39 හැවිරිදි කෝරාළගේ මංජුල බණ්ඩාර උපතින්ම දුක, කඳුළ සහ වේදනාව උරුම වූ අයෙක්.
ඔහු පදිංචිව සිටින්නේ, අංක 949, බෝගහ හන්දිය, කිරිඉබ්බන්වැව, සෙවණගල යන ලිපිනයේය.
මංජුල බහතෝරන වියේදීම පියා මිය ගොසින්. පවුලේ එකම දරුවා ලෙස උපත ලැබූ ඔහුගේ මව විජේකෝසලගේ වයලට් මහත්මියයි.
78 හැවිරිදි වියේ පසුවන ඇය මේ වන විට මන්ද මානසික රෝගී තත්ත්වයකින්ද පෙළෙනවා.
ඇයගේ මව ආලවඩුගේ චාලට් පෙරේරාය. ඇයගේ වයස අවුරුදු 105ක් වෙනවා.
ඇයද සිහි විකල්ව ඔත්පලව සිටිනවා.
කිසිවකුගේ හව්හරණක් නොමැතිව කිසිදු ආදායම් මාර්ගයක් ද නොමැති ව දිවිහිමියෙන්ම මව සහ ආච්චි අම්මා රකින මංජුලගේ යෞවනත්වය ද ගිලිහී ගොසින්.
කාමර දෙකක ජීවත්වන මෙම පවුල පිළිබඳව මංජුල මෙසේ පැවසුවා,
“මගේ ආච්චි අම්මා වින්නඹු රැකියාව කළ අයෙක්. වයස 105යි. සිහිය අඩුයි. අම්මාගේ වයස 78ක්. තුනටිය කැඩිලා එක් තැන් වෙලා. ඇයත් මානසික රෝගියෙක්. මේ දෙන්නාම එක්තැන් වෙලා. මළමුත්‍ර ඉවත් කරලා රෙදි සෝදලා සියල්ලම මම තනියෙන් කරනවා. පවුලේ වෙනත් ඥාතීන් නැහැ. සලකන්න කෙනෙක් නැහැ. මේ දුක ග්‍රාම සේවකට, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයටත් කීවා. කිසිදු සැලකිල්ලක් අදටත් නැහැ. මේ දෙන්නා දාලා මට කූලි වැඩකට යන්න බැහැ. අපි කන්නේ වේලක් හැර වේලක්. නිතරම ළඟපාත පන්සලේ ඉතුරු දානය ටික ගෙනල්ලා අච්චියයි, අම්මටයි කවනවා. මේ දෙන්නා ජීවත් කරගන්න උදව්වක් තමයි මම අපේ පරිත්‍යාගශීලි අයගෙන් ඉල්ලන්නේ. මට මේ දෙන්නා දාලා යන්න බැහැ. පොඩි කාමරයක් ගෙදර ඉදිරිපිට පාර අයිනෙ හදලා දුන්නොත් මට මොනවරි විකුණලා කීයක්හරි හොයාගන්න පුළුවන්. මේ දෙන්නාට බෙහෙත් ගන්න ඕන. එක්කන් යන්න වාහනවලට ගෙවන්න මුදල් මට නැහැ. මම ඉස්පිරිතාලෙට ගිහිල්ලා දොරස්තර මහත්තයාට මේ දෙන්නාගෙ ලෙඩ ගැන කියලා මොනවාහරි බෙහෙතක් අරන් එනවා. සමාජ සේවා ආයතනයෙන්වත් උදව්වක් නැහැ. මම ඉල්ලා සිටින්නේ මේ දුක බලලා හොයලා මව්වරු දෙන්නා ජීවත් කරගන්න උදව් කරන්න කියලා”.
(සේන වී ගමගේ – ඇඹිලිපිටිය)