ඔස්ට්‍රේලියා නීතිය අනුව සැකකරුවකු මුළුමනින්ම නිරුවත් කර සෝදිසි කිරීමට පොලිසියට ඉඩ ලැබෙන්නේ බෙහෙවින් බරපතළ සහ අවශ්‍යම තත්ත්වයකදී පමණි.
එවැනි සෝදිසි කිරීමකදී පවා අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙළ එරට නීතිගත කෙරී ඇත. එම නීතිමය ප්‍රතිපාදනවලට පරිබාහිරව යමින් අවස්ථා කිහිපයකදී පුද්ගලයන් කිහිපදෙනකු මුළුමනින්ම නිරුවත් කර සෝදිසි කිරීමට යෑම නිසා ඕස්ට්‍රේලියා පොලිසිය අපකීර්තියට පත්ව ඇත. ඒ අන්දමට සෝදිසි කිරීම්වලට ලක් වූවන් අතර කාන්තාවෝ කිහිපදෙනෙක්ද සිටිති.
එකී එක් කාන්තාවකගේ සනීපාරක්ෂක ඇඳුම් පවා ඉවත් කරන්නට සිඩ්නි පොලිස් නිලධාරීන් අණ කර තිබුණේ යයි චෝදනා එල්ල කෙරේ. එවැනි අණ කිරීමක් කළේ මත්ද්‍රව්‍ය, ඇඳුම් අතර සඟවාගෙන ඇතැයි යන සැකය මතුවීම නිසා බව පොලිසිය සඳහන් කරයි. එම කාන්තාව මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන නොසිටි බව පොලිසිය අවසානයේදී තහවුරු කරගෙන තිබිණ. ‘සීක්රට් ගාර්ඩ්න්’ නමැති උත්සවයක, සංදර්ශන ඉදිරිපත් කළ තරුණ කාන්තාවක් නිරුවත් කිරීමටත්, ඇයට වාචික හිංසනයන් සිදු කිරීමටත් ඔස්ට්‍රේලියා පොලිසිය පෙලඹුණු බව තවත් අවස්ථාවකදී වාර්තා වූයේය.
මෙවැනි සිද්ධි කිහිපයක තොරතුරු, නීතිය බලාත්මක කිරීම සම්බන්ධයෙන් එරට ක්‍රියාත්මක කොමිසම වෙත ඉදිරිපත් කෙරී තිබිණ. එම පැමිණිලි විමර්ශනය කර බැලූ කොමිසම, අගතියට පත් කාන්තාවකගෙන් සමාව ගන්නට පොලිසියට නියම කර තිබුණේය. එවැනි තවත් පැමිණිල්ලක් විභාග කරමින් එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා සේවයෙන් පහකිරීමට කොමිසම පියවර ගෙන තිබිණ.
පුද්ගලයන් මුළුමනින්ම නිරුවත් කර සෝදිසි කිරීම් සිදු කරන්නේ කවර අවස්ථාවලදී ද, එවැනි සෝදිසියක් සිදු කරන්නේ කෙසේද යන්න ගැන ඔස්ට්‍රේලියා පොලිස් නිලධාරීන්ට ප්‍රමාණවත් දැනුමක් නැති බවද පසුගිය කාලයේදී අනාවරණය වූයේය. මේ නිසා උක්ත කාරණා සම්බන්ධ නීතිමය තත්ත්වයන් පැහැදිලි කෙරෙන නව අත්පොතක් පොලිසියට නිකුත් කරන්නට ඔස්ට්‍රේලියා බලධාරීහු ක්‍රියා කළහ. එහි සඳහන් අන්දමට, බාල වයස්කාරයකු පවා නීතියෙන් අනුමත ක්රියාපිළිවෙළින් බැහැරව නිරුවත් කර සෝදිසි කිරීමට ඔස්ට්‍රේලියා පොලිසියට ඉඩක් නැත.
