දරුවන්ව ඇස් වගේ බලාගන්න ඕනේ කියලා කියමනක් තියෙනවා.
ඒ පුංචි කාලේ දරුවෝ වැරදි පාරේ යන්න ඉඩ තියෙනවා වගේම වැරදි පාරට ගන්නත් සමාජයේ හුඟක් මිනිස්සු බලාගෙන ඉන්න නිසා.
තමන්ගේ දුවව බලාගන්න ගෙදර හිටපු නැන්දගේ දුවගේ පෙම්වතා අතින් විනාශ වුණු දුවෙකු ගැනයි අපි ඔබට කියන්න යන්නේ.
එම දියණියගේ පියාට ඒ වේදනාව දරාගන්න බැරුව පව්කාර තරුණයාට පහරදීලා අන්තිමට ඔහුට හිරගෙදරට යන්න වුණා.
තමන්ගේ දුවත් වහ බීලා ජීවිතේ නැතිකරගත්තා.
මේ එම පියා සිදුකළ සංවේදී හෙළිදරව්වයි.
“මම උපන්නේ කොළඹ කාසල් එකේ. මට ඒත් ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලෙක.
එහෙම වුණේ තාත්තා මාව පුංචි කාලෙම එයාගේ ගමට එක්කගෙන ගිය නිසා.
මගේ පවුලේ අක්කලා දෙන්නෙක් හිටියා. ඒත් ඒ දෙන්නා හිටියේ අම්මා ගාව.
අම්මයි තාත්තයි අතර ඒ තරම් හිත හොඳක් තිබුණේ නැහැ. එහෙම වුණත් මට අම්මා නැති අඩුව දැනෙන්න තාත්තා කවදාවත් ඉඩක් තිබ්බේ නැහැ.
තාත්තට නංගිලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නම විවාහ වෙලා මහ ගේ අවටමයි පදිංචි වෙලා හිටියේ.
ඒ නිසා මට පාළුවක් දැනුණේ නැහැ. නැන්දලාගේ දුවලා පුතාලා මා සමඟ සහයෝගයෙන් හිටියා.
මම ඉගෙන ගෙන ඉවර වෙලා රස්සාවකට යන්න හැදුවත් තාත්තා මට ඒකට ඉඩ තිබ්බෙත් නැහැ. හේතුව තමයි තාත්තා ටවුමේ පොඩි කඩයක් කරගෙන ගියා.
තාත්තා ඒ කඩේ මට බාර දුන්නා. මම ටික දවසයි කඩේ කරගෙන ගියේ. මට ඒක ගැන ආශාවක් තිබුණේ නැහැ.
මට ඕනකම තිබුණේ පරිඝණක අංශයේ රස්සාවක් කරන්න. මගෙන් බේරෙන්න බැරිම තැන තාත්තා එයාගේ යාළුවෙකුට කියලා මට රස්සාවක් හොයලා දුන්නා.
එතකොට මට අවුරුදු දහනවයක් විතර ඇති.
මම හරිම ආශාවෙන් වැඩට ගියේ. මට විජිතා හමු වුණේ ඒ කාර්යාලයේදී.
අපි අතර දැන හැඳුනුම්කම අවුරුදු දෙක තුනක් තිබුණා. ඒත් අපිට විවාහ වෙන්න බැරි වුණා.”
ඇයි ඒ ?
“මගේ තාත්තලා වලව් කාරයෝ. අපි හිටියෙත් පරණ ගරාවැටුණ වලව්වක.
ඒත් අපිට සල්ලි තිබුණේ බොහෝම අඩුවෙන්. නමුත් තාත්තටත් වඩා ආච්චි හිටියේ වලව්කාරකම ඔලුවට අරගෙන.
විජිතා කියන්නේ කුලයෙන් අඩු කෙනෙක්. මම ඒවා ඒ තරම් දුර හිතුවේ නැහැ. මම තාත්තට ඇවිත් කිව්වා විජිතා ගැන.
එහෙම කිව්වේ මමයි තාත්තයි අතර රහස් තිබුණේ නැති නිසා. අපි යාළුවෝ වගේ හිටියේ.
විජිතාගේ පවුලේ විස්තර කිව්වට පස්සේ තාත්තා දවස් ගානක් මාව මඟ ඇරලා හිටියා. මමත් තාත්තට මුහුණ නොදී හිටියා.
එදා සෙනසුරාදා දවසක්. තාත්තා මට කතා කළා චිත්‍රපටියක් බලන්න යන්න. අපි දෙන්නා මෝටර් සයිකලේ ගියේ.
චිත්‍රපටය බලලා එන අතරේ තමයි තාත්තා මාත් එක්ක කතාවට වැටුණේ.”
‘මට නම් කමක් නැහැ පුතේ ඔයාට හොඳනම්.
ඒත් මම කැමති නැහැ ඔයා ඒ ළමයව බැඳලා මට වෙච්ච දේම වෙනවට
තාත්තා එහෙම කිවිවේ ඇයි කියලා මට තේරුනේ නැහැ. මම තාත්තගෙ දිහා බලාගෙන හිටියා.
