සමහර වෙලාවට සමහරුන්ගේ හිත්වලට එන අදහස් හරි පුදුමයි.
ඒ අදහස් ඇතුලේ ලොකු කතාවක් වගේම හිතන්න ගොඩක් දේ ගැබ්වෙලා තියෙන්නත් පුළුවන්.
ඒ විදිහට ලියැවුණු අපූරු පන්හිදක් අපිට හමුවුණා.
එම සටහන පහතින්..
තුරුලට වෙලා සුන්දර පෙම් බස් කියපු
අත් අල්ලන් රැලි පාගන්නට දුවපු
වරු ගානක් ඔහේ අත් අල්ලන් ඉදපු
මදි විද ආදරේ මම නුඹ හට දීපු
අල්පයි නුඹ පැතු සැප සම්පත් මාගෙන්
රන් රිදි පැතුවෙ නම් නෑ නුඹ කවදාවත්
සුන්දර බසයි තෙපලුවේ හැමදාමත්
පෙනුනේ නුඹෙන් සිත් සනසන ලලනාවක්
ඇවිදින්නට යන හැමදාමත් වාගේ
නෙක නෙක පෙන්වමින් ඕනද ඇසුවානේ
එනමුත් සිනාසී ඔබ මා හට කීවේ
“අපි කමු කඩල” මන් ඒවට ආසයිනේ
ඔබ හා ගමන අපමණ සැනසුම සැදුව
සරළයි පිවිතුරුයි ඔබෙ ජීවන ගමන
අසරණ ඈයො දැක නෙත කදුලින් පිරුන
නුඹ සෙනෙහසේ උල්පතකැයි මට හැගුන
ඇදුමින් පැලදුමෙන් මෙන් හැගුමෙන්ද නුඹේ
නිරතුරු ගෙනාවේ පිවිතුරු හැගුම නගේ
නුඹ හා තනන්නට කූඩුව හනික මගේ
මට ඇයි වරම් නැති වූයේ කදුලු නැගේ
බෝ මළුවේ කොනකට වී බුදුන් වැද
“මේ එන සුලග කෙතරම් නම් සැනසුමද:”
අල්ලා මගේ අත හිනහී අසන ලද
මේ හැටි දුරක් යාවී මා සිතුවෙ නැත
දෑසම බලාගෙන ස්ථිර හඩින් යුතු
හැරදා යන්න ගිහිගෙහි හැම නුඹට සතූ
කහවත දරාගන්නට අවසරය පැතූ
හැටි සිහිවෙන හැමවිට තෙත් වෙනවා නෙතූ
වෙන්වී සසුන වෙත පියමැන්නට පස්සේ
වාවාගන්න බැරිවිය දුක හිත අස්සේ
සති ගණනක් ගෙවා මළ මිනිසෙක් විලසේ
පලවෙනි වරට මම මේ එළියට බැස්සේ
දිගු කෙස් කළඹ මම නිතරම ආස කල
කෝ රන් තෝඩු මම නුඹ හට තෑගි කල
සිල් මෑණියනී ,පෙර දින මා ආලෙ කල
මොනවද අඩුපාඩු මේ මම නුඹට කල
මා හැර ගියත් නුඹ සසරෙන් මිදෙන්නට
මට බැහැ නුඹව මගෙ හුස්මෙන් මුදන්නට
යලි යලි බැදෙමි පෙර මා හා සිටි නුඹට
කම් නෑ සසර කොතරම් දිගු වුනත් මට
Rushi Karