Gossip

රටම හොල්ලපු කොකේන් රසායනාගාරය

නෙදර්ලන්තයේදී මෙතෙක් වාර්තා වූ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන රසායනාගාරයක් පොලිසිය විසින් රියැදුරු පාසලක තිබී සොයාගෙන තිබේ. පොලිසිය පසුගිය සිකුරාදා අදාළ ස්ථානය වටලා ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

නෙදර්ලන්ත පොලිස් ප්‍රධානී ඇන්ඩෲ වෑන් රිජන් ප්‍රකාශ කර ඇත්තේ මෙය සිය රටින් හමුවූ විශාලතම කොකේන් නිෂ්පාදනාගාරය වන අතර එහිදී දිනකට කොකේන් කිලෝග්‍රෑම් 150ත් 200ත් අතර ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතින බවයි. එම දෛනික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.5 සිට මිලියන 6 දක්වා වන බවද හෙතෙම සඳහන් කර තිබේ.

මෙම රසායනාගාරය තුළ උපකරණ මෙන්ම රසායනික ද්‍රව්‍ය ලීටර් දස දහස් ගණනක්ද, නිෂ්පාදනයේ ආරම්භක පියවරේ පැවති කොකේන් කිලෝග්‍රෑම් 100ක්ද සොයාගත් බවද පොලිසිය පවසා ඇත. එසේම​ කොකේන් ප්‍රවාහනය සඳහා උපයෝගි කරගත් බව පැවසෙන නිවැරදිව කුමක්දැයි අනාවරණය කර නැති තවත් ‘ද්‍රව්‍ය’ ටොන් 120ක් නෙදර්ලන්තයේ මධ්‍යම නගරය වන ඇපල් ඩෝර්න්හි තිබී සොයාගත් බවද පොලිසිය නිවේදනය කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගෙන් බහුතරයක්ම කොළොම්බියානු ජාතිකයන් බවද අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. එම පිරිස අද (බ්‍රහස්පතින්දා) ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!