දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙල මේ වනවිට නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙමින් තිබෙනවා. මීට ස්වල්ප මොහොතකට පෙර එම තරගාවලියේ මීටර් 400 පිරිමි සහ කාන්තා අවසන් තරග පැවැත්වුනා.
එම ඉසව් දෙකෙහිම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
මීටර් 400 කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව වූ නදීශා රාමනායක අසනීප වී රෝහල් ගත කිරීම හේතුවෙන් තරගයට ඇතුලත් කළ දිල්ශි කුමාරසිංහ තමන් වෙත පැවරූ වගකීම එලෙසම ඉටුකරමින් මවුබිමට රන් පදක්කමක් දිනා දුන්නා.
මීටර් 400 පිරිමි ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාවට හිමි වුනා. අරුණ දර්ශන එම ඉසව්වේ රන් පදක්කම මවුබිමට දිනා දුන් අතර ප්‍රියන්ත ලක්මාල් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.
මේ අතර මීටර් සීය කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කමට ශ්‍රී ලංකාවට දිනා දීමට ලක්ෂිකා සුගන්දි සමත් වුනා.
කාන්තා තුන් පිම්ම ආසියානු ශූරිය වන විදූෂා ලක්ෂානි අසනීප මැදම මවුබිම වෙනුවෙන් පිටියට පිවිසීම ඇගයිය යුතු කරුණක් වූවා. එහිදි ඇය එම ඉසව්වෙන් රිදී පදක්කම මවුබිමට දිනා දුන්නා.
කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ රැඳී සිටින්නේ සිවුවෙනි ස්ථානයේයි. සාග් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11ක් ඩෙංගු වැළදී සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව කියවෙනවා. මළල ක්‍රීඩා කණ්ඩායමට ලබා දුන් නේවාසිකාගාර හා පුහුණු පිටි වල බාල ප්‍රමිති තත්ත්ව මෙලෙසට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසනීප වීමට හේතුව වූ බව කියවෙනවා.
ශ්‍රී ලංකා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වන්නේ අවම පහසුකම් වන අතර ඔවුන් මෙලෙසට පදක්කම් දිනා ගන්නේ එම අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ වීම ඇගයිය යුතු කරුණක්.
තරගාවලියේ පදක්කම් සටහන පහතින්,
