පසුගිය 21 වනදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ ඇතිවූ බෝම්බ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්වුණා.
හෝටලයේ 02 වන මහලේ ටේබල් වන් නැමැති අවන්හලේ මෙම පිපිරීම සිදුවූ අතර මෙම හෝටලයේ සහ පානදුර නිවසක මාස ගණනාවක් සිට නැවතී සිටි සැකකරුවෙකු සැලසුම් සහගතව මෙම මරාගෙන මැරෙන ප්රහාරයන් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එදින ‘ඊස්ටර් බ්‍රෙක්ෆස්ට්’ නමින් හඳුන්වන විශේෂ පාස්කු උදෑසන ආහාර වේල පැවති නිසා එහි ගැවසුනේද පල්ලි යන්නට සූදානමින් සිටි පිරිස්ය.
ශාන්තා ඇගෙ සැමියා වන කුමාර් හා වැඩිමල්දුව නිසංගා හා නිසංගාගේ සැමියාත් ශාන්තාගේ පුතු හා ලේලියත් බාල දියණිය තරංගාත් උදෑසන ආහාර වේල ලබාගන්නට පැමිණ තිබුණා.
සිද්ධිය විස්තර කරන ශාන්තාගේ සැමියා කුමාර් පවසා ඇත්තේ මෙවැන්නක්.
‘අපි උදෑසන ආහාරය ගන්න ෂැංග්‍රිලා හෝටලේ දෙවැනි මහළට පැමිනියා. කෑම තිබුනේ බුෆේ ක්‍රමයට.ශාන්තායි දුවයි මුලින් ආහාර බෙදාගන්න ගිහින් ආවා ඉන් පසු මා සහ මේසයේ සිටි අනෙක් අය කෑම බෙදාගන්න ගියා පිපිරීම ඇතිවුනේ ඒ අවස්ථාවේ. ඇත්තටම ඔවුන්ට අනතුරවුනේ ගොඩනැගිලි කොටස් වලට යටවීමෙන්. ඔවුන් දෙන්නා සිටි තැන ගොඩනැගිල්ලෙ ඉහළ කොටස ඔවුන්ගේ සිරුරු මත පතිත වුණා.’
ප්‍රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නගේ දියණිය නිසංගා විවාහ වී සිටියේ ශාන් ජයසේකර මහතා සමගිනි. ඔවුනට මාස 6 ක බිළිඳු දියණියකද සිටිනවා. එදා උදෑසන ආහාර අවස්ථාවට ඔවුන් දරුවා රැගෙන විත් තිබුණේ නැහැ. නිසංගා වැඩිදුර අධ්‍යාපනය ලබන්නට විදෙස් ගතවීමෙන් අනතුරුව කොළඹ පෑන් ඒෂියා බැංකුවේ සේවය කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
මෙම අවාසනාවන්ත සිද්ධිය නිසා නිසංගාගේ මාස 6 බිළිඳු දියණියට මවක අහිමි වුණා.
ශාන්තා හා නිසංගාගේ දේහයන් පන්නිපිටිය කොට්ටාව පරණ පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු 25 සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
