මේ මුළු ලොවම කොරෝනා වසංගතය හමුවේ පීඩාවට හා අසරණභාවයට පත්ව සිටින සමයකි. මෙම වසංගතය තවමත් ස්ථීර වශයෙන්ම කුමන මුලාශ‍්‍රයකින් මිනිසා අතර පැතිර යාමට පටන් ගත්තේද යන්න හඳුනාගෙන නොමැත. වරින් වර හැසිරීම වෙනස් කරන මෙම මාරාන්තික වෛරසය ලොව පුරා රටවල් හා කලාප 210 ක වාසය කරන විසි හතර ලක්ෂයකට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් මේ වන විට රෝගාතුර කර ඇති අතර වෛරසය දැනටමත් ලොව පුරා එක් ලක්ෂ හැට පන්දහසකට අධික මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි ගෙන අවසානය.
චීනයේ හුබෙයි ප‍්‍රදේශයේ වුහාන් නගරයෙන් පැතිරීම ඇරඹි මෙම කොරෝනා වෛරසය අප රටට පැමිණියේ ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් හා සංචාරකයින් හරහාය. වෛරසය ශ‍්‍රී ලංකාවට පැමිණිමේ අවදානම මුල්වරට මතු වුයේ ඉකුත් ජනවාරි මස 27 වැනිදා මෙරටින් ප‍්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා වශයෙන් චීන ජාතික කාන්තාවක් හඳුනාගැනීමත් සමගිනි. කෙසේ වුවද එම ආසාදිතයා සොයා ගැනීමත් සමගම ඇය සංචාරය කළ ස්ථාන හා ඒවායේදී නවාතැන් ගත් හෝටල්, ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඉතාමත් කෙටි කලකින් සොයාගෙන ඔවුන් පරික්ෂාවට ලක් කිරීමටත්, ආසාදිත කාන්තාව නවාතැන් ගත් ස්ථාන හා සංචාරය කළ ස්ථාන විෂබීජානුහරණය කිරීමටත්, බලධාරීන් විසින් කඩිනම් පියවර ගෙන තිබිණි.
කෙසේ වුවද එදා ප‍්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා මෙරටින් සොයා ගැනීමෙන් පසු වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විශේෂඥ උපදේශක කමිටුවේ උපදෙස් අනුව කටයුතු කළ යුතු වුවද මෙරට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් එම කමිටුව අවතක්සේරුවට ලක් කර ඇත්දැයි සැක කෙරෙන බවට ඇඟවෙන ප‍්‍රකාශයක් මෙරට හිටපු වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පසුගියදා සිදු කර තිබිණි. ලොවට තර්ජනයක් වූ සාර්ස්,මාර්ස් හා ස්වයින් ෆ්ලූ හෙවත් සුකර උණ වැනි රෝග ශ‍්‍රී ලංකාවට පැමිණිම වැළැක්වීමට හැකි වුයේ සාර්ථක වූ ජාතික වසංගත ප‍්‍රතිපත්තියකට අනුව වසංගත රෝග විශේෂඥ උපදේශකවරුන්ගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වීම නිසා බව නොරහසකි. එවැනි මාරාන්තික වසංගත පාලනය කළ ශ‍්‍රී ලංකාවට කොරෝනා වෛරසය මග හැරුනේ කෙසේද යන්න අප විමසා බැලිය යුතුය.
කරුණු එසේ නම් කොරෝනා වෛරස් ආසාදනය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමේදී එවැනි තත්ත්වයක් ඇති නොවුයේ මන්දැයි යන්න ගැටලූවකි. ශ‍්‍රී ලංකාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු ශ‍්‍රී ලංකාව රට තුළ එම ආසාදිත කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් හා ඇය සංචාරය කළ ස්ථාන පිළිබඳව සෙවීමට විමසිලිමත් වුවද නැවත එවැනි ආසාදිතයෙකු විදෙස් රටකින් ඒවිදැයි විමසිලිමත් වී එසේ වෛරස් ආසාදිතයෙකු පැමිණිම වැළක්වීම සඳහා ගුවන් තොටුපළ හා වරායන් තාවකාලිකව වසා දැමීම කෙරෙහි අවධානය යොමු නොකිරීමේ ඵල විපාක අප අද අත් විඳිමින් සිටිමු. ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වන විට තවත් අපේ අසල්වැසි රටවල් වන නේපාලයෙන් එක් ආසාදිතයෙකුද මාලදිවයිනෙන් ආසාදිතයින් කිහිපදෙනෙකුද වාර්තා වී තිබිණි. ඊයේ (20දා උදැසන වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වී තිබු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 295 ක් වන විට නේපාලයෙන් වාර්තා වී ඇත්තේ රෝගීන් 31 දෙනෙකු පමණක් වන අතර මාලදිවයිනෙන් රෝගීන් 52 දෙනෙකු වාර්තා වී තිබේ. එම රටවල් දෙකෙන්ම මෙතෙක් කිසිදු රෝගී මරණයක් වාර්තා නොවීමද විශේෂත්වයකි.
ශ‍්‍රී ලංකාවට වඩා වඩා සෞඛ්‍ය දර්ශක දර්ශක අතින් පහළින් සිටින, වෛද්‍ය පහසුකම් නොදියුණු එම රටවල් එක් ආසාදිතයෙකු වාර්තා වීමෙන් පසු සිය ගුවන්තොටුපළ හා වරායන් වසා දමා විදේශීය රටවලින් කොරෝනා එම රටවලට පැමිණිම සීමා කිරීම ඔවුන්ගේ වෛරසය මැඩලීමේ සටනේ සාර්ථකත්වයට හේතු වී ඇතැයි අනුමාන කළ හැකිය. මේ අනුව එම රටවලට මේ වන විට කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ හැකි වී තිබේ.
ශ‍්‍රී ලංකාව මුල් අවස්ථාවේදී ගුවන් තොටුපළ හා වරායන් වසා නොදැමුවද මෙරට ප‍්‍රථම ශ‍්‍රී ලාංකීය කොරෝනා ආසාදිතයා ඉකුත් මාර්තු මස 10 වැනිදා වාර්තා වීමෙන් පසු ප‍්‍රමාද වී ගුවන් තොටුපළවල හා වරායන් වසා දමා මෙරට වෛරසය පැතිරීම පාලනයට පියවර ගත්තේය. එහෙත් ඒ වන විටත් ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නීරෝධායනය වෙමින් සිටි අයගෙන් මෙරටට වෛරසය පැමිණ තිබිණි. ඒ නිසාම මෙරට ප‍්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා වාර්තා වීමෙන් පසු වාර්තා වන එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන්නට වූ අතර එක් ආසාදිතයෙකු හෝ වාර්තා නොවූ දිනයන් පැවතියේ අතලොස්සකි.
අනෙක් අතට පසු ගිය කාලයේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර මෙරටට ඉතාලියෙන්, දකුණු කොරියාවෙන්, ඉරානයෙන් හා ඉන්දියාවෙන් පැමිණි ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම එම රටවල ජාතිකයින් සෙවීමට බලධාරීන් විසින් අවධානය යොමු කළද දැනට කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු බටහිර රටවලින් මෙරටට පසුගිය කාලයේ පැමිණි පිරිස් හා වෛරසය පැතිරීම ඇරඹි චීනයෙන් පැමිණි කිසිවකු වෛරසය ශරීරගතව ඇත්දැයි පරීක්ෂා කිරීමට තබා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම පවා සිදු නොවීය. පසුගිය දිනවල කොරෝනා වෛරසය පැතිරීම පාලනය කර තිබු සිංගප්පුරුවේ මේ වන විට කොරෝනා ආසාදනය ශීඝ‍්‍රයෙන් පැතිර යාමට පටන් ගෙන ඇත්තේ එරට ගොඩනැගිලි ඉදි කිරීම් හා කොන්ත‍්‍රාත් ආයතනවල සේවය කරන විදේශීය ශ‍්‍රමිකයින් මාර්ගයෙන් බව අප අමතක නොකළ යුතුය. මේ නිසා මෙරට සේවයේ යෙදී සිටින සෑම රටකම විදෙස් ශ‍්‍රමිකයින් කොරෝනා වෛරස් පරික්ෂාවකට යොමු කිරීමේ අවශ්‍යතාවය මතු වෙමින් පවතී.
මෙතෙක් මෙරට ප‍්‍රජාව තුළ කොරෝනා වයිරසය පැතිර යාමක් දක්නට නොලැබුණද එවැනි තත්ත්වයක් විදෙස් ශ‍්‍රමිකයින් හරහා උද්ගත වීමේ අවදානමක් පැවතීම නිසා එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට දැන් සිටම පියවර ගැනීම සිදු කළ යුතුව ඇත.
අනෙක් අතට කොරෝනා වෛරසයෙන් ආසාදිත චීන කාන්තාව මෙරටින් වාර්තා වීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් සෑම විටම උත්සාහ දැරුවේ ජනතාවට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දැත් සබන් යොදා හොඳින් සේදීම, නිවසෙන් එළිමහනට යන්නේනම් දෙදෙනෙකු අතර මීටරයක පරතරයක් තබා ගැනීම, කසින විට හා කිවිසීමේදී නිතරම ලේන්සුවක් හෝ භාවිත කර ඉවතලන ටිෂු කඩදාසියක් භාවිත කිරීම යන උපදෙස් ජනතාවට මතකයේ තබා ගෙන අනුගමනය කිරීමට පෙළඹ වීමටයි. එහෙත් අදටත් ඇඳිරි නීතිය පවතිද්දීත්, එය ඉවත් කළ පසුත් ජනතාව එම ක‍්‍රියාමාර්ග සියයට සියයක්ම අනුගමනය නොකරන බව පෙනී යයි. මෙහිදී ජනමාධ්‍යයන් හරහා එම උපදෙස් ජනතාව අතර ගෙන යාමට අමතරව මහා මාර්ග හා ප‍්‍රසිද්ධ ස්ථානවල අදාළ උපදෙස් සහිත දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කිරීමට පියවර ගත යුතුය.
දැන්වත් කොරෝනා වෛරස් ආසාදනයට පමණක් නොව වෙනත් බොහෝ රෝගවලට හේතු කාරක වන මහා මාර්ගයේ තැනින් තැන කෙල ගැසීම නීතියෙන් තහනම් කිරීමට පියවර ගත යුතුව තිබේ. මෙය එයට හොඳම අවස්ථාව වී ඇත්තේ මේ වනවිට පසුගිය දිනවල පනවා තිබු ඇඳිරි නීතියත් සමගම මහා මාර්ග බොහොමයක් හිස් වී තිබීම නිසාය. මේ අනුව ඉදිර්යේදී කොරෝනා වෛරසය පමණක් නොව වෙනත් රෝගී වෛරස් මෙරට පැතිරීම පාලනය කිරීමට එවැනි ක‍්‍රියාමාර්ග උපකාරී වනු ඇති බව වෛද්‍ය අංශ පෙන්වා දෙයි.
මේ වන විට ඉන්දියාවද එසේ ප‍්‍රසිද්ධ ස්ථානවල කෙල ගැසීම තහනම් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවට පසුගියදා වාර්තා විය.
අනෙක් අතට ඇඳිරි නීතිය ඊයේ (20දා සිට දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකම පහේ (පොලිස් බල ප‍්‍රදේශ 25ක හැර ඉවත් කිරීමෙන් පසු සුළු ව්‍යාපාරික ස්ථාන පමණක් නොව විශාල ව්‍යාපාරික ආයතනද නැවත විවෘත කිරීමේදී එකවර විශාල සේවක සංඛ්‍යාවක් ගෙන්වා නොගෙන ආරම්භයේදී සීමිත සේවක සංඛ්‍යාවක් හරහා එම ව්‍යාපාරවල කටයුතු පවත්වාගෙන යාමටත් එසේ පැමිණෙන සේවකයින්ට පැළඳීම සඳහා මුහුණු ආවරණ මෙන්ම දැත් සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය සබන් හා විෂබීජ නාශකයන් සැපයීමට බලධාරීන් පියවර ගත යුතුය. එසේම එම සේවකයින් අතර සමාජ දුරස්ථ භාවය රැකෙන සේ මීටරයක පමණ පරතරයක් පවත්වා ගැනීම තහවුරු කිරීම ආයතන ප‍්‍රධානීන්ගේ වගකීම වේ. අදාළ ආයතන දවසේ කාර්යයන් පටන්ගැනීමට පෙර පුටු, මේස පමණක් නොව භාවිත කරනු ලබන සැම කාර්යාලයීය උපකරණයක්ම, කඩයක නම් භාණ්ඩ තබා ඇති මේස පවා පිළිගත් විෂබීජ නාශකයක් යොදාගෙන විෂබීජානුහරණය කිරීම වැදගත්ය. මෙය මෙම දිනවල දිනපතා වැඩකටයුතු ඇරඹීමට පෙර සිදු කිරීම කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමට උපකාරී වනු ඇත. එමෙන්ම ආයතනවලට පැමිණෙන සේවකයින් අතර මීටරයක පරතරය තබා ගැනීම කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමට ප‍්‍රමාණවත් නොමැති බව බටහිර පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇතත් අනෙකුත් ආරක්ෂක ක‍්‍රම අනුගමනය කරන්නේනම් එවැනි දුර ප‍්‍රමාණයක් හෝ දෙදෙනෙකු අතර පවත්වාගෙන යාමට උත්සාහ දැරීම වැදගත්ය.
මෙම එක් උපදෙසක් හෝ පිළිනොපැද මගහැරීම කොරෝනා වෛරසය පැතිරීමට මගපැදීමක් වනු ඇති බවට ප‍්‍රධානින් විසින් සේවකයින්ට ඒත්තු ගැන්වීම වැදගත්ය.
ඒමන්ති මාරඹේ