“පුතාගෙ අම්මත් අඩු කුලේක කෙනෙක්.
මමත් තරුණ වයසෙදි හුඟක් දුර හිතුවෙ නැහැ. මම හිතුවක්කාරකමට පුතාගේ අම්මව කසාද බැන්දා. අපි හොඳට හිටියා .
ඒත් මගේ තාත්තයි අම්මයි මාව පවුලෙන් අයින් කළා. මම හිතුවා කමක් නැහැ අම්මාගේ පවුලේ අය ඉන්නවනේ කියලා. ඒත් එහෙම එකක් වුණේ නැහැ.
පුතාගේ අම්මා මට බොරු කෙරුවා. මාව රැවැට්ටුවා.
පුතාගේ අම්මා තව කෙනෙක් එක්ක යාළු වෙලා. මම ඒවා දැන ගත්තේ හුඟක් දුර ගියාට පස්සේ.
ඒ නිසයි තමයි මම පුතාවත් අරගෙන ගමට ආවේ. පුතාගේ ආච්චි කියපු දේවල් ඇහුවා නම් මට මෙහෙම වෙන්නේ නැහැ.
මම පුතාට කියන්නේ නැහැ ඒ ළමයා නරකයි කියලා. ඒත් අම්මවත් නැතිව මම බොහෝම අමාරුවෙන් ඔයාව හදා ගත්තේ. පුතා කැමති තීරණයක් ගන්න.,,,,,”
“තාත්තා එහෙම කිව්වට පස්සේ විජිතා බඳීන්න මට හිත හදාගන්න බැරි වුණා.
මම හිතාගත්තා විජිතා අමතක කරන්න. නමුත් ඒක එහෙම කරන්න බැරි වුණා. විජිතා කැමති වුණේ නැහැ මාව අමතක කරන්න.
‘අපි හොරෙන් බඳීමු ‘ විජිතා මට එහෙම යෝජනාවක් ගෙනාවා.
මම රස්සාවෙන් අයින් වෙන්න තීරණය කළා. විජිතට කියන්නෙත් නැතිවම මම රස්සාවෙන් අයින් වුණා.
තාත්තා ලෙඩ ගානේ හිටපු නිසා මම කඩේ බාර ගත්තා. තාත්තයි ආච්චියි දෙන්නම මම රස්සාවෙන් අයින් වෙලා ගෙදර නතර වුණාට කැමති වුණා.”
එතකොට විජිතා..?
“ඇත්තම කිව්වොත් . මම විජිතා ගැන ආයෙත් හොයන්න ගියේ නැහැ.
නමුත් මම දන්නවා විජිතා මං ගැන හුඟක් දුක්වෙන බව. මට සෑහෙන කාලයක් ගියා හිත හදාගන්න.
ඒ කාලයේ තාත්තා හැම වෙලේම මා එක්ක හිටියා. උදේට මමයි තාත්තයි දෙන්නම කඩේට ගියා.
අපි නාට්‍ය බලන්න ගියා. චිත්‍රපට බලන්න ගියා. තාත්තා මට හිත හදාගන්න උදව් කළා.
කොහොමහරි අවුරුද්දක් විතර ගියාට පස්සේ ආච්චි එයාලගෙම දුර ඥාති පවුලකින් මට මංගල යෝජනාවක් ගෙනාවා.
මම තාත්තටයි ආච්චිටයි ඕන දෙයක් කරගන්න දීලා නිහඬව හිටියා.”
ඒ යෝජනාවට මොකක්ද වුණේ?
“මොනවා වෙන්න ද. මම මල්කාන්තිව බැන්දා. මල්කාන්ති නරක කෙනෙක් නෙමෙයි.
හැබැයි මට නොතේරෙන අවුලක් එයාගේ තිබුණා. ටික කාලයක් යන කොට තමයි ඒක තේරුණේ .
එයා මාව කසාද බැඳලා තියෙන්නේ එයාගේ ගෙදර අයගේ බලකිරීමට කියලා. අපිට දරුවෙක් ලැබෙන්න ආවේ ඔය කාලෙදි.
මල්කාන්ති දරුවෙක් ගැන හිතුවේ නැහැ. නමුත් දරුවෙක් ලැබෙන්න යන බව දැන ගත්තම මගේ හිතේ නම් මල් පිපුණා.
ඊට පස්සේ මගේ හිතේ හීන තිබුණා. මම හීනෙනුත් දුවෙක්ගේ මුහුණ දැක්කා. මල්කාන්තිට දුවෙක් ලැබුණා.
ඒ දුව පුංචි කාලේ රෝස මලක් වගෙයි . නමුත් දුවට අම්මගෙ තුරුලේ වැඩි දවස් ඉන්න ලැබුණේ නැහැ. මල්කාන්ති දරුවත් දාලා යන්න ගියා.
එයා ගියේ කලින් යාළුවෙලා හිටිය පෙම්වතා එක්ක”
මල්කාන්ති මාව දාලා ගිය එක ගැන දුකක් දැනුණේ නැහැ.
ඒත් මට දුව ගැන දුකයි. හිතාගන්න බැරිව ගියා මොනවා කරන්නද කියලා. මේ කාලේ ආච්චිත් ලෙඩ ගානේ හිටියේ.
ඔය අතරේ තාත්තා එයාගේ ඥාතියෙක් වෙන අක්කා කෙනෙකුයි එයාගේ දුවවයි අපේ ගෙදර එක්කගෙන ආවා.
ඒ මගේ දුව බලාගන්න. ඒ දෙන්නා මගේ දුවව හොඳට බලාගත්තා. දුව දවසින් දවස ලොකු වුණා. එයා ඉස්කොලේ ගියා.
ඉගෙන ගත්තා. ඔය අතර ආච්චි මැරුණා. ඒක තාත්තටයි මටයි දරාගන්න අමාරු වුණා.
අවුරුද්දක් දෙකක් ගෙවිලා ගියා. තාත්තා මැරුණේ හිතපු නැති වෙලාවක.
මේ කාලේ වෙනකොට දුවට අවුරුදු පහළොවයි. තාත්තගෙ ඥාති දුවයි එයාගේ දුවයි දිගටම අපේ ගෙදර හිටියේ.
ඒ නිසා මට දුව ගැන බයවෙන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් දුවට නොසිතූව කරදරයක් වුණා.
මම ඒ හැමදේම දැන ගත්තේ වෙන්න තියෙන ඔක්කෝම දේවල් වුණාට පස්සේ.”
මොකක්ද වුණේ…?
“දුවව බලාගන්න ගෙදර හිටපු නැන්දගේ දුවත් එක්ක විවාහ වෙන්න කොල්ලෙක් ගෙදර ආවා ගියා.
මට ඒ ගැන බය වෙන්න දෙයක් තිබුණේ නැහැ, නැන්දා ගෙදර ඉන්න නිසා. නමුත් කොහොම හරි මේ කොල්ලා මගේ දුවව අමාරුවේ දාලා.
ඒ කාලේ දුව සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදරට වෙලා හිටියේ.
දවසක් දුව අසනීප වුණා . මම එයාව දොස්තර මහත්තයා ගාවට ගෙනිච්චා.
එතකොට තමයි දැන ගත්තේ දුවට දරුවෙක් ලැබෙන්න කියලා.
මම ගෙදර ගිහිල්ලා දුවට හොඳටම ගැහුවා.
එයා බයට මුකුත් මුලින්ම කිව්වේ නැහැ. පස්සේ තමයි කිව්වේ එයාට අර කොල්ලා කරදර කරපු බව.
මට ඉවසගන්න බැරිව ගියා. මම අර අම්මයි දුවයි එදාම ගෙදරින් පැන්නුවා .
ඒත් මට අර කොල්ලා හොයාගන්න බැරි වුණා. දරුවට ලැජ්ජා වේවි කියලා පොලීසි ගියෙත් නැහැ.
මම හැම වෙලේම ඇහැ ගහගෙන හිටියේ ඒ කොල්ලා ඉන්නේ කෙහෙද කියලා.
දවසක් ඌව මගෙ අතටම අහු වුණා. එදා මම ඌව නොමරා මැරුවා. අතපය කැඩුවා.
පොලිසියෙන් මාව අල්ලගෙන ගියාම මම කිව්වේ ඒ කොල්ලා කඩේ හොරකම් කරන්න ආව නිසා ගැහුවා කියලා.
මම දුවට වෙච්ච කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. මට හිරේ යන්න වුණා. මම හිරේ ගිය අතර දුව වහ බීලා තිබුණා.
දවස් කිහිපයකට පස්සේ දුව මැරුණා. ලෝකයම කඩා වැටුණා වගේ මට දැණුනා.
අවුරුදු පහකට වඩා මගෙ නඩුව ඇදි ඇදී ගියා. කොල්ලගෙ පැත්තෙන් හිර කරපු නිසා මට ඇපවත් ලැබුණේ නැහැ. මේ මම අවුරුදු හයකට පස්සේ එළියට යන්නේ.”
එළියට ගිහිල්ලා මොකද කරන්නේ. …?
“මගේ කියලා කවුරුවත් දැන් ඇත්තේ නැහැනේ. අන්තිමට මම හිතාගත්තා මහණ වෙනවා කියල.
හිර ගෙදර ඇතුලෙදිත් මම පින් දහම් වැඩවලට සහභාගි වුණා. මගේ කියලා දැන් කිසිම බැඳීමක් නැහැ.
මට දැන් අත් හරින්න දේවල් නැහැ. මගේ හිත දැන් නිදහස්. පහුගිය කාලේ මම දන්න භික්ෂුන් වහන්සේ නමකට මම මගේ කතාව කිව්වා .
උන් වහන්සේ තමයි මට මහණ වෙන්න තැනක් හොයලා දුන්නේ. මම හිතනවා මගේ හිත ඊට පස්සේ තවත් සන්සුන් වේවි කියලා.”