ලොව ප්‍රධාන පෙළේ විලාසිතා නිර්මාණකරුවකු වන පීටර් නිගාර්ඞ් දශක ගණනාවක් තිස්සේ කාන්තාවන් හා බාල වයස්කාර දැරියන් දහස් ගණනකට ලිංගික අපචාර සිදු කිරීම හා එවැනි කටයුතු වලට යෙදවීම, ලිංගික ජාවාරම් කටයුතු ආදී චෝදනා රැසක් මත කැනඩාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
79 හැවිරිදි පීටර් නිගාර්ඞ් හට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසින් වන අතර කැනඩාව විසින් මොහු ඇමරිකාවට භාරදීමට නියමිතය. මොහු විසින් ඇමරිකාව, බහමාස්, කැනඩාව හා රටවල් රැසක මෙම ලිංගික ජාවාරම දශක ගණනාවක් තිස්සේ කර ගෙන ගොස් තිබේ.
මොහු විසින් සිය විලාසිතා නිර්මාණ සමාගම සඳහාත් සහ එවැනි විලාසිතා ප්‍රදර්ශන සඳහා මෝස්තර නිරූපිකාවන් ලෙස බඳවාගත් කාන්තාවන් හා තරුණියන් ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. එසේම එම තරුණියන් බලහත්කාරයෙන් මොහුගේ මිතුරන්ට හා ව්‍යාපාරික සහකරුවන්ට ද ලිංගික කටයුතු සඳහා ලබාදී ඇති බව හෙළිවී තිබේ. මෙම ක්‍රියාවන් සඳහා යොදා ගෙන ඇති ඇතැම් තරුණියන් වයස අවුරුදු 18 ට වඩා අඩු බාලවයස්කාරියන්ය. මෙම ඇතැම් තරුණියන්ට තර්ජනය කිරීම්, ව්‍යාජ පොරොන්දු, නිරූපන අවස්ථා ලබා දෙන බවට පොරොන්දු, මුදල් ලබා දෙන බවට පොරොන්දු ආදිය ලබාදී මෙම ලිංගික බලහත්කාරකම් සිදු කර තිබේ. ඇතැම් දුප්පත් තරුණියන් මෙන්ම කලින් ලිංගික අපයෝජනයට ලක්වූ තරුණියන් වැඩි වශයෙන් මොහුට ගොදුරුවී තිබේ. මෙම තරුණියන් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවටත් ඇතැමුන් සිරකරගෙන සිටි බවටත් හෙළිවී තිබේ. කැලිෆෝර්නියාවේ හා බහමාස් හි මොහුට අයත් මන්දිරවල මේ බොහෝ අපචාර සිදුවී තිබේ. ඇතැම් අවස්ථාවල මොහු විසින් නව තරුණියන් තමන් වෙත ගෙන්වා ගැනීමට තමන්ගෙන් අපහරණය වූ කාන්තාවන් යොදවා ගෙන ඇතැයිද හෙළිවී තිබේ.
මොහු ගෙන් ලිංගික අපයෝජනයට පත්වූ කාන්තාවන් 57 දෙනෙකු මේ වන විට ඔහුට විරුද්ධව සාක්ෂි ලබාදීම සඳහා එක්ව සිටිති. කැනඩාවේ 70 වන ධනවත්ම පුද්ගලයා වන මොහුගේ වත්කම් ඩොලර් මිලියන 700 කි. ඔහු මෙම කටයුතු 1967 සිට වසර පනහකට අධික කාලයක් තිස්සේ සිදු කර ඇති බව සඳහන්ය.
දිවයින.