මතකයිද තාත්තා කෙනෙක් වෙන්න යන දවසේ හිතට දැනුන දේ.
මතකයි. මමයි වයිෆුයි දරුවෙකුට ගොඩක් ආසාවෙන් හිටපු කාලේ තමයි අපිට දරුවෙක් ලැබෙන්න යනවා කියන පණිවිඩය ලැබුණේ. ඒක ඇත්තටම හරිම සතුටුදායක ආරංචියක් වුණා. ඊට පස්සේ ඉතිං දින සති මාස ගෙවුණේ දරුවා ලැබෙන දවස ගැන බලාපොරොත්තුවෙන්. ලංකාවේ හිටපු හොඳම නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු යටතේ බිරිඳ මග පෙන්වීම ලබා ගත්තා. ඒත් අවාසනාවකට පළමු දරුවා නිසා දරුවෙක් ලැබුණා කියන සතුට බුක්ති විඳින්න ලැබුණේ නැහැ.කුසට මාස 6 ක් වෙනකොට බිරිඳට කුසේ වේදනාවක් ඇවිත් රෝහල් ගත කෙරුණා. එවිටයි අපි දැන ගත්තේ කුස තුළ දරුවන් මිය ගිහින් කියලා. ඇයට ලැබෙන්න හිටියේ නිවුන් ගැහැනු දරුවන් දෙන්නෙක්. කවදාවත් අපිට නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නවා කියලා වෛද්‍යවරයා දැනුවත් කරලා තිබුණෙත් නැහැ. කොහොම වුණත් අවාසනාවන්ත විදියට දරුවෝ දෙන්නා අපෙන් වෙන් වුණා. මේ වේදනාව දරාගන්න මටත් බිරිඳටත් සෑහෙන කාලයක් ගත වුණා. ඇත්තම කියනවා නම් අපිි ඊට පස්සේ නැවත දරුවෙක් කුසට එනකම්ම නිර්මාංශ ප්‍රතිපත්තියේ හිටියේ. පළමු දරු දෙදෙනා අහිමි වීමේ දුක යටපත් කළේ කාලය. ඇත්තටම ඒ සිදුවීමේදී මට හිතුනා ‘‘අහිමි’’ වීම කියන දේත් ලෝකෙ වෙනවා. එය අපි අකමැත්තෙන් හරි බාරගන්න ඕනේ කියලා. පසුව වසර දෙකකට පසු ලොකු පුතා ලැබෙන්න හිටියා. ඇත්තටම මම, ඔහු පිළිසිඳ ගත්ත දා ඉඳලා ආධ්‍යත්මික ප්‍රතිපත්තියක ඉඳලා කුසේ වැඩෙන දරුවා වෙනුවෙන් අධිෂ්ඨාන කළා. පිරිමි දරුවෙක් ඉපදුන එකට එදා මට ලොකු සතුටක් දැනුනා. ඇත්තටම අපේ ලෙයින් උපන් දරුවෙකු මුලින්ම සුරතට ගත්තාම දැනෙන ආදරණීය සතුට වචනයෙන් කියන්න බැහැ. මම ඒ සතුට එදා වින්දා.
තාත්තලා දරුවන්ට ආදරය පෙන්වන්නේ අඩුවෙන්ද?
මෙහෙමයි තාත්තා කියන චරිතයට ඕනෑම පවුලක මූලික තැන ලැබෙනවා. එතනදි ගරුත්වය සහ නායකත්ව ගුණ කියන දේ තාත්තගේ චරිතය තුළ තිබෙනවා. මගේ පුතාව මම වෙලාවකට ළඟට අරං ආදරය කරනවා. වෙලාවකට එහෙම කරන්නේ නෑ. නමුත් ඔහු මට බයයි. වැරදි කළත් නොකළත් දරුවෝ දෙමාපියන්ට බයයි. ඒ සීමාව අපි තබා ගත යුතුයි. අම්මා කෙනෙක් තරම් තාත්තා නිතර ආදරෙයි නොකීවත් දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න තමයි හැම තාත්තා කෙනෙක්ම වෙහෙසෙන්නේ.
දරුවා වයසෙන් වැඩෙද්දි ඔබ කොයි විදිහටද ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගත්තේ?
වයසින් වයසට දරුවන්ගෙ ඕනෑ එපාකම් වෙනස්. පුංචි කාලේදි නිදහසේ සෙල්ලම් කරන්න ආස දරුවෙකු පෙර පාසල් යනකොට, පාසල් යනකොට ඉටුකර ගන්න උත්සාහ කරන අවශ්‍යතා වෙනස්. ඒ ඒ වයසේදී දරුවාට අවශ්‍ය විදිහට අවශ්‍ය දේවල් ලබා දෙන්න මම නිතරම උත්සහ ගත්තා.පුංචි වරදක් කළත් මම දඬුවම් දුන්නේ හරිම අඩුවෙන්. සමහර වෙලාවට දඬුවම් කරන්නේ නැති තරම්. නමුත් මගේ බිරිඳ ටිකක් දරුවෝ පස්සෙන් ඉන්නවා.වරදේදි දඬුවම් කරනවා. දඬුවම් නොකළත් වැරැද්ද වැරැද්ද විදිහට තේරුම් කරලා දෙන්න මම නිතර උත්සහ කරනවා.
