහයක් දරලා තියෙන්නෙ. ඒ කොහොම වුණත් ඝාතන සැළසුම් නම් සාර්ථක වෙලා නෑ.

මේ කෞතුකාගාරය නැරැඹීමට පැමිණෙන අයට විවේකී සුවයෙන් කාලය ගත කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නත් ඔවුන් අමතක කරලා නෑ. එනිසාම මේ කෞතුකාගාරය ආශ්‍රිතවම කුඩා අවන්හලක් ඔවුන් නිර්මාණය කරලා තිබෙනවා. ආහාර පාන ආදිය ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණත් කිසිවකුට ප්‍රදර්ශනයට තබා තිබෙන භාණ්ඩ මිල දී ගැනීමට හෝ ගෙන යෑමට නම් අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ වුණත් මේ ආශ්‍රිත විකිණීමට ඇති බොබ් මාලේගේ රුව යොදා නිර්මාණය කළ ටී ෂර්ට්, බෑග්, සපත්තු සහ නොයෙකුත් මාදිලියේ දේවල් මිලදී ගැනීමේ හැකියාවක් නම් තිබෙනවා.

බොබ් මාලේ එදා වාසය කරපු නි‍වස අද ලෝකයටම විවෘත වුණු කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශනාගාරයක් වෙලා අවසන්. කෞතුකාගාරයේ ඇතුළත බිත්ති පුරා බොබ් මාලේ සහ පවුලේ ඡායාරූප ප්‍රදර්ශනය කරලා තිබෙනවා හා සමානවම එහි ඇති තාප්ප පුරා ද බොබ් ගේ රුව ආශ්‍රිතව සිතුවම් නිර්මාණය කර තිබෙනවා.

කොහොම වුණත් කෞතුකාගාරය මෙහෙයවන අය නම් කියන්නේ “ඔබ බොබ් මාලේගේ ගීත ප්‍රිය කරන රසිකයෙක් නම් මෙය අනිවාර්යයෙන් ම නැරඹිය යුතු ස්ථානයක්“ කියලයි..

සිළුමිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!