Gossip

හමුදාපතිගේ ඉල්ලීම අපිට අහකදාන්න බැහැ… මහල් නිවාසවල ජනතාවට ප‍්‍රසංග කළේ ඇයි ?

කොරෝනා වසංගතයත් සමග ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. ඇත්තටම ගෙවල්වලට වෙලාම හිරවී හිටපු ජනතාවගේ මන හැබෑවටම මානසික සුවයක් අවැසි වුණා. යුද හමුදාපති තුමා ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් අලූත් සංකල්පයක් ඇතිව යමක් කරන්න අදහස් කළා. විශේෂයෙන් මහල් නිවාසවල සිරවී සිටින ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් යුද හමුදා සංගීත කණ්ඩායම සමග එකතුවී භාතිය සන්තුෂ් සමග ප‍්‍රසංග මාලාවක් පවත්වන්න. ඉතිං මේ කාර්‍යට එකතුවුණ භාතිය සමග වැඬේ කළේ කොහොමද කියලා දැනගන්න අදහස් කළා. මේ එහි පෙළගැස්මයි.

කොරෝනා වසංගයත් සමග ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කාලවකවානුවේදී මහල් නිවාසවල ජීවත්වන ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් ඔබලා අලූත්ම වැඩකට අතගැසුවා නේද?

මට හිතෙන්නේ මුලින්ම මාර්තු 14 වැනිදා තමයි මුළු ලංකාවටම ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වුණේ.

සති ගණනාවක් අපි ඇතුළට වෙලා හිටියා. එහෙම ඉන්නකොට අපිටත් හිතුණ දෙයක් තමයි ශ‍්‍රී ලාංකිකයන්ට වගේම අපේ රසික රසිකාවියන්ට කොයිවගේ උදව්වක්ද අපිට කරන්න පුළුවන් කියලා. එහෙම කල්පනා කර කර ඉන්නකොට මට හමුදාපතිතුමා දුරකථන ඇමතුමක් දුන්නා. මහල් නිවාසවල ජීවත්වන ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් අපි යුද හමුදා සංගීත කණ්ඩායම සමග ප‍්‍රසංග කිහිපයක් පවත්වනවා. එකට භාතිය සන්තුෂ් උමාරාට මොනවාද කරන්න පුළුවන් කියලා තමයි හමුදාපතිතුමා මගෙන් විමසුවේ. මේ දුරකථන ඇමතුම ලැබුණෙත් රාත‍්‍රි 10.30 ට විතර. අපිටත් එළියට බහින්න පුංචි චකිතයක් ආවා. හැබැයි මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් දේ මේකනේ කියලා මම එ වෙලවේම හමුදාපතිතුමාගේ ඉල්ලීමට එකඟවුණා. අනික හමුදාපතිතුමාගේ ඉල්ලීම අහකදාන්න බැහැනේ.

අනික අපිට කරන්න පුළුවන් මොනවා හරි දෙයක් අපි කරන්න එපායැ. ඉතිං අපි ප‍්‍රසංගයට සහභාගිවුණා. පළමුවෙන්ම යුද හමුදාව මේ ප‍්‍රසංගය පැවැත්වූයේ හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ. ඉතිං මේ ප‍්‍රසංගය කරපු ගමන් පිරිසක් අපෙන් අහපු දෙයක් තමයි සල්ලි තියෙන මිනිස්සු ඉන්න පැත්තක ඔයගොල්ලෝ ඇයි මේක කළේ කියලා. මේක ඔයගොල්ලන්ට කරන්න තිබුණේ මේක අවශ්‍යම මිනිස්සුන්ටනේ. අනික දුප්පත් මිනිස්සු ඉන්න තැන්වලටනේ කියලා. ඉතිං එවෙලේදී මම කිව්වේ මේ ව්‍යසනය දුප්පත්ද පොහොසත්ද කියලා අදාල වෙන්නේ නැහැ. අනික මේ ප‍්‍රසංගය අපි හැම තැනකම කරන්න සූදානමින් ඉන්නේ කියලත් කිව්වා. මේ වෙලාවේදී අපි දැකපු දෙයක් තමයි දුප්පත්ම මනුස්සයයි පොහොසත්ම මනුස්සයයි මේ ප‍්‍රසංගය අරගෙන එතැනට ගියහම හැසරෙන විදිහ සහ ඔවුන්ගේ හෘදවස්තුවට දැනෙන විදිහ එකයි. ඒකට හේතුව මේ දිහා බලන්නේ සංගීත සංදර්ශන මානසිකත්වය ඉන්න කෝණයෙන් නෙමෙයි. හැමෝම මේක දිහා බැලූවේ අපිට ගොඩක් අය හම්බවෙන්න විදිහක් නැතිව ගෙවල් ඇතුළට වෙලා ඉන්න අපිව බලන්න අපේ ගේ ළඟට කවුරු හරි පිරිසක් ආවානේ කියලා තමයි ඔවුන්ට දැනුණේ.

 ඇත්තටම පළමු ප‍්‍රසංගයට හමුදාපතිතුමා පවා සහභාගි වුණා. එ අත්දැකීම මොනවාගේද?

