තම අනියම් බිරිඳ උදැල්ලකින් පහරදී මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි සිවිල් ආරක්ෂක භටයකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග කළා ය.
රක්‍ෂත බන්ධනාගාරගත කරන ලද්දේ කන්තලේ වාන්ඇළ සිවිල් ආරක්ෂක අනු කලාපයට අනුයුක්තව සේවය කරන අයි. පී. ජී. මහින්ද ජයලත් (40) නමැත්තෙකි. මියගොස් ඇත්තේ බන්ද්‍රානි මිල්ලවාන (50) නමැත්තියකි.
සැකකරුගේ බිරිඳ විදේශගතව රැකියාවක් කරන අතර සැකකරු දරුවන් දෙදෙනා ද සමග වාන්ඇළ ප‍්‍රදේශයේ පදිංචිව සිටී. මේ අතර මීට වසර දෙකකට පමණ උඩදී හමුවූ මියගිය තැනැත්තිය සමග තඹලගමුව ගල්මැටියාව ප‍්‍රදේශයේ කුලී ඉඩමක පදිංචිව එකට කල් ගත කර ඇත. ඉකුත් 27 වැනිදා සැකකරු තමන්ට වාන්ඇළේ දරුවන් බලා ඒමට යන්නට අවශ්‍ය බව අනියම් බිරිඳට පැවසීමෙන් පසු දෙදෙනා අතර බහින්බස් වීමක් හටගෙන තිබේ. ඉන් අනතුරුව ටික වේලාවකට පසු ‘‘වත්ත පහළ නිධානයක් තියෙනවා… යමු බලන්න’’ කියා අනියම් බිරිඳ ඉස්සර කර ගෙන සැකකරු උදැල්ලක් ද ගෙන පසු පසින් ගොස් වත්ත කෙළවර දී අනියම් බිරියගේ හිසට පහරදී මරා දමා ඇත.
අනතුරුව බිරිඳගේ ඇඳුම් සියල්ල ගලවා ගිනිතබා වත්තේ තිබූ පරණ වැසිකිළි වළක් හාරා සිරුර ඒ තුළට දමා කිසිවක් නොවූ ගාණට සැකකරු සේවයට ද ගොස් ඇත.
අවට ගම්වාසීන් මෙම වත්ත දෙසින් දැඩි ලෙස දුගඳක් එන බවට පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය පැමිණ කළ සෝදිසියේදී මළ සිරුර ගොඩ ගෙන ඇත.