පුතාගේ දැන් වසය?
දැන් පුතාට අවුරුදු 18ක්. ඉස්සරට වඩා දැන් ළමයින් හොඳින් තේරුම් අරං ජීවත් වෙන්නේ.
නව යොවුන් වියේ දරුවො ඉන්න එක විශාල වගකීමක් නේද?
ඔව්. අපි ඉස්සර හිතුවේ ගැහැනු ළමයිව තමයි පරිස්සම් කරන්න ඕනේ. පිරිමි දරුවන්ට එහෙම විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නෑ කියලා. නමුත් දැන් කාලෙදි එහෙම හිතන්න බෑ. වැඩිවිය පැමිණෙන පිරිමි දරුවන්ට අනිවාර්යෙන්ම ආරක්‍ෂාවක් ලබා දිය යුතුයි.විශේෂයෙන්ම පිරිමි දරුවන්ට තියෙන විශාලම ප්‍රශ්න දෙක තමයි මත් උවදුරයි, සමලිංගික ප්‍රශ්නයි. ඒ හැම දේ ගැනම මම දරුවාත් දැනුවත් කර තිබෙනවා. ඒ වාගේම පස්සෙන් ඉඳලා ඔවුන්ට නිවැරදි මාවත පෙන්වනවා. බිරිඳ ඔවුන් පිටුපස නිතර ඉන්නවා. ඒක මට ලොකු හයියක්.
පුතා ගැන වඩාත් බියක් හෝ සංවේදි බවක් දැනුන අවස්ථාවක් මතකද?
ඔව්. පුතාට එතකොට ඇති වයස අවුරුදු 11 විතර. එයාට ඩෙංගු රෝගය හැදිලා දැඩි සත්කාර ඒකකයේ ඉතාම අවධානම් තත්ත්වයක ප්‍රතිකාර ගන්න මට්ටමට ආවා. ඒ අමිහිරි සිද්ධිය මතක් කරනවාටත් මම කැමති නෑ. ඒ වෙලාවේ දරුවාගේ හුස්ම රැල්ලක් වැටෙන වාරයක් පාසා මම ඇහිපිය නොහෙලා බලා හිටියේ අනේ මෙවැනි සිද්ධියක් කිසිදා කිසිවෙකුට දකින්න ලැබෙන්න එපා කියලා. පසුව පුතා සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. එය මීට වසර 7 කට පෙර සිදු වුණේ.
පුතා කවුරු වෙනවා දකින්නද කැමති?
එයා නළුවෙක් වෙන්නඕනේ කියලා මම හිතලා නෑ. මොකද මගේ තාත්තාත් නළුවෙක් නෙමෙයිනේ. හැබැයි එයාට අවශ්‍ය ඕනෑම වෘත්තියක් තෝරාගන්න අපි දෙන්නාම නිදහස දීලා තියෙන්නේ. නමුත් ඔහු තෝරාගන්න මාවත ගැන නම් හොඳින් හොයා බලනවා. මොකද ඔහු ඉන්න වයස අනුව ඔහුට දෙමාපියන් ලෙසට අපේ මඟ පෙන්වීම අවශ්‍ය නිසා.මේ ළඟදි දවසක් පුතා මට කිව්වා ‘‘තාත්ති මම ආසයි ඇමරිකාවේ නාසා ආයතනයට යන්න අභ්‍යවකාශය ගැන ඉගෙන ගන්න’’ කියලා. මම දන්නේ නැහැ පුතා කොයි වගේ පැත්තක් තෝර ගනීද කියලා. ගණිතයට, භෞතික විද්‍යාව වැනි විෂයන්වලටත් පුතා ගොඩක් කැමතියි. මට හිතෙනවා කවදා හරි ඔහු ඔහුට යා හැකි හොඳම මාවත සොයා ගනී කියලා.
පුංචි කුටුම්බය තුළ දරුවන් එක්ක ජීවත්වෙන සතුට ඔබ කොහොමද දකින්නේ?
බැඳීම් වැඩිවීම ජීවිතය දුකක්, නිදහස අහිමි වීමක් කියා බුදු දහමේ උගන්වනවා. එය යථාර්ථවාදීව බැලූවාම සැබෑවක්. නමුත් දරුවෝ එක්ක අපේ මුළු ජීවිතයම බද්ධ වෙලා තියෙන නිසා දැනෙනවා දරුවෝ කියන්නේ සම්පතක්. ඒ වගේම ලොකු වගකීමක්. දරුවෙක් හදනවාට වඩා අමාරුයි යහපත් පුරවැසියකු ලෙසට සමාජගත කරන එක. මොකද දරුවෙකු නොමඟ ගියොත් ඒකෙ සම්පූර්ණ නරක නාමය පැටවෙන්නේ දෙමාපියන්ට. ඒ නිසා ඒ ගැනත් ඔළුවේ තියා ගන්නම වෙනවා.තවත් දෙයක් තමයි දරුවෝ දවසින් දවස ලොකු වෙනකොට දැනෙනවා අපි තනිවෙලා නෑ ඔවුන් අපි සමග ඉන්නවා නේද කියන එක ඒ සියලූ අත්දැකීම් හරිම ආදරණීයයි.
උපුටා ගැනීමකි