සිඳු ටෙලි නාට්‍යයේ සුමංගල හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන ශිරාන් සිල්වා රංගන ශිල්පියකු හා ගායකයකු ලෙස ඔබට සමීප වී සිටියද ඔහු වෘත්තියෙන් ගුවන් නියමුවෙක් වග දන්නේ සුළු පිරිසකි. කොරෝනා වසංගතය නිසා විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට රැගෙන ඒම සඳහා ලංකාවෙන් පිටත් කළ ගුවන් යානයේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවා ලෙස කටයුතු කරනු ලැබූයේ කපිතාන් ශිරාන් සිල්වායි. දැනට මුළු ලෝකයේ ගුවන්යානා ඉතිහාසය විමසන විට ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවෙක්, ගුවන් යානා පියාසර ඉංජිනේරුවරයෙක්, ගුවන් නියමුවෙක් යන තනතුරු දක්වා පැමිණ රංගනයේ හා ගායනයේ යෙදී සිටින එකම ගුවන් නියමුවා වන්නේ ශිරාන් සිල්වායි. මේ සියලු සුවිශේෂතාවලින් සපිරි සුවිශේෂී චරිතය පසුගිය දවසක සුමංගල හාමුදුරුවන් තුළින් ඔබ දකින සංසුන් ලීලාවෙන්ම අප හා කතාබහකට එළඹුණා.
අපි මුලින්ම කොරෝනා නිසා විදෙස් රටවල රැඳී සිටි සිසුන් රැගෙන ඒමට ගිය ගමන සිහිපත් කරමු.
ඔව් පසුගිය 21 වැනිදා එම මගීන් රැගෙන ඒමට ලංකාවෙන් පිටත් කළ ගුවන් යානය මමයි මගේ සහායක ගුවන් නියමුවයි කොළඹ ඉඳන් කරච්චිය දක්වා ගිහින් මගීන් රැගෙන කරච්චියේ සිට ලාහෝර් දක්වා පදවාගෙන ගියා. ලාහෝර්වල ඉඳන් තවත් ගුවන් නියමුවන් දෙදෙනෙක් ආපසු යානය ලංකාවට පදවාගෙන ආවා. ඒ විදිහටයි ඒ කාර්යය සිදුවුණේ.
ඔබ මෙතෙක් ගිය ගුවන් ගමන්වලට වඩා මෙම ගමනේ විශේෂත්වයක් තිබෙනවාද?
ගුවන් නියමුවකු ලෙස මම රැකියාව කරන සමාගමෙන් මට සුපුරුදු ලෙස ගුවන් ගමනකට කැඳවීම් ලැබුණා. අපි කරච්චියට ගිහින් ඒ පිරිස රැගෙන ලාහෝර් දක්වා ගමන් කර නැවත ලංකාවට පැමිණියා. එම මගීන් පිරිස අතර වැඩියෙන් සිටියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවීම් සඳහා විදේශයන්ට ගිහින් සිටි නිලධාරීන්. ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිසකුත් සිටියා.
ලෝකයේ පවතින තත්ත්වය ගුවන් නියමුවන් වන ඔබලාටත් විවේක සමයක් උදාකරලද?
අපිට සමාගමෙන් කැඳවීමක් ලැබුණ සැනින් සේවයට වාර්තා කිරීමට සූදානමින් ඉන්නෙ. සාමාන්‍යයෙන් දවස් විසි අටකට වරක් අපේ සේවය ක්‍රියාත්මක වෙන්නෙ. දැන් කොරෝනා ප්‍රශ්නෙ නිසා ගොඩක් අය ගෙදරට වෙලා ඉන්නේ සතියකට වරක් අපට ගුවන් ගමන් වාර ලැබෙන්නේ. ඒ කියන්නේ සතියකට සැරයක් තමා අපේ රෝස්ටරේ හැදෙන්නේ.
ගුවන් නියමුවෙක් වූ ඔබ රංගනයට පිවිසුණේ කොහොමද?
කුඩාවියේ පටන්ම කලාවට දක්ෂතා මා තුළ තියෙන්න ඇති. නමුත් කලා කටයුතු වෙත යොමුවෙන්න මට අපේ අම්මගෙන් කිසිම විටක අවස්ථාවක් තිබුණෙ නැහැ. හැම වෙලාවෙම කිව්වෙ පාඩම් කරන්න පාඩම් කරන්න කියලයි. පාසල් වියේ මට තිබුණෙ සංවේදී පෙනුමක්. මම ගියේ පිරිමි පාසලකට නිසාත් මගේ සංවේදීකම නිසාත් නිරන්තරයෙන්ම පාසලේ නාට්‍යවල කාන්තා චරිත සඳහා මාව තෝරාගත්තා. ලොකු චරිත නෙවෙයි. කොහොම හරි දිගටම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගිහින් මේ වෘත්තියට යොමු වුණා. අම්මගෙන් වගේම විවාහයෙන් පසුවත් මම රඟපෑමට යනවට මගෙ බිරියගේත් ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ රඟපෑම පාසලෙන් නිමා වුණා.
