පසුගිය වසරේ දෙසැම්බර් මස සිට චීනයේ වූහාන් නගරයෙන් හටගත් දරුණු වෛරසයක් ලෙස ‘කොරෝනා වෛරසය’ අද මුළු ලොවම ත්රාසයටත්, භීතියටත් පත් කිරීමට සමත්ව තිබේ. මෙම වෛරසය කොරෝනා නමින් හඳුන්වා ඇත්තේ ඉංග්‍රීසි බසින් (ක්‍රවුන්) යනුවෙන් හඳුන්වනු ලබන ඔටුන්නක ආකාරයකින් එහි නිමාව හෙවත් හැඩය නිර්මාණය වී ඇති නිසාය. මෑත භාගයේදී ‘ඉබෝලා’, ‘සාර්ස්’ ආදී විවිධ නම්වලින් වෛරස් ආසාදන ඇති වුව ද මෙතරම් බරපතළ ව්‍යසනයක් ඇති වූ වෛසරයක් මෑත භාගයේ ලොව පහල නොවූ තරම්ය. දහනව වැනි සියවසේ මුල් භාගයේ (1918) ස්පාඤ්ඤයේ ඇතිවුණ මෙබඳු වෛරස් රෝගය කොරෝනා වෛරසය තරම් බලවත් නොවූ අතර මෙතරම් ශීඝ්‍ර ලෙස ලොව ව්‍යාප්තවීමක් ද සිදු නොවීය.
මෙම වෛරස් රෝගය නිසා මේ වනවිට ලොව පුරා පන්දහසකට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වුව ද එම ප්‍රමාණය ඊට දහස් ගණනක වැඩිවීමක් මිසක් අඩු නම් විය නොහැකි බව පැවසේ. සාමාන්‍යයෙන් මෙම වෛරස් තත්ත්වය චීනයෙන් පසුව සංක්‍රමණය විය යුතුව තිබුණේ චීන දේශ සීමාවේ පවතින රුසියාවටය. රුසියාව එම දේශ සීමා වසා දැමූ බව පැවසුව ද සමාජවාදී රටවල එබඳු පුවත් ආවරණය කිරීමක් හෝ පිටතට යෑමක් විවෘතව සිදු නොවේ. කෙසේ වුව ද චීනයෙන් යුරෝපයේ ඉතාලිය වෙත සංක්‍රමණය වූ කොරෝනා වෛරසය ඉතාලියේ නිවාඩු ගත කළ ජර්මන් ජාතිකයන්ට ද වැළඳීමෙන් ජර්මනියට ද සංක්‍රමණය විය. ඉතාලියේ තරම් මෙම වෛරසය ජර්මනිය තුළ ව්‍යාප්ත නොවීමට හේතු වී ඇත්තේ බොහෝ අය මේ පිළිබඳව දැනුවත්වීමත් යම් යම් ආරක්ෂක වැඩපිළිවෙළ ජර්මනිය තුළ දියත්වීමත් නිසාය.
මේ අතර ඔස්ටි්රයාව, ස්විට්සර්ලන්තය හා ප්‍රංශයේ සිට ජර්මනියට ළඟාවිය හැකි දේශසීමා වසා දමා ඇත්තේ එම රටවල වැසියන් ජර්මනියට සංක්‍රමණය වීමක් වැළැක්වීමක් පිණිස නොව එම දේශසීමාවල සිට ජර්මනියේ බඩු මිල ලාභදායී නිසා එහි වැසියන් බඩු මිලදී ගැනීම සඳහා ජර්මනියේ සුපර් මාර්කට්වලට පැමිණීම වැළැක්වීම පිණිසත්ය. මන්ද එතුළින් ද මෙම වෛරස් රෝගය ජර්මනිය තුළ ව්‍යාප්තවීම ශීඝ්‍රයෙන් සිදුවිය හැකි නිසාය.
විශේෂයෙන්ම ජර්මනියේ වාර්ෂිකව පැවැත්වෙන (ITB) හෙවත් ජාත්‍යන්තර සංචාරක මණ්ඩල මහා ප්‍රදර්ශනය මෙවර අවලංගු කෙරිණි. මේ සඳහා රටවල් 165 කට වැඩි ප්‍රමාණයක් සිය සංචාරක කටයුතු ව්‍යාප්ත කිරීම පිණිස මෙම ප්‍රදර්ශනයට සහභාගි වෙති. මාර්තු මස මුල් සතියේ බර්ලින් නුවර පැවැත්වීමට තිබුණ මෙම විශාල ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 10,000 ක් පමණ සහ 1,60000 ක පිරිසකගේ සහභාගිත්වයක් සිදුවීමට නියමිතව තිබුණි. මෙම ව්‍යාපෘතිය නැවැත්වීම නිසා ජර්මනියට යූරෝ මිලියාඩර් හෙවත් යූරෝ මිලියන දසලක්ෂ දහස් ගණනක පාඩුවක් සිදු වූ බව රජය ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමෙන් රට තුළට පැමිණීමට තිබුණ වෛරසය ලොව පුරා රටවල් 165 කට ව්‍යාප්ත කිරීමත් ඒ තුළින් රට තුළට සංක්‍රමණය වීමට තිබුණ අවස්ථාවලිනුත් එම වෛරසය ව්‍යාප්තවීමේ වේගය බාල කරගැනීමටත් ජර්මනිය සමත්විය.
මේ වනවිට ඉතාලිය තුළ මෙම වෛරසය ආසාදනයවීම හේතුකොටගෙන දහසකට අධික පිරිසක් මියගොස් ඇති බව පසුගිය ඉරුදින සවස ජර්මන් රූපවාහිනිය වාර්තා කළේය. ඒ අනුව චීනයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ ඉතාලියෙනි. ජර්මනිය තුළ මෙම වෛරසය ආසාදනය වූවන් 5800 ක් ඉක්මවා ඇති අතර ඉන් 12 දෙනකු මියගොස් ඇති අතර ආසාදිතයන් 283 දෙනකු බර්ලින් නුවර වැසියන් වෙති.
මේ අතර ජර්මනියේ විශාලතම ගුවන් සමාගම වන ලූෆ්තන්සා සමාගමේ ගුවන්යානා 634 ක් මඟින් ලොව වටා ගමන් වාර හත්දහසකට වඩා අවලංගු කර දමා තිබෙණුයේ ද මෙම මාරක වෛරසය රට තුළ සහ ලොව තුළ ව්‍යාප්තවීම වැළැක්වීමටය. දකුණු ජර්මනියේ සහ බටහිර ජර්මනියේ මෙම වෛරස් ආසාදිත වූවන් වැඩි ප්‍රමාණයක් වෙති. එසේ වුව ද ඒ ඒ පළාත් සභාවලට පාසල් හා සියලූ ආයතන පවත්වාගෙන යෑම හෝ වසා දැමීමේ බලය පැවරී ඇත. බර්ලින් නුවර සියලූ ළදරු පාසල්, පාසල්, රැුකියා පුහුණු කිරීමේ පාසල්, විශ්වවිද්‍යාල, සමාජශාලා, සිනමාශාලා, 175 ක් පමණ වන කෞතුකාගාර, පිහිනුම් තටාක, ෆිට්නස් ආයතන හෙවත් ශරීර යෝග්යතායතන, මත්පැන් ශාලා, කැසිනෝ ආයතන ආදී සියල්ලක්ම වසා දමා ඇති අතර නිතිපතා පැවැත්වෙන නාට්‍ය සංදර්ශන, සංගීත නෘත්‍යශාලා, ඔපෙරාගාර, පාපන්දු ක්‍රීඩා, සර්කස් සංදර්ශන ආදිය සියල්ලක්ම ද අවලංගු කර ඇත.
