ලසතෝ රාජ්‍යයෙහි අගමැති තෝමස් තැබේන් ට එරෙහිව රට පුරා නැගෙන විරෝධතා පාලනය කිරීම සඳහා එරට යුද හමුදාව කැඳවා තිබේ.
තමාගේ පෙර බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් අගමැතිවරයාට හා ඔහුගේ වර්තමාන බිරිඳට එරෙහිව චෝදනා ඉදිරිපත්ව තිබෙන අතර ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම විරෝධතා පැවැත්වේ.
අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවෙන් එල්ලවූ විරෝධතා හමුවේ
අගමැතිවරයා පාර්ලිමේන්තුව අත්හිටවූ අතර එම අත්හිටුවීම නීතිවිරෝධී බවට එරට ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දු කරන ලදී.
අගමැතිවරයාගේ පෙර බිරිඳ වූ ලිපොලෙලෝ තැබේන් ගෙන් දික්කසාදවීම සඳහා ඔහු දික්කසාද නඩුවක් පවරා තිබු අතර නඩු විභාගය අතරතුර 2017 දී ඇය වෙඩිතබා ඝාතනය කරන ලදී. එම ඝාතන සිද්ධිය එරට ජනතාව සසල කල සිදුවීමක් විය.
ඒ වන විට අගමැතිවරයා දැනට ඔහුගේ බිරිද වන මෙසෙයියා සමග දිවිගෙවමින් සිටි අතර ඝාතනයෙන් දෙමසකට පසු අගමැතිවරයා සහ මෙසෙයියා අතර විවාහය සිදු විය. දිගින් දිගටම ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ
අගමැතිවරයාගේ වර්තමාන බිරිඳ මෙසෙයියා මෙම ඝාතනයට ඍජුවම සම්බන්ධ බවයි.
ඒ අනුව ඇයට එරෙහිව නඩු පැවරුණු අතර මේ වන විට ඇය සිටින්නේ ඇප ලබාය. මේ වන විට අගමැතිවරයාද අදාල ඝාතනයට සම්බන්ධ බවට හෙළිවී ඇත. එහෙත් ඔහුට රාජ්‍ය නායකයා ලෙස ලැබී ඇති මුක්තිය අනුව ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බව ඔහුගේ නීතීඥවරු පවසා තිබේ.ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී එරට ව්‍යවස්ථා අධිකරණය තීන්දුවක් ගැනීමට නියමිතය.ලෙසතෝ අගමැතිවරයා 80 හැවිරිදි වියෙහි පසුවන අතර ඔහු කලින් ප්‍රකාශ කර තිබුනේ ලබන ජුලි මාසයේදී තනතුරින් ඉවත්වන බවය. ඒ වහාම අගමැති ධුරයෙන් ඉවත්වන ලෙසට ඔහුගේ පක්ෂයෙන් පැමිණි බලපෑම හමුවේය.
ජනිත සෙනෙවිරත්න
