ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තෝරාගත් වැදගත් ස්ථාන සහ පුද්ගලයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට මොහොමඩ් කමර් නිසාම්ඩීන් නැමැති ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් වර්ෂ 2018 අගෝස්තු මස 30දා අත්අඩංගුවට ගත්තේය.
වාර්තා වූයේ මේ සැකකරු අයිඑස් පන්නයේ හුදකලා ප්‍රහාරයක් සැලසුම් කළ බවය. එම ප්‍රහාරවල ඉලක්කගත පුද්ගලයන් ලෙස හිටපු අගමැති මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමති ජුලී බිෂොප් සහ ඔවුන්ගේ ලිබරල් පක්ෂ සගයකු වන බ්‍රොන්වින් බිෂොප්ද සිටි බව කියැවිණ. එමෙන්ම සිඩ්නි ඔපෙරා රංග ශාලාව, පොලිස් සහ දුම්රිය ස්ථාන එම ප්‍රහාර සැලැසුමේ වූ බව The Sydney Morning Herald පුවත්පත වාර්තා කළේය.
මේ තරුණයා අත්අඩංගුවට ගනිත්ම රට වඩාත් උණුසුම් වූයේ ලංකාවේ ප්‍රධාන පෙළේ ජනාධිපති නීතිඥයකු වූ ෆායිස් මුස්තාපා මෙන්ම එවකට ආණ්ඩුවේ ප්‍රභලම ඇමති වරයකු වූ ෆයිසර් මුස්තාපා එම තරුණයාගේ සමීප ඥාතියකු බව හෙළි වීමත් සමඟය.
ඔස්ට්‍රේලියානු පොලිසිය වාර්තා කර තිබුණේ අයි.එස්.අයි.එස් අනුබද්ධ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තොරතුරු ඇතුළත් යැයි සැක කරන සටහන් සහිත පොතක් හමුවූ බව කියමින් නිසාම්ඩීන්ගේ මිතුරකු වූ අර්සලාන් කවාජා නැමැත්තෙකු පොලිසිය දැනුවත් කළ නිසා මේ අත්අඩංගුවට ගැනීම සිදු කළ බවය. අදාළ සටහන් පොත අර්සලාන් කවාජා විසින් පොලිසියට ලබා දී තිබිණි.
අර්සලාන් කවාජා යනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රකට ක්‍රීඩකයකු වූ උස්මාන් කවාජා ගේ සොයුරාය. සිද්ධිය යන අතරේ උස්මාන් කවාජා බ්‍රිස්බේන්හි සිට වීඩියෝ තාක්ෂණය ඇසුරින් අධිකරණයට විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ තමන්ගේ සොයුරා පරමාදර්ශ සහිත විශිෂ්ට පුරවැසියකු බවය. හෙතෙම ජනප්‍රිය චරිතයක් බවත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රකට පුද්ගලයකු බවත් කීවේය. ඔහු නොකියා කීවේ තමන්ගේ සොයුරා රට වෙනුවේ යුතුකමක් ඉටු කර ඇති බවය.
අයි.එස් ත්‍රස්ත චෝදනාව එල්ල වන විට කමර් නිසාම්ඩීන් සිටියේ ඔස්ට්‍රෙලියාවේ පශ්චාත් උපාධි අපේක්ෂයකු ලෙස අධ්‍යාපනය ලබමිනි. ඒ අතර ඔහු එරට සරසවියකට අනුයුත්කව රැකියාව කරමින් සිටියේය.
ඔහු ලංකාවේ ධනවත් මුස්ලිම් පවුලක සමාජිකයෙකි. කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලෙන් ද්විතියික අධ්‍යාපනය ලද තරුණයෙකි. ඔහු උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ වර්ෂ 2015 දීය. බෙහෙවින්ම ප්‍රියජනක පුද්ගලයකු වූ ඔහු සිඩ්නි නගරයේ අධ්‍යාපනයට අදාළව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිෂ්පාදනය කළ ප්‍රවර්ධන වීඩියෝවක් සඳහාද 2016 වසරේදී පෙනී සිට තිබිණි. අතිශයින්ම ප්රගතිගාමී නිදහස් චින්තනයක් සහිත මේ තරුණයාට එල්ල වූ චෝදනාව සම්බන්ධව ඔහුගේ සමීපතමයෝ අතිශයින්ම වික්ෂිප්තව සිටියහ.
අත්අඩංගුවට පත් නිසාම්ඩීන් රැගෙන ගොස් රඳවනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි දැඩි ආරක්ෂිත බන්ධනාගාරයකය. බරපතළ ත්‍රස්තවාදී චෝදනාවකට ලක් වී සිටි ඔහු අනිකුත් සිරකරුවන්ගෙන් වෙන් කෙරුණේ දැඩි අවදානමක් සහිත සිරකරුවකු ලෙස නම් කරමිනි. අනතුරුව පොලිසිය එතැන් සිට ගෙවී ගිය වසර කීපය පුරා ඔහු ශ්‍රී ලංකාවට මුදල් යැවීමට අමතරව ඉන් ඔබ්බට වෙනත් ගනුදෙනුවල යෙදී ඇත්ද යන්න පිළිබඳ මූලික විමර්ශන ආරම්භ කළේය. පුරා පැය අටක් ඔහුගෙන් ප්‍රශ්න කළද කිසිම තොරතුරක් දැනගැනීමට නොවීය. අනතුරුව සටහන් තිබූ බව කී පොත අත් අකුරු විශේෂඥයන් වෙත යොමු කළේය. ඔවුන්ගේ අවසන් නිගමනය වී තිබුණේ මේ අත් අකුරු කිසිසේත් නිසාම්ඩීන්ගේ නොවන බව ය.
ඉන්පසු ඔහුගේ ජංගම දුරකථනය හා පරීක්ෂාවට ලක් විය. පරිගණකය පරීක්ෂාවට ලක් විය. අතිශය සියුම් පරීක්ෂණයකින් අනතුරුවත් මේ චෝදනාව සම්බන්ධව ඔහුට එල්ල කළ හැකි කිසිම සාධකයක් සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත. මේ කාලය අතර කමර් නිසාම්ඩීන්ට සහාය පළ කරමින් ඔහුගේ ඥාතීන්, මිතුරන් හා සිවිල් ක්‍රියාකාරීන් සාමකාමී උද්ඝෝෂණවල නිරත වූහ. කමර් නිර්දෝෂී බව ඔවුහු සහතික කොට ප්‍රකාශ කළහ.
පුරා සති හතරක් අධි රක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීමෙන් අනතුරුව කිසිම චෝදනාවක් ඔප්පු වීමේ සේයාවක්වත් නොවූ හෙයින් කමර් නිසාම්ඩීන්ට වර්ෂ 2018 සැප්තැම්බර් 28 දා ඇප ලබා දීමට අධිකරණය තීන්දු කළේය. ඇප ලබා දෙන්නට ප්‍රධානම සාධකය වූයේ ඔහුගේ අත් අකුරු සහන් පොතේ තිබූ අත් අකුරු හා සටහන්වලට මුළුමනින්ම පරස්පර වීමය. අනතුරුව වර්ෂ 2018 ඔක්තොම්බර් 19 දා අධිකරණය නිසාම්න්ට එල්ල කර තිබූ චෝදනා ඉවත් කර ගත්තේය. එහෙත් ඒ වනවිට නිසාම්ඩීන්ට සිදු විය යුතුව තිබූ ව්‍යසනය සිදු වී අවසන්ය. ඔස්ට්‍රේලියාව තුළ ඔහුගේ අනාගතය කුඩු පට්ටම් වූයේය.
පසුගිය 11 වැනිදා ඩවුනින් දිස්ත්‍රික් අධිකරණයේ දී මේ ත්‍රස්ත ප්‍රහාර කතාවේ සියල්ල හෙළි විය. ඒ මෙම සිද්ධිය ව්‍යාජ ලෙස නිර්මාණය කළ ආකාරයත් ඊට පදනම් වූ හේතුවත් එම සිද්ධියට සම්බන්ධව පැමිණිලි කළ පුද්ගලයා වන අර්සලාන් කවාජා විසින් අධිකරණය හමුවේ හඬා වැටෙමින් ප්‍රකාශ කිරීමෙන් පසුය.
නිසාම්ඩීන්ට මෙම ත්‍රස්ත චෝදනාව එල්ල කළ කවාජා අධිකරණය හමුවේ පැවසුවේ කාන්තාවක සමඟ නිසාම්ඩීන් පැවැත් වූ මිතුරු ඇසුරක් සම්බන්ධයෙන් තමන්ට ඇති වූ ඊර්ෂ්‍යාව මත මේ ව්‍යාජ අපරාධ චෝදනාව ඔහු වෙත එල්ල කළ බවය. තමන්ගේ පෞරුෂ විරහිත දීන හැසිරීම ගැන කම්පා වනවා මෙන්ම පෞරුෂ හීන වීම නිසා ඇති වූ මානසික ව්‍යාධියකින් තමන් පෙළුණු බවද ඔහු ප්‍රකාශ කළේය.
“මා ක්‍රියා කළේ නිවටයෙක් වගේ. ඇත්තටම මට අවශ්‍ය වුණේ නෑ ඔහු අත්අඩංගුවට පත් කරන්න. ඒත් මගේ බියගුළුකම නිසා ඔහුව අත්අඩංගුවට ගන්න කලින් මේ ඇත්ත කියන්න මට බැරි වුණා…”
කවාජා අධිකරණය හමුවේ මෙසේ හඬා වැටුණත් ඔහු විසින් කාන්තාවක් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් යමෙකුට එරෙහිව දරුණු ත්‍රස්ත චෝදනා භාවිත කළ පළමු අවස්ථාව මෙය නොවන බව ඒ වනවිට අධිකරණය විසින්ම හෙළි කරගෙන තිබුණේය. මීට කලකට පෙර ඔහු සමඟ ගැඹුරු සම්බන්ධතාවක් ගොඩ නඟා ගත් කාන්තාවක් වෙනත් පුද්ගලයකු වෙත සමීප වීම වැළැක්වීමට ඔහු එම පුද්ගලයාට එරෙහිව මෙවැනි බිහිසුණු ව්‍යාජ චෝදනා එල්ල කර තිබිණ.
කවාජාගේ ව්‍යාජ චෝදනාවට ලක් වූ තැනැත්තාගේ නම නීතිමය හේතූන් මත ප්‍රකාශයට පත් කළ නොහැකි බව ඔස්ට්‍රේලියානු පොලිසිය කීවේය. මුල් චෝදනාව සම්බන්ධව කවාජා පැහැදිලි කර තිබුණේ එම කාන්තාව අත්හැරීමට ඇති බිය නිසා තමන් මෙවැනි තත්ත්වයට පත් වූ බවය.
නිසාම්ඩීන් හා මිතුරුකම් පවත්වන වෙනත් යුවතිය සම්බන්ධ කවාජාගේ මැදිහත්වීම ඇති වන්නේ මේ කාන්තා හුටපටයෙන් පසුවය. කවාජා අතිශයින්ම උනන්දුවෙන් සිටි, එහෙත් නිසාම්ඩීන් සමඟ මිතුරුකමක් ඇති කරගෙන තිබුණු එම යුවතිය කවාජා වෙත එවූ කෙටි පණිවුඩයක් නිසා ඇය ඔහු සමග ඇති සබඳතා අත්හරිනු ඇතැයි තමා බිය වූ බව ඔහු අධිකරණයට කීවේය. පසුදා උදෑසන සිට ඔහුට අවශ්‍ය වූයේ නිසාම්ඩීන් විනාශ කිරීමට බවත් කවාජා අධිකරණය ඉදිරියේ පවසා තිබිණ. නිසාම්ඩීන් දුටු හැම මොහොතකම තමන් වේදනාවෙන් දැවී ගිය බව කවාජා කීවේ හඬා වැටෙමිනි.
“කමර් කියන්නේ උසස් මනුෂ්‍යයෙක්… මම හිතන්නෙ නෑ මම කරපු දේට ඔවුන් කවදාවත් මට සමාව දේවි කියලා. මට කියන්න තියෙන්නෙ මම ඔවුන්ට කළ දේ ගැන, විශේෂයෙන්ම කමර් ගැන මගේ පසුතැවීම පමණයි…
එහෙත් කවාජාගේ මේ පසුතැවීමට දැන් ප්‍රමාද වැඩිය.
මේ බලාපොරොත්තු නොවුණු ව්‍යසනය මේ අසරණ තරුණයාගේ අනාගත සැලසුම් සුන්බුන් කර දමා ඇත. කමර් නිසාම්දීන් මේ වනවිට ලංකාවට පැමිණි සිටින්නේය.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත