මගේ දුව පොඩිකාල් ඉඳලම ඉගෙනීමට වගේම රඟපෑමට නර්තනයට අතිදක්ෂ කෙනෙක්. අපි දෙන්නා එදා ඉඳලම යාළුවෝ වගේ තමයි ජීවත්වුණේ. මේ සිදුවුණු දෙය දුරකථනයෙන් මට දැනුම් දුන්නාම මට හිතාගන්න බැරිවුණා මොකක්ද මේ සිද්ධවුණේ යැයි. වැල්ලවත්ත, පාමංකඩ ප්‍රදේශයේදී 14 වැනි දින කාර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි වීනාවී සුලක්ෂණා මාපිටිගම මහත්මියගේ පියාණන් වන ප්‍රවීණ ටෙලිනාට්‍ය හා සිනමා අධ්යක්ෂවරයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් වන චන්ද්‍රරත්න මාපිටිගම මහතා දැඩි ශෝකයෙන් යුතුව පැවසීය.
අප වීනාවී මාපිටිගම මහත්මිය ජීවත්වූ පිළියන්දල, ගොරකාපිටිය, සමන්පුර පිහිටි නිවසට යනවිටත් චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දෙටු දියණියට සිදුවූ විපත අසා ප්‍රදේශවාසීන් මෙන්ම පවුලේ ඥාති හිතවතුන් නිවසට පැමිණ සිටි අකාරය දැකගන්නට හැකිවිය.
මියගිය වීනාවී සුලක්ෂණා මහත්මියගේ ස්වාමීපුරුෂයාවන ඬේව් ආනන්ද දසනායකද මෙම අනතුරින් බරපතල තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රොහලේ ප්‍රතිකාර ලබන අතර වීනාවී මහත්මියගේ දියණියන් දෙදෙනා සහ පුත්‍රයාවන ඩෙබෝරා ජෝඇනා දසනායක, ජේඩන් ඬේව් දසනායක, ක්රිස්ටබෙල් ජූඞීත් දසනායක යන දරුවන් හා මව වන සුගන්දි මාපිටිගම මහත්මිය දැඩි කම්පනයකින් යුතුව සිදුවූ දෙය අදහාගැනීමටවත් නොහැකිව සිටින ආකාරය ද අපට දැකගතහැකිවිය.
වීනාවී මහත්මිය පිළිබඳ විස්තර කළ එතුමියගේ පියාණන් වන චන්ද්‍රරත්න මාපිටිගම මහතා වැඩිදුරටත් පැවසුවේ මගේ දුව රැකියාව විදියට කළේ කුවේට් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් හැටියටයි. එයා 2004 වර්ෂයේදී තමයි ඬේව් සමඟ විවාහ වුණේ. ඔහුත් එම ගුවන් සමාගමේ ම වැඩකරන්නේ. අපේ පවුලේ මමයි ,බිරිඳයි, දරුවන් හතර දෙනයි, බොහෝම සමගියෙන් යාළු මිත්රයින් වගේ හිටියේ. මේ අනතුරෙන් මියගියේ මගේ දෙවැනි දියණියයි. මගේ ලොකු පුතා අන්ත්රී සරෝද් මාපිටිගම, දෙවැනියා තමයි වීනාවී දුව, තුන්වැනියා නොරිකො ගයා තරංගි දුව, බාලම පුතා කවීෂ් එශාන් මේ දරුවෝ සහොදරයෝ විදියට බොහෝම ආගමානුකූලව සමාජයට යහපත් පුරවැසියන් ලෙස ජීවත්වුණා.
මගේ වීනාවී දුව මම නිෂ්පාදනය කරපු හා අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍ය රැසක මෙන්ම සිනමා චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. එයාගෙත් මගෙත් පළමු ටෙලිනාට්‍ය තමයි ඉරට හඬන මල් නාට්‍යය. ඒ නාට්‍යයේ ලොකු දුවගේ චරිතයට පණ පෙව්වේ වීනාවී දුව. ඉසුරු සොයා, පවිත්‍රා, දෙවැනි ගුරුවරිය, කෝකිල විලාපය වැනි ටෙලිනාට්‍යවලත් දුව රඟපාලා තියෙනවා. සිනමාවේ සුරබිදෙන චිත්‍රපටියෙත් රඟපෑමෙන් දායකවුණ. වීනාවී දුව කුඩාකාලයේ පටන්ම නර්තනයට රංගනයට විශේෂ දස්කම්පෑවා. ඒ නිසා ගොඩක් චිත්‍රපට හා ටෙලිනාට්‍යවල රඟපෑමට අවස්ථාව හිමිවුණා. වීනාවීගේ සැමීයා කුවෙට් ඉඳන් පෙබරවාරිවල ලංකාවට අවා නිවාඩුවට. එයාට නැවත රැකියාවට යන්න තිබුණේ මාර්තු මාසයේ. පහුගිය කාලයේ ඇතිවූ කොරෝනා තත්ත්වය මත ගුවන්තොටුපළවල් වහල දැම්ම නිසා යන්න බැරිවුණා. 14 වැනිදා උදේ මගේ ලොකුපුතාගේ බිරිඳ කිව්වා වීනාවී දුවගේ වැඩිමල් දියණියට අමතර උපකාරක පන්තියක් කරන්න එන්න කියලා. වැඩිමල් පුතාගේ බිරිඳ ගුරුවරියක්. එදා උදේම අන්ත්රී මගේ ලොකු පුතා අපේ ගොරකාපිටියේ ගෙදරට ඇවිත් වීනාවී දුවගේ ලොකු දුවයි අනෙක් දරුවෝ දෙන්නයි පාමංකඩ ඊශ්වරි පාරේ පිහිටි එයාගේ ගෙදරට එක්කගෙන ගියා. සවස දෙකට විතර වීනාවී දුව දුරකථනයෙන් කතා කරලා කිව්වා අයියේ අපි පහට විතර ළමයින්ව ගන්න එන්නම් කියලා. ඊට පස්සේ මගේ බෑණයි වීනාවී දුවයි නාවින්නේ පිහිටි මාර්ගය සහ සහෝදරත්වය කි්රස්තියානි දේවස්ථානයේ පැවැති දේව මෙහෙයට යන්න ගෙදරින් 2.00ට විතර පිටත් වුණා. පූජාව 3.30ට තමයි පටන් ගන්නේ. පූජාව ඉවර වෙලා ළමයින්ව ගන්න යන අතරතුර තමයි මේ රිය අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මට බෑණා දුරකථනයෙන් කතා කරලා කිව්වා ඇක්සිඩන්ට් එකක් වුණා තාත්තා කලූබෝවිල ඉස්පිරිතාලයට එන්න කියලා. මම බිරිඳට ගෙදර ඉන්න කියලා රෝහලට ගියා. ඒ යනකොටත් මගේ අනෙක් පුතායි, දුවයි තව කට්ටියයි රෝහල ගාවට ඇවිත් හිටියා. මම රෝහල ඇතුළට
ගිහිල්ලා දුවව දාලා තිබුණු ට්‍රෝලිය ළඟට ගියා. එතකොටත් එයා මියගිහින් කියලා මට වෛද්‍යවරුන් පැවසුවා. මට දරාගන්න බැරි දුකක් කම්පනයක් හිතට අවා. අපිට මේ මොකක්ද වුණේ කියලා.
දොස්තර මහත්තයා ඒ වෙලාවෙ මාව සනසවමින් කිව්වා මේ රිය අනතුරෙන් වීනාවීගේ බෙල්ල ප්‍රදේශයට දැඩිසේ හානි වී ඇති බව. තාත්තෙක්ට උහුලන්න බැරි වේදනාවක් තමයි මට දැනුනේ යැයි ඉතාම දුක්මුසුව මාපිටිගම මහතා පැවසීය.
වීනාවී දුව ගුවන් සේවිකා රස්සාවෙන් අයින් වෙලා ලංකාවට ඇවිත් දරුවන්ව හොඳින්ම බලාගෙන ඒ අයට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. මගෙත් බිරිඳගෙත් සුවදුක් හොයල බලලා අසනීපවලට බෙහෙත් පවා අරන්දුන්නේ මගේ දුව. අද එයා අපිව දලා ගියා. දරාගන්න හරිම අමාරු තත්ත්වයක් මේක, යැයි මාපිටිගම මහතා නැවතත් අපට ප්‍රකාශ කළේය.
වීනාවී සුලක්ෂණා මාපිටිගම මහත්මියගේ මෑණියන් වන සුගන්දි මාපිටිගම (65* මහත්මිය අප සමඟ පැවසුවේ, මට කීකරු දරුවෝ ටිකක් තමයි ඉන්නේ එයාලාගෙන් මටත් මගේ මහත්තයාටයි වැඩියෙන්ම ආදරේ වීනාවී දුව තමයි. එයා පොඩිකාලයේ ඉඳන්ම බොහා්ම අහිංසක දරුවෙක්. ඉගෙනුමටත් ගොඩක් දක්ෂයි. නුගේගොඩ සුජාතා විද්‍යාලයේ තමයි දුව ඉගෙනගත්තේ. දෙවස්ථානයට එන හැමෝගෙම හිත දිනාගන්න දුව සමත්වුණා. දෙවස්ථානයේ ෆාස්ටර්තුමාගේ ඉඳන් අනෙක් හැමෝම දුවට හරිම ආදරෙයි. දුව හැමදා ම දුප්පත් අසරණ මිනිස්සුන්ට ගොඩක් උදව්කළා. සල්ලි තිබුණේ නැත්නම් ණයක් වෙලා හරි උදව් කරනවා. අද දුවගේ අභාවය දැනගෙන උදව් ගත්තු අය විශාල පිරිසක් මේ ස්ථානයට ඇවිත් දුක්වුණා. එයා අන්තිම දවසේ ඉරිදා පල්ලියට යනකොට වෙනදාට වඩා ලස්සනට ඇඳුමක් ඇඳලා ගියේ ඊට කලින් දවසක ඇඳපු ඇඳුමක් සෝදලා හොඳට නවලා තියලා. මට කිව්වා මේක අරන් තියන්න කියලා. මට හරිම අමුත්තක් දැනුණා. මේ මොකද කියලත් හිතුණා. මට කිව්වා ගේට්ටුව වහගෙන ගෙදරට වෙලා ඉන්න කියලා. එහෙම කියලා ගිය මගේ දරුවා ගෙදර අවේ නෑ. අපි දැන් තනිවුණා යැයි හැඬූ කඳුළින් ඇය ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම – දිවයින පුවත්පත