එසේම සියලූ රෝහල්වල රෝගීන් බැලීමට යෑම තහනම් කර ඇති අතර වයස 16 ට අඩු ළමයින්ව බැලීමට යෑම එක් අයකුට පමණක් සහ පැයක පමණ කාලයකට සීමාකර ඇත. එසේම වැඩිහිටි නිවාසයක සිටින අයකු බැලීමට යෑමේදී ද එක් අයකුට සහ පැයක කාලසීමාවට වෙන්කර ඇත්තේ මෙම වෛරස් තත්ත්වය තවදුරටත් ආසාදනයවීම අවම කර ගැනීමටය. ජර්මනියේ මගී ප්‍රවාහනය කරන බස්රථ තුළ දොරවල් තුනක් ඇති අතර ඉදිරිපස පළමු දොරටුවෙන් ඇතුළුවීමත් මැද දොරටුවෙන් හා අවසන් දොරටුවෙන් පිටවීමත් සිදු කෙරේ. මෙම වෛරස් ගැටලූව මුල්කරගෙන ඉදිරිපස දොරටුව මගීන් සඳහා විවෘත කිරීම රියැදුරු මහතා හෝ මහත්මිය විසින් මෙම වෛරස් ආසාදනයත් සමග සිදු නොකෙරෙනුයේ ද ඔහුගේ ආරක්ෂාවටය. මෙකී වෛරස් තත්ත්වය යහපත් වනතුරු ඒ සඳහා පියවරගෙන ඇති අතර ජනතාව සිය නිවසින් පිටව යෑම වැළැක්වීමට දැනට විනාඩි 5 ට වතාවක් දිවෙන බස් රථ ධාවනය පැය භාගයකට වතාවක් ලෙස ධාවනය කරවීමට ද බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. කෙසේ වුව ද මිලියන 4.5 ක ජනගහනයක් සිටින බර්ලින් නගරය පාළු ස්වරූපයක් උසුලන අතර දුම්රිය, බස්රියවල හරි අඩකටත් වඩා මගී ප්‍රමාණයකින් අඩු වී ඇති අතර 50 දෙනකුට වඩා එක් ස්ථානයකට ඒකරාශී නොවන ලෙස ද රජය මහජනතාවට දැනුම් දී ඇත.
අද වනවිට ජර්මනියට අවශ්‍ය කෙරෙන ආසියාතික ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, සෞඛ්‍ය ආරක්ෂක නිෂ්පාදනයන් ද ජර්මන් ජාතික සමාගම් වෙතින් චීනය තුළ නිෂ්පාදනයකොට ජර්මනියට ආනයනය කෙරේ. මෙම වෛරස් ගැටලූව නිසා එකී නිෂ්පාදනයන් ජර්මනිය තුළම නැවත නිෂ්පාදනය කිරීම කෙරෙහි මේ වනවිට ජර්මන් රජයේ අවධානය යොමු වී ඇත්තේ ද මෙබඳු ව්‍යසනයකදී රට තුළ නිෂ්පාදන හිඟයක් ඇති නොවීම පිණිසය. අද වනවිට ජර්මනිය තුළ නිෂ්පාදනය කරන මුඛාවරණ පිටරටවලට විකිණීම ද තහනම්කොට ඇත. මේ හැරුණු විට මෙම වෛරස් තත්ත්වය රට තුළ මර්දනය කළ හැක්කේ විශේෂයෙන්ම තම තමන්ම ආරක්ෂාවීමෙන් බව නිලධාරීහු පෙන්වා දෙති. එකවර විශාල ප්‍රමාණයක් මෙම වෛරස් ආසාදනයට ලක්වීමෙන් ඇඳන්, කෘත්‍රිම ස්වසන පද්ධතීන්, බෙහෙත්, වෛද්‍ය හිඟය, සාත්තු සේවක හිඟය ආදිය නිසා ද ගැටලූ පැන නඟින නිසා සිය සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සැලකිලිමත් වන ලෙස මහජනතාව දැනුවත් කරයි.
වෛරස් යනු පියවි ඇසට නොපෙනෙන බැක්ටීරියා බඳු ජීව කොට්ඨාසයකි. නමුත් වෙනත් බැක්ටීරියා නාශකවලින් මෙන් මෙම කොරෝනා වෛරසය විනාශ නොවීමත් මේ දක්වා මෙම වෛරසය ව්‍යාප්තවීමේ වේගය මර්දනය කිරීමට සමත්විය හැකි වුවත් විනාශ කරගැනීමට සමත් ක්‍රමයක් සොයාගෙන නොමැතිවීමත් තත්ත්වය බරපතළවීමට හේතු වී ඇත. මෙම වෛරසය සංසරණය වනුයේ ද මිනිස් ශරීර තුළින්ම මිස වාතය මඟින් නොවේ. මෙම වෛරසය ලෝහමය දෙයක තැවරුණ විට පැය 12 ක කාලයක් ද ඇඳුමක තැවරුණ විට පැය 9 ක කාලයක් ද ශරීරයක තැවරුණ විට විනාඩි 10 ක පමණ කාලයක් ද පවතින අතර එම කාලයෙන් පසුව එම වෛරසය විනාශයට හෙවත් මරණයට පත්වේ. අතක තැවරුණ මෙම වෛරසය අත මුහුණ වෙත තමන් නොදැනුවත්ම ගෙන යෑමෙන් මුඛයෙන් සහ නාසයෙන් මෙකී මාරක වෛරසය ශරීරගත වේ. එම නිසා අත් සබන් දමා මැනවින් සෝදා ගැනීමෙන් සියතින් වෛරසය මුඛය වෙත යෑමක් සිදු නොවේ. ජර්මනියේ දෑත් පිරිසිදු කරගැනීමට උගන්වනුයේ ළදරු පාසලේ සිටමය. එම නිසා මෙහි සෑම ළදරු පාසලකම දරුවන් සඳහා ඔවුනගේ උසට සරිලන ලෙසට ළදරු පාසල තුළම වතුර බේසම් සවිකර ඇත. එසේම මෑතක සිට කොරෝනා වෛරසය පැමිණීමට පෙර සිටම සුපර්මාකට්වල ඉන් පිටව යෑමට පෙර අත් සෝදාගැනීමට වතුර බේසමක්, සබන් සහ අත පිසදාගැනීමට කඩදාසි තබා තිබේ. කොරෝනා වෛරසයේ භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය කෙනකුගේ ශරීරයට ඇතුළුවීමෙන් ඔහුගේ ප්‍රතිශක්තිකරණය බලවත් නම් ඔහු කිසිත් ප්‍රතික්‍රියාවක් නොදැක්වීමය. එසේ වුව ද ඔහු තුළින් එම වෛරසය තව කෙනෙකුට ආසාදනය වීම තුළින් මෙහි ව්‍යාප්තිය තවදුරටත් සිදුවේ.
මෙම වෛරසය ශරීරගතවීමෙන් දින 14 ට පසුව රෝග ලක්ෂණ මතුවේ. උගුරේ වේදනාව, වියළි කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ මතු කරයි. එම වෛරසය පෙණහළුවලට ආසාදනයවීම හේතු කොටගෙන නිව්මෝනියා තත්ත්වයක් ඇති වී මරණයට පත්වේ. වයස අවුරුදු හැටේ සිට ඉහළ වයස්ගත වූවන්ට සහ ඇදුම, පීනස, සෙම් රෝග, සීනි, වකුගඩු වැනි රෝගවලින් පෙළෙන්නන්ට සහ කුඩා දරුවන් මෙම ආසාදන තත්ත්වයට පත්වීමට ඇති ඉඩකඩත් එතුළින් මරණයට පත්වීමේ අවදානමත් වැඩිපුර පවතින බව මාධ්‍ය පවසයි.
තායිවානයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නම් එය තමන්ටම සොයා ගැනීමට ක්‍රමයක් සොයාගෙන ඇත. එය නම් පිරිසිදු වාතාශ්‍රය තිබෙන තැනකදී දිගු හුස්මක් ගෙන තත්පර 10 ක කාලයක් කිසිම බාධාවකින් තොරව රඳවාගත හැකි නම් ඔහුට එම වෛරසය ආසාදනය වී නොමැති බවය. එහිදී කැස්සක් ඇතිවේ නම් ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බැවින් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීමත්ය.
මෙබඳු වෛරස් රෝග ඇතිවීම බෝවීම හෙවත් ව්‍යාප්තවීම මීට වසර දෙදහස් හයසීයකට පෙර බුද්ධ කාලයේ පවා පැවති බව එදා විශාලාමහනුවර ඇති වූ රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය යන තුන් බිය ඇති වූ බවත් ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ආනන්ද හිමි ප්‍රධානව මහරහතන් වහන්සේලා දහසක් නමක් ලිච්ඡුවී රජදරුවන් විසින් රජගහනුවර බිම්බිසාර රජතුමාගේ ද අනුග්‍රහය ඇතිව වේළුවනාරාමයේ සිට විශාලා නුවරට නැව් දෙකකින් වඩමවාගැනීමෙන් බුදුරජාණන්වහන්සේ විසින් රුවන් සුතුර හෙවත් රතන සූත්‍රය ආනන්ද හිමියන්ට උගන්වා මුං පැහැති ශෛලමය පාත්රයකට පැන් පුරවා පිරිත්කොට නගරය පුරා ඉසීමෙන් පොකුරු වැසි වස්සවා තුන්බිය තුරන් කළ පුවත බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. (සද්ධර්ම රත්නාවලිය – ගංගාරෝහණ වර්ණනාව)
මෙම කොරෝනා වෛරස් රෝගය චීන ජාතිකයන් විසින් සර්ප මාංශ ආහාරයට ගැනීමෙන් වැළඳුණු බවට ද අදහස් කෙරේ. එසේම කිරි වවුල්ලූ වැනි සතුන්ගෙන් මෙකී වෛරසය ඇතිවීමට හේතු වූ බව පැවසේ. ඒ කෙසේ වුව ද සර්පයන් හා වවුලන් ගුහාවල, ලෙන්වල ද ජීවත්වෙති. එබඳු ස්ථානවලට සර්පයන් යන්නේ වවුලන් ගොදුරු කරගෙන ආහාරයට ගැනීමටය. මිනිසුන් විසින් කැලේ සහ ගුහාවල්වල සැරිසරන සර්පයන් ගෙනැවිත් මරා මස්කර ආහාරයට ගැනීමෙන් වවුලන් තුළ තිබූ වෛරස් සර්පයන් තුළට ද සර්පයන් තුළ තිබූ වෛරස් මිනිස් ශරීරයට ද ඇතුළත්වීමෙන් මෙම ‘කොරෝනා වෛරසය’ මිනිස් ශරීරගතවීමෙන් දහස් ගණනක් අකාලයේ මියදෙන්නට විය.
මෙබඳු ව්‍යසනයන් නූතන වෛද්‍ය පරීක්ෂණයන්වලට අද වනවිටත් හසු නොවුණ ද එදා බුදුරජාණන්වහන්සේගේ බුද්ධඥානයට හසුවීමෙන් විශේෂයෙන්ම මස් වර්ග දහයක් අනුභව කිරීම තහනම් කළ බව විනය පිටකයේ මහාවග්ග පාලියේ භේසජ්ජ ඛන්ධයෙහි දැක්වේ. 1. මිනී මස් (මනුස්ස මාංශ), 2. අලි මස් (හස්ථි මාංශ), 3. අශ්ව මස් (අස්ස මාංශ), 4. සිංහ මස්, (සීහ මාංශ), 5. කොටි මස් (ව්යාඝ්ර මාංශ), 6. දිවි මස් (දීපි මාංශ), 7. බලූ මස් (සුනඛ මාංශ), 8. සර්ප මස්
(අහි මාංශ), 9. වලස් මස් (අච්ඡු මාංශ), 10. වෘක මස් (තරච්ඡු මාංශ). මෙම මස් වර්ග දහයෙන් අටක්වත් අදටත් චීනය, ජපානය, කොරියාව වැනි රටවල මිනිසුන් විසින් ආහාරයට ගන්නා බව ලොවම දනිති. මීට අමතරව තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය වැනි රටවල කැරපොත්තන්, හූනන්, කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන් හා කෘමීන් ආහාරයට ගන්නා බව ද නොරහසකි. බුදුරජාණන්වහන්සේගේ දර්ශනය සමාජය තුළ ගොඩනඟා ඇත්තේ පන්සිල් සමාදන් කර වූ සමාජයක් තුළය. එහි පළමු ශික්ෂා පදය සත්ත්ව ඝාතනය හෙවත් පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් කරවූයේ මෙබඳු ව්‍යසනයන්ගෙන් මිනිසා ඇතුළු සියලූ සත්ත්වයන්ගේ ආරක්ෂාව පිණිසමය.
වෛරස් ආසාදන සහ බැක්ටීරියා මර්දනයක් ලෙස ඉංග්‍රීසි බසින් (Asafoetida) ඇසෆොයිටයිඩා ජර්මන් භාෂාවෙන් (Assafoetida) අසෆොටීඩා ලෙස ද දෙමළ බසින් පෙරුම්ගායම් ලෙසින් ද සිංහල බසින් පෙරුම්කායම් ලෙස ද හඳුන්වනු ලබන ආයුර්වේද බෙහෙතක් වන පෙරුම්කායම් පෙරදිග වැසියන් හඳුන්වා ඇත්තේ (Food of the God) ෆුඞ් ඔෆ් ද ගෝඞ් හෙවත් දෙවියන්ගේ ආහාරය ලෙසිනි. ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් හෝමියෝපති බෙහෙතක් ලෙස ප්‍රතිකාර සඳහා පෙරුම්කායම් යොදාගන්නා අතර ජර්මන් ජාතිකයන් මෙම බෙහෙත අන්වර්ථ නාමයකින් ජර්මන් බසින් හඳුන්වනු ලබන්නේ Teufels Dreck (ටොයිෆල්ස් ඩේරක්) හෙවත් ‘යකාගෙ මලපහ’ ලෙසය. ඒ එහි ඇති දුර්ගන්ධය නිසාය, පෙරුම්කායම් විෂබීජ මර්දනය, වා, පිත්, දිය පීනසය, ඇදුම රෝගය ආදී සෙම් රෝග සඳහා ද මහඟු ඖෂධයකි. ඉරානය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල නිෂ්පාදිත පෙරුම්කායම් රසකාරකයක් ලෙස ද යොදාගනී.
වෛරසයක් යනු ද ජීවියෙකි. බෞද්ධ ඉගැන්වීම අනුව ජීවියකුට විඤ්ඤාණයක් තිබේ. විඤ්ඤාණයකින් තවත් විඤ්ඤාණයකට මුදාහරිනු ලබන ශක්තිය ද එකී විඤ්ඤාණයකට ග්‍රහණය කරගැනීමේ ශක්තියක් පවතී. එම නිසා සියලූ සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී භාවනාව පැතිරීම ද මෙබඳු අවස්ථාවක සියලූ ජීවීන් ව්‍යසනයකට පත් නොවීමට ද එය හේතුවේ.
රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත දේවානන්ද නාහිමි
බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති
දොරණෑගොඩ සදානන්ද පිරිවෙන් රජමහා විහාරාධිපති
ජර්මනියේ සමථබල සම්පන්න ප්‍රධාන සංඝනායක – ජර්මනිය
උපුටා ගැනීම – දිවයින පුවත්පත
