මාරාන්තික විෂ සහිත රසදිය අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන මෙරට වෙළෙඳපොළේ බහුලව දක්නට ලැබේ. 2015 ජූලි මස 01 වන දින තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති සුවඳවිලවුන්, රූපලාවණ්‍ය උපකරණ ඖෂධ නියාමන අධිකාරිය විසින් නියාමනය කරනු ලැබුවේය.
නමුත් මෙම අධිකාරිය 2015 ජූලි මස 01දා සිට අහෝසි කිරීමත් සමග රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා පැවැති අතවශ්‍ය නියාමනයන්/ නීති රෙගුලාසි ඉවත් කරන ලද අතර මේ නිසාම රූපලාවණ්‍ය නියාමනය නොකරන ලොව එකම රට බවට ශ්‍රී ලංකාව පත්විය.
එතැන් පටන් අප රටට විවිධාකාර නම් (වෙළෙඳ සන්නාම) වලින් යුත් සිය ගණනක් රූපලාවණ්‍ය නිෂ්පාදන, කිසිදු වග විභාගයකින් තොරව ගලා එන්නට පටන් ගැණිනි.
මේවායින් බොහොමයක් ඉතා කෙටි කලකින් සමේ සුදු පැහැ ස්වභාවයක් ඇති කරන නමුත්, එම අතාත්වික සුදුපැහැ ඇතිවන්නේ මාරාන්තික විෂ සහිත බැරලෝහයක් වන රසදිය ආදී තහනම් කරන ලද රසායන ද්‍රව්‍ය අඩංගු වීම හේතුවෙන් බව ජාතික පිළිකා රෝහලේ නාරිවේදී හා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර පෙන්වා දෙයි.
මේ හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රූපලාවණ්‍ය ආලේපන හා දියර වර්ග සම්බන්ධයෙන් ඊයේ (19දා) දින දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී විධාන අංක 55 සහ 66 කඩ කරමින් ආනයනකරුගේ විස්තර සඳහන් නොකිරීම, ලේබලයේ අඩංගු විය යුතු කරුණු සඳහන් නොකිරීම යනාදී වැරදි සම්බන්ධයෙන් අදාළ ආයතනවලට හා පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළේය.
ඒ අනුව ඊයේ දිනයේදී දිවයින පුරා වැටලීම් 88ක් සිදුකළ අතර එහිදී මිනිස් ශරීරයට අහිතකර ඊයම් සහ වෙනත් අහිතකර ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් අධිකාරිය භාරයට ගනු ලැබීය. එම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බව එම අධිකාරිය සඳහන් කළේය.
මෙම වැටලීමට සමගාමීව එවැනි ආයතන සොයා කොළඹ පිටකොටුව ප්‍රදේශය ඊයේ (19 වැනිදා) වැටලීම් සිදුකළේය. එම වැටලීම සිදුකළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ෙජනරාල් (විශ්‍රාමික) ඩී.එම්.එස්. දිසානායක ඇතුළු කණ්ඩායමක් විසිනි.
එහිදී පිටකොටුවේ දෙවන හරස් වීදියේ පොළව යට ඉදිකර තිබූ වෙළෙඳසල් පෙළක් වෙත විශේෂ අවධානය යොමු විය. එම වෙළෙඳසල් වටලා සිදුකළ පරීක්ෂණයේදී භාවිතයට නුසුදුසු ආලේපන රැසක් සොයා ගැනීමට හැකිවිය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව රූපලාවණ්‍ය නිෂ්පාදනවල තිබිය යුතු උපරිම රසදිය ප්‍රමාණය (නිෂ්පාදන කිලෝග්‍රෑමයකට තිබිය යුත්තේ රසදිය මිලිග්‍රෑම් එකක්) ඒ අනුව ඊයේ (19 වැනිදා) දිනයේදී සිදුකළ වැටලීමේදී නිෂ්පාදනයේ රසදිය සංයුතිය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් පනස්දහසක් අඩංගු නිෂ්පාදන සොයා ගැණිනි.
කෙසේ වෙතත් එම වැටලීම සිදුකරන අවස්ථාවේ මේජර් ෙජනරාල් ඩී.එම්.එස්. දිසානායක සහ වෙළෙඳසල් හිමියන් අතර බහින් බස්වීමක්ද ඇතිවිය. එහිදී සභාපතිවරයා වෙළෙඳසල් හිමියන්ට දැඩි ලෙස කියා සිටියේ දින තුනක් ඇතුළත මෙම නිෂ්පාදන ඉවත්කර ගන්නා ලෙසයි.