චූටි පුතා එක්ක ගෙවන ජීවිතය කොහොමද?
අනේ හරිම සුන්දරයි. විවේකයක් නම් නැති තරම්. දැන් පුතාට අවුරුදු 1යි මාස තුනයි. හරිම හුරතල් වයසක ඉන්නේ.
දරුවා ලැබුණාට පස්සේ ටිකක් මහත් වුණා නේද?
ටිකක් නෙමෙයි ගොඩක් මහත් වුණා. පුතා ලැබෙනකොට මගේ බර කිලෝ අනූවක්. ජීවිත කාලයේ කවදාවත් එපරිද්දෙන් ඇඟ මහත්වෙලා තිබුණේ නෑ. උපරිමයෙන්ම ඇගේ බර තිබුණේ කිලෝ 50-55. දැන් නං ටික ටික ඇඟ අඩු කරගන්න උත්සාහ කරනවා. පුතාට අවුරුද්දක් සම්පූර්ණ වෙනකම්ම ඩයට් ප්ලෑන් එකක් ගැන මම හිතුවේම නැහැ.
ඇඟ අඩු කරගන්න මොනවාද කළේ.
ම්…. මම ගොඩක් වතුර බොනවා.කෑම පාලනය කරන්න හොඳම විසඳුම වතුර වැඩිපුර බොන එක.උදේ අවදි වෙච්ච ගමන්ම ලොකු වතුර වීදුරුවක් බොනවා. ඊට පැයකට පස්සෙයි තේ එක බොන්න පුරුදු වෙලා තියෙන්නේ. උදෑසන කෑමට පෙර වගේම දවල්, රාත්‍රී කෑමට පැයකට පෙරත් වතුර වීදුරුවක් බොන එක මගේ පුරුද්දක්. උදේ කෑමට බත් කනවා. දවල්ට, රාත්‍රියට කෑම ගන්නේ හරිම අඩුවෙන්. දවසට වතුර වීදුරු 7 – 8ක් බොනවා. බොහෝ වෙලාවට රෑට ගන්නේ එළවළු සලාදයක්, කුරක්කන් රොටියක්, කුරක්කන් පිට්ටු වැනි සුළු දෙයක්. සුප්, පලතුරු යුෂ වැනි දේවලූත් බඩගිනි වෙලාවට කන්න පුරුදු වෙලා ඉන්නවා.ම්…. තව ඩයට් කරන දවස්වලට පලතුරු විතරක්ම තුන්වේලටම කන්නත් පුරුදුවෙලා ඉන්නවා. එවැනි දිනවලට එක් වේලකට පලතුරු වර්ග පහක් විතර කනවා. ඩයට් කරන දවසට කෙසෙල් ආහාරයට ගන්නේ නැහැ. ගස්ලබු, දොඩම්, අලිගැටපේර, කොමඩු වගේ පලතුරු වැඩිපුර කනවා. ශරීරයේ තැම්පත්වෙලා තියෙන මේදය ඉවත් කෙරෙන නිසා ගස්ලබු වැඩිපුර ආහාරයට මං එකතු කර ගන්නවා.මීට අමතරව ඇගේ හැඩය පවත්වාගන්න දවසකට පැය දෙකක් විතර ව්‍යායාම කරනවා. දැන්නම් නර්තන කටයුතු කෙරෙන්නේ අඩුවෙන්.
සම ලස්සන වෙන්න තව මොනවද කෙරෙන්නේ.
සුමානයට දවසක් මී කිරි හැඳි කිහිපයකට සීනි ටිකකුයි, අයිස් කැටයි දාලා බ්ලෙන්ඞ් කරලා බොනවා. මේ පානය හමට ගොඩක් හිතකරයි. ඒ වගේම ඇඟටත් ගොඩක් හොඳයි. වර්ෂා දිනවලදී නම් මෙය පානය කරන්නෑ.
ගෙදරදීම හම ලස්සන කර ගන්න පාවිච්චි කරන දෙයක් දැන ගන්න ආසයි?
ඉස්සර රූගත කිරීම් අවසන් වෙලා ගෙදර ආපු ගමන්ම මම මේ පැක් එක දානවා.ඉස්සෙල්ලාම කෝමාරිකා කෑල්ලක් අරං මූණ ක්ලේන්ස් කරලා, පිරිසිදු වතුරෙන් හෝදලා, ඊට පස්සේ කහපාට දොඩම් ලෙලි වේලලා කුඩු කරලා, එයට යෝගට් ටිකක්, මී පැණි ටිකක් මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරනවා. මෙම සත්කාරය විනාඩි විස්සක් තියලා හෝදනවා. එයින් මුහුණට දිලිසෙන දීප්තිමත් පෙනුමක් ලැබෙනවා.කහපාට දොඩම් ලෙලි හොඳින් වේලලා කුඩු කරලා පිරිසිදු බෝතලයක තියා ගත්තාම අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්.
හිසකෙස් සඳහා සිදුකරන පෝෂණ සත්කාරයක් ගැනත් දැන ගන්න කැමතියි?
සුමානයකට දවසක් පොල්තෙල් රත්කරලා එයට සුදු ලූනුයි, රතුලූනුයි හීනියට තළලා දාලා, ඒ තෙල් ටිකක් නිවෙනකොට ඔලිව් තෙල් ටිකකුයි විටමින් කරලකුයි දානවා. මෙහෙම සාදාගන්න තෙල් හිසට දාලා හොඳින් සම්බාහනය කරලා, පැය බාගයක් විතර ඉඳලා, හොදින් හෝදලා හරිනවා. මෙම සත්කාරය හිසකෙස් වර්ධනයට වගේම, සිසිලසක් ගෙන දෙන්නත් ඉතාම හොඳ සත්කාරයක්.
විවාහය, දරුවන් ලැබීම කාන්තාවකගේ ලස්සන අඩුවෙන්න බලපානවාද?
ජීවිතයේ විවිධ කඩඉම් පසු කරන්න අපිට සිදුවෙනවා. නමුත් හැමදාම ලස්සනට ඉන්න ඕනේ. මොකද බිරිඳ ලස්සනට ඉන්නවාට ඕනෑම ස්වාමියෙක් කැමතියි. ඒ වගේම මගේ අම්මා හරිම ලස්සනයි කියන්න හැම දරුවෙක්ම කැමතියි.ඒ නිසා ඒ අයගේ ලෝකය ලස්සන කරන්න හැම වෙහෙසක්ම ගන්නවා වගේම, පැය 24න් පුංචි ඉඩක් අපේ ලස්සන ගැනත් හොයා ගන්න අපි උත්සාහ ගත යුතුයි.
ලස්සන කාන්තාවකට ඇත්තටම වැදගත්ද?
ඔව්, අපි මොන ක්ෂේත්‍රයක හිටියත් ලස්සන හරිම වැදගත්. අපි ඉන්න ක්ෂේත්‍රයේ දී ලස්සනට ඉන්න එක ගොඩක් වැදගත්. කොහොම වුණත්, කාන්තාවක් ලස්සනට, ප්‍රියමනාපව සිටීම ඇගේ වටිනාකම වැඩිවෙන්න බලපාන ප්‍රධානම කරුණු දෙකක්.
කාන්තාවක බැලූ බැල්මට ලස්සන කියා දකින්නේ?
උසට සරිලන මහත, ඇගේ හැඩය පවත්වාගෙන යන විදිහ, හමේ පාට, විලාසිතා කරන ආකාරය වගේම පිරිසිදු කමත් ඒකට එකතුව පෙනෙන්නට තියෙන ලස්සන තමයි, අපි බැලූ බැල්මට කෙනෙකුගේ ලස්සන කියා දකින්නේ. ගැහැණියෙකුගේ ලස්සන මතුවෙලා පෙනෙන ප්‍රධානම දෙයක් තමයි පිරිසිදුකම. මගේ ජීවිතයේදී මම පිරිසිදු කමට වගේම පිළිවෙලට මුල් තැන දෙනවා. මොකද මොනතරම් ලස්සන කෙනෙක් වුණත්, කොච්චර මේකප් දැම්මාත් අපි අපිරිසිදුනම් ඒ ලස්සන වැඩක් වෙන්නෑ.
මුහුණේ ලස්සන විතරක් කාන්තාවකට ප්‍රමාණවත්ද?
මුහුණ ලස්සන වෙන්න නම් හදවත අනිවාර්යෙන්ම ලස්සන වෙන්න ඕනේ. අපේ හදවත මුහුණේ පෙන්වනවා. උදාහරණයක් විදියට බලන්න අපි තරහින්, දුකෙන් ඉන්න වේලාවක අපි කොච්චර මේකප් දාලා ලස්සන වෙන්න බැලූවත් ඒක මතුකර ගන්න බෑ.
ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
මම ඓශ්වර්යා රායිට ගොඩක් ආසයි. මම ඇය රඟපාන ෆිල්ම් බලන්න ගොඩක් ආස නිසා ඒ කැමැත්ත ඇති වුණාද කියලා නම් දන්නේ නෑ.
ජීවිතයේ ලස්සනටම හැඩවුණ දවස මතකයේ තිබෙනවාද?
ජීවිතයේ ලොකුම හීනයක් සැබෑ වුණ දවස තමයි මම මගේ ජීවිතයේ ලස්සනටම සැරසුන දවස. ඒ මගේ විවාහ උත්සවය ගත්ත දිනය. මාව හැඩගැන්වූවේ රූපලාවන්‍ය ශිල්පිණී ශාමිණී ඔවිටිගම. එදා මටම පෙනුනා මම ගොඩක් ලස්සනයි කියලා. ඒ වගේම හැමෝම මාව හරි ඉහළින් වර්ණනා කළා. ඒ දවසනම් මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නේ නෑ.
විලාසිතා කිරීමේදී ඔබ සැළකිලිමත්ද?
අම්මෝ ඔව්. මම විලාසිතා කරන්න හරිම කැමතියි. සහභාගි වන තැනත්, ශරීරයේ හැඩය, වයස ගැන වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා විලාසිතා කිරීමේදී.දැන් නම් මම අම්මා කෙනෙක් කියන බවත් අමතක කරන්නේ නෑ.