හමුදාපතිතුමා මේ වැඩසටහන පුදුමාකාර විදිහට හොඳ සැලසුමක් ඇතිව සංවිධානය කරලා තිබුණා. හමුදාපතිතුමා එ කාර්ය හරියටම ඉෂ්ඨ කරනවා. විශේෂයෙන් හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ගේ ආහාර පාන පවා මනාවට සැලසුම් කරලා තිබුණා. ඊට පස්සේ අපේ දෙවැනි ප‍්‍රසංගය වුණේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන ජනතාව වෙනුවෙන්. ඔවුන්ද විනෝද වුණේ අපි පළමු ප‍්‍රසංග පවත්වපු හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ජීවත්වන ජනතාව වගේමයි. ඉතිං මේ ප‍්‍රශ්නයේදී අපිට පෙනුන දෙයක් තමයි දුප්පත්ද පොහොසත්ද කියන කාරණාව අදාල නැහැ කියන එක. මම මේ කියන්නේ කෑමබීම කියන කාරණාව ගැන නෙමෙයි. මානසිකව මුළු රටම එකම තැනකට වැටිලා ඉන්නේ. එ තැනින් ඔවුන්ව උඩට ගන්න අපිට කරන්න පුළුවන් උපරිමය අපි කළා කියලා අපිට හිතෙනවා.

 මේ වෙලාවේ ගොඩක් කතාබහ වෙනවා ඔබලා කළ කාර්යභාරය ගැන. විශේෂයෙන් මේ මහල්නිවාසවල ජීවත්වන ජනතාවගෙන් ලැබුණේ මොනවගේ ප‍්‍රතිචාරද?

දැන් මම මේ ඔබත් සමග කතා කරන්නේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන ජනතාවගේ අත්දැකීම් ගැනයි. එතැනදී අපි දැකපු දෙයක් තමයි එ මහල් නිවාස හරි පොඩියි. ඊට අමතරව එ මහල් නිවාසවල කාමරවල හැම එකකටම ග‍්‍රීල් ගහලා තියෙන්නේ. එ ග‍්‍රිල් ගහපු වාතාවරණයක මේ මිනිස්සු ඉන්නේ හැරෙන්නවත් බැරි කුඩා ඉඩක. එ කුඩා ඉඩකොටසේ දහපහළොස් දෙනෙක් ජීවත්වෙනවා. අපි සින්දු කියන වෙලාවේ එ පුංචි කාමරේ ඉඳගෙන පුදුම සතුටක් වින්දේ. එක අපේ හිත්වලට තදින් දැනුණා. පුංචි ළමයි, වයසක ආච්චිලා, මැදිවියේ කාන්තාවන් වගේම පිරිමි පුද්ගලයන්ගේ හිත්වල පුදුමාකාර සතුටක් තිබුණේ.

මේ වැඬේට හමුදාපතිතුමා මුලින්ම ඔබට කතා කළාට පස්සේ ඔබ කෙලින්ම හා කියනවා. හැබැයි සන්තුෂ්, උමාරා, රන්දීර් දැනගෙන හිටියේ නැහැනේ. ඔවුන් එන්න කැමැතිවුණාද?
 
ඇත්තටම අනතුරක් තියෙන වෙලාවේ වුණත් ඔවුන් පවා තුන් හතරපාරක් හිතන්න ගියේ නැහැ. අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් දේ යුදහමුදාවත් සමග එකතුවෙලා කරමු කියලා තමයි කිව්වේ. ඒත් එක්කම මේත් එක්කම ආදරයෙන් මතක් කරනවා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වගේ ම කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ගුණරත්න මහතාවත්. මොකද අපිට හමුදාපතිතුමාගෙන් ලැබුණ ආරාධනාවට පසුව ඔවුන් දෙදෙනාගෙනුත් ආරාධනාවක් ලැබුණා පොලිස් දෙපාර්තමේන්තුවේ සංගීත කණ්ඩායම සමගත් මේ වැඬේ කරපු කියලා. අපිට එතැනට ගිහිල්ලත් උදව් කරන්න හම්බවුණා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාව. එතුමන්ලා අපිට ආරාධනා කළා සංගීතයෙන් එහාට ගිය දෙයක් කරන්න.  මේ ඉන්න පළාත්වල දැනට කන්න බොන්න නැති ලොකු පිරිසක් ඉන්නවා ඔවුන්ට කෑමබීම සපයන්න පුළුවන්ද කියලා අපිට ආරාධනාවක් කළා. එ ආරාධනාවත් අපි හිස්මුදුනෙන්ම පිළිගත්තා. මේකට ඇත්තටම භාතිය සන්තුෂ්, උමාරා, සනුක, ලහිරු, ජනිත් ශ‍්‍රී වගේ කලාකරුවන් රැසක් උදව් කළා. කලාකරුවන් ඔක්කෝම වගේ එකතුවුණා. මේකට ඇත්තටම කොටහේන පොලිසියේ ස්ථානාධිපතිතුමා වගේම අපේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිතුමා ආදරයෙන් මතක් කරනවා.

 ඇත්තටම භාතියලා මේ කරන සමාජ මෙහෙවරෙන් පසුව මොනවාද ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නේ ?

ඇත්තටම අපි මේ වෙලාවේ සමාජය වෙනුවෙන් කරන්න සැලසුම් කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම කොවිඞ් 19 ට පෙර ලෝකය සහ කොවිඞ් 19 ට පසු ලෝකය ගැන අපි හිතනවා. කොවිඞ් 19 ට පෙර අපි ප‍්‍රසංග කරපු විදිහ ගැනත් මේ වෙලාවේ හිතමින් ඉන්නේ. කොවිඞ් 19 ට පසු මේ දේවල් කරන්නේ කොහොමද කියලත් අපි කල්පනා කරනවා. ඇත්තම කිව්වොත් අපේ ජොබ් එක පවා කරන විදිහ ගැන අලූතෙන් හිතන්න වෙලා තියෙනවා. මෙවැනි දේවල් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය විදිහට ඩිජිටල් තාක්ෂණය, ඔන්ලයන් වගේ සියලූ දේවල් අරගෙන අපි කොවිඞ් 19 ට පසු ලෝකයට මුහුණදෙන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි කල්පනා කරමින් ඉන්නවා.

දිනේෂ් විතාන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!