ජීවන පොරපිටියේ සටන් වැදීමට දැන් දැන් අපේ රටේ කාන්තාවෝ ද පෙරට එමින් සිටිති. මෙතෙක් කලක් පිරිමින්ගේ ආධිපත්‍යයට නතුව ඔවුනට වෙන්ව තිබූ, ඔවුන් වෙතම තල්ලු වී තිබූ බොහෝ රැකියා අබිබවා යමින් ඒ රැකියාවන් ද අපේ රටේ කාන්තාවන් ආක්‍රමණය කරමින් සිටින්නේ මෙය පසක් කරමින්ය.
ඒ සඳහා ඔවුනට ගොඩබිම, ගුවන මෙන්ම වතුර ද අභියෝගයක් නැතුවා මෙන්ය. පිරිමින්ට පමණක් උරුමව තිබූ රැකියාවක් කරන මේ කාන්තාව පිළිබඳ පුවත එයට හොඳම නිදර්ශනයකි.
අප මේ කතා කරන්නේ මෝටර් බෝට්ටුවක් පදවන කාන්තාවක් ගැනය.
ඇය අම්බලන්ගොඩ මහ අම්බලන්ගොඩ පදිංචි සුජීවා දමයන්තිය. දරුවන් තිදෙනෙකුගේ මවක වන සුජීවා සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගෙන ඇත්තේ මාදම්පා ගඟේ මෝටර් බෝට්ටුවලින් සංචාරකයින් ප්‍රවාහනය කිරීමය. මෙවැනි රැකියාවක නිරත වන ලංකාවේ පළමු කාන්තාව මැය බව ද කියති.
සුජීවා මාදම්පා ගඟේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් එක් ගමන් වාරයකට පැය දෙකක් පමණ ගඟේ සංචාරයේ යොදවනුයේ දක්ෂ මෝටර් බෝට්ටු පදවන්නකු ලෙසය.
ගඟේ ගල් තිබෙන, මුල් තිබෙන, දැල් ඇද තිබෙන ස්ථාන හොඳින් දන්නා සුජීවා ඒවා මග හැර යන්නේ ඒ පිළිබඳ විශේෂඥයකු ලෙසය. මේ සංචාරය සඳහා පිරිමි අයවලුන් පමණක් එන අවස්ථා ද තිබේ. එවන් අවස්ථාවන් ද සුජීවා පැහැර නොහැර සිය රැකියාවේ යෙදෙන්නේ විශාල අභියෝගයක් සිය කර මත පටවා ගෙනය. ඒ සඳහා එන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීමට සූදානම්වය.
මේ රැකියාවේ යෙදෙන සුජීවා මාදම්පා ගඟේ ගැඹුරු ස්ථාන, කිඹුලන් සිටින ස්ථාන, වවුල් කැලේ, කඩොලාන රක්ෂිතය, කිරළ කැලෑව, වෙස්මුහුණු කෞතුකාගාරය සහ දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිමවහන්සේ පෙන්වීමට සංචාරකයින් රැගෙන යන්නේ ඒ පිළිබඳව සිය මෝටර් බෝට්ටුවේ යන එන සංචාරකයින් ද දැනුම්වත් කරමින්ය.
මේ දැනුම්වත් කිරීම සුජීවා කරන්නේ තමන් සමග එන සංචාරකයින්ගේ කනට මීපැණි වක්කරනවාක් මෙන් ඉතාම මිහිරිවය. කන්කලු ලෙසය. සිත් ගන්නාසුළුවය.
ගැඹුරු දියේදී තමන් පදවන මෝටර් බෝට්ටුවට කිසියම් යාන්ත්‍රික දෝෂයක් පැමිණියහොත් එය සාදාගෙන ගොඩට ඒමට තරම් සුජීවා දක්ෂය. මෝටර් බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන හා ලිහිසි තෙල් දැමීම ද ඇය විසින්ම සිදුකරනු ලැබීම ද මෙහි තිබෙන තවත් විශේෂත්වයකි.
මෝටර් බෝට්ටු පැදවීම කාන්තාවකගේ සියුමැලි දෑතට එතරම් නුහුරු නුපුරුදු දෙයක් වුවත් සුජීවාට නම් මෝටර් බෝට්ටු පැදවීම කජු කනවාක් මෙන් ඉතාම ලෙහෙසි පහසු කාර්යයක් බව අපට තේරුණේ ඇය සමග මාදම්පා ගඟේ සංචාරයේ යෙදෙන විටදීය.
අප පසු කරමින් සිටින ස්ථානය අඩි සිය ගණනක් ගැඹුරු බව දැනගත් මොහොතේ මෝටර් බෝට්ටුවේ ගමන් ගන්නා අපේ සිරුරට සිහින් දහඩිය දැමුව ද සුජීවාගේ මුවේ වූයේ මඳහස රැල්ලකි.
පොඩියකට හෝ බියට පත් වූ බවක් ඇයගේ මුහුණේ දිස් නොවිණ. මෝටර් බෝට්ටුවේ අන්තිම කෙළවරේ තල්ලේ වාඩි වී ඉතා ගැඹුරු දිය මතින් මෝටර් බෝට්ටුව සුජීවා පදවන අයුරු දුටු අපි මවිතයටත් විස්මයටත් පත්ව සිටිය ද ඇයට ඒ පිළිබඳව වගේවගක් නැතිවාක් මෙන්ය.
සිහින් සිනා රැල්ලකින් මුව සරසාගෙන සුජීවා මෝටර් බෝට්ටුව පැදවූවේ ගඟේ උඩට මතු වී සිටි කිඹුලකු ද අපිට පෙන්වමිණි. ගඟේ සිටි කිඹුලා ද මග හැර සුජීවා මෝටර් බෝට්ටුව පදවාගෙන ගියේ කිසිදෙයකට බිය නොවන ලෙසට අපි ද දැනුම්වත් කරමින්ය.
සිය රැකියාව පිළිබඳව සුජීවා මෙසේ අදහස් දැක්වූවාය.
“මමයි, මහත්තයයි දරුවෝ තුන්දෙනත් එක්ක ජීවත්වෙන්නෙ ගොඩක් දුකින්. ජීවත්වෙන්න නොකරන දෙයක් නැති තරම්. අපි කොහොම හරි අපේ ජීවිත කාටවත් බරක් වෙන්නෙ නැතිව ගෙනියනවා. මුලදී මුලදී මෝටර් බෝට්ටු පදවන එක මට ලොකු අභියෝගයක් වුණා. ගැහැනු කෙනෙක් මෝටර් බෝට්ටු පදවන එක සාමාන්‍යයෙන් සිදු නොවෙන දෙයක් වීම ඊට හේතුවක්. කොහොම හරි මම ඒ අභියෝග සියල්ලම ජයගෙන දැන් මාදම්පා ගඟේ මෝටර් බෝට්ටුවෙන් සංචාරකයින් ගෙනියනවා. මාත් සමග යන අය සමග මම හොඳ අවබෝධයෙනුයි යන්නේ…”
“පවුලේ අය සමග සංවාදයේ යෙදෙන ආකාරයෙන් පිරිමි අයවලුන් සමග සංවාදයේ යෙදෙන්නේ නැහැ. ඒ අයට මට ළංවීමට උත්සාහ දැරීමට අවශ්‍ය කරන ලූස් පොයින්ට් මම දෙන්නේ නැහැ. විදෙස් සංචාරකයින් සමග යනකොට සංවාදයේ යෙදෙන්නේ වෙන විදිහකට. එතකොට කාන්තාවක වන මට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ රැකියාව ඉතාම ආසාවෙන් හා උනන්දුවෙන් කරනවා…”
වරෙක මෘදු, වරෙක කුරිරු මාදම්පා ගංගාව තරණය කරන සුජීවාට ජීවන ගඟ තරණය කිරීම එතරම් අපහසු නොවනු ඇත.
එම්. සුසිල් ප්‍රියන්ත