Gossip

විශ්‍රාමික පොලිස් ලොක්කාගේ දුවගේ වාහනය නැවැත්වූ එස්.අයිට අත්වුණු ඉරණම

විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියගේ වාහනය නැවැත්වීමට සංඥා කළැයි පවසමින් පොලිසියේ උසස් නිලධාරියකු විසින් කොට්ටාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජූලි මස 15 වැනි දින රාත්‍රියේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග පරිදි බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක අදාළ උප පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් නිරත වී ඇත. එම අවස්ථාවේ ද්විත්ව ඉරි කපාගෙන ජීප් රියක් පැමිණ තිබේ.

එය නැවැත්වීමට සංඥා කළ පොලිස් නිලධාරියා රථය නැවැත්වීමෙන් පසු රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියේය. රියැදුරු බලපත්‍රය ඉල්ලූ අවස්ථාවේ රථයේ ඇතුළත ලාම්පු නිවා එහි සිටි කාන්තාව කියා ඇත්තේ ‘මගෙ තාත්තා ඩී.අයි.ජී. තොපි කවුද අපිව නවත්වන්න’ යනුවෙනි.

එ​සේ පවසා ඊගසක වේගයෙන් ප්‍රතිවිරුද්ධ මංතීරුවෙන් රථය ධාවනය කර තිබේ. පොලිස් නිලධාරියා පොලිසියට පැමිණ පොලිස් පොතේ ඒ පිළිබඳ සවිස්තරාත්මකව සටහනක් කළ බව කොට්ටාව පොලිසියේ නිලධාරීන් පවසයි.

ඊළඟ දිනයේදී කොට්ඨාසයේ නිලධාරියකු ඔහුගේ කාර්යාලයට මෙම උප පොලිස් පරීක්ෂකවරයා කැඳවා තිබේ. එම කාර්යාලයට යන විට විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ දියණිය එහි සිට ඇත. එම අවස්ථාවේ ඔවුන් ඉදිරිපිටදීම උසස් නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයාගේ සනුහරයම මතක් කොට බැණ වැදුණු බව උප පොලිස් පරීක්ෂකවරයා සිය මිතුරු පොලිස් නිලධාරීන්ට පවසා ඇත. එදින සිට අද වනතුරු අවංකව රාජකාරි කළ එම නිලධාරියා පොලිසියේ ගේට්ටුව මුර කිරීමට යොදා ඇති බව ලියුම්කරුට දැකගත හැකි විය. කොට්ඨාසයේ ඉහළ නිලධාරියා සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයා විසින් පොලිස් පොතේ යෙදූ සටහන කුණු කූඩයට දමා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පැමිණිල්ල විභාග කිරීමට කඩිමුඩියේ ක්‍රියා කර තිබේ. උප පොලිස් පරීක්ෂකවරයාට ඡන්දය දැමීමට පවා ඔහු අවස්ථාව ලබා දී නැත.

ලියුම්කරු මෙම උප පොලිස් පරීක්ෂකවරයා මුණ ගැසීමට කොට්ටාව පොලිසියට ගියද ඒ වනවිටත් අධික මානසික පීඩනය මගහරවා ගැනීම සඳහා ඔහු නිවාඩු ලබාගෙන සිටියේය.

කොට්ටාව නගරයේ හෝටල් හිමියකු වන මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිසියට විටින් විට විවිධ බලපෑම් සිදුකරන බවද පොලිස් පොඩ්ඩෝ පවසති. නිවැරදිව රාජකාරි සිදුකරන පොලිස් නිලධාරීන්ට මෙවැනි පුද්ගලයන්ගෙන් එල්ලවන පීඩනය හමුවේ රාජකාරි සිදු කිරීමට අපහසු වී ඇති බැවින් පොලිස්පතිවරයාගේ අවධානය මෙයට යොමුවන තුරු ඔවුන් බලා සිටින්නේ ඉමහත් කලකිරීමෙන් යුතුවය. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ සිදුවීම ගැන සොයා බලා විමර්ශන සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

•හේමන්ත ලියනපතිරණ – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!