ඔබ සිනමාවට එන්නෙ?
ඔව් ඔය අතරෙ උදයකාන්ත වර්ණසූරිය මාව පළමුවෙන්ම සිනමාවට සම්බන්ධ කරගන්නව ඔහුගේ ආසයි මං පියාඹන්න චිත්‍රපටයෙන්. ඊට පස්සෙ සාන්ත සොයිසා මාව අමා සහ පබා ටෙලි නාට්‍යයට ගත්තා. මෑත කාලයේ චන්ද්‍රන් රත්නම්ගෙ එකොඩින් ටු මැතිව් චිත්‍රපටයේ රඟපෑවා. ධම්මික සිරිවර්ධනගේ සුවඳ දැනුණා ජීවිතේ චිත්රපටයටක් එකතු වුණා.
අපි දැන් ඔබව මේ දිනවල දකින්න ලැබෙන සුමංගල හාමුදුරුවන්ගෙ චරිතය ගැන කතා කරමු
සිඳු ටෙලි නාට්‍යයේ සුමංගල හාමුදුරුවන්ගෙ චරිතය මට විශේෂ අත්දැකීමක්. මොකද මම කතෝලික භක්තිකයෙක්. නමුත් මේ චරිතය ගැන කිවුවම මම ඒකට එක පයින් කැමති වුණා. මම කතෝලිකයෙක් වුණාට මගේ සීයා බෞද්ධාගමිකයෙක්. මම හරිම ගෞරවයකින් තමයි සිවුර ඇඳගත්තෙ. චරිතය කෙරෙහි මා තුළ තිබූ කැමැත්ත හා ගෞරවය නිසා චරිතයට අවතීර්ණ වෙන එක මට අපහසු වුණේ නැහැ. අනික ජානක සිරිවර්ධන තිළිණ බොරලැස්ස මාව මේ චරිතයෙදි ඉතා හොඳින් හැසිරෙව්වා.
ශිරාන්ගෙ පවුලෙ තොරතුරු මොනවද?
මගේ උපන් ගම වත්තල. මම දැන් පදිංචි වෙලා ඉන්නෙත් වත්තල. මගේ තාත්තා සිඩ්නි සිල්වා. අම්මා මොරින් සිල්වා. මගේ බිරිඳ රුවිනා සිල්වා. මම අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නෙ වත්තල ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයෙන්. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වුණා. උසස් පෙළ ප්‍රතිඑල පිටවෙනවත් සමගම මම එවකට එයාර්ලංකා ගුවන් සමාගමේ පුහුණුවන ගුවන්යානා ඉංජිනේරුවෙක් විදිහට සේවයට බැඳුණා.
ශිරාන්ගෙ සිහින ලෝකයේ ජීවත් වුණේ කලාකරුවෙක්ද? ගුවන් නියමුවෙක්ද?
කලා හැකියාවන් තිබුණත් අපේ පවුල් පරිසරයෙන් මාව කලාවෙන් යම් තරමකට දුරස්කර තබනා. ඒ හේතුා නිසා කලාවට තිබුණ ඇල්ම ක්‍රමයෙන් මා තුළ යටපත්වෙලා ගිහින් තිබුණෙ. පුංචිකාලෙ දරුවන්ගෙ වීරයා වෙන්න තමන්ගෙ තාත්තනෙ. මගේ තාත්තා ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවෙක්. ඒ නිසා මගෙයි අයියල තුන්දෙනාගෙයි සිහිනය ගුවන්යාන නඩත්තු ඉංජිනේරුවන් වීමයි.
ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවරයෙක් ලෙස සේවය පටන් ගත්ත ද අද ඔබ ගුවන්යානා කපිතාන්වරයෙක්?
ඔව්. අවුරුදු ගාණක්ම මම ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවරයෙක් විදිහට තමයි සේවය කළේ. සාමාන්‍යයෙන් මා තුළ පවතින චරිත ලක්ෂණයක් තමයි පවතින තැනින් තවත් ඉදිරිය සොයා යෑම. ඒ අනුව මම ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවරයා කියන තැනින් සෑහීමකට පත්වෙන්නෙ නැහැ. මම හිතනා මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියා. ඒ අනුව මම ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවෙක් විදිහට ඉඳල ගුවන්යානා පියාසර ඉංජිනේරුවෙක් වෙනා. එම තනතුරේ කටයුතු කරමින් ඉද්දි මම සුදුසුකම් ලබනවා ගුවන් නියමුවෙක් වෙන්න. මම මගේ ඉදිරි ගමන අතහැරියෙ නැහැ. මම ගුවන් නියමුවෙක් බවට පත්වුණා. අද මම ගුවන් යානා කපිතාන්වරයෙක් යන තනතුර දක්වා පැමිණ ශ්‍රීලන්කන් එයාර්ලයින් සමාගමේ සේවය කරනා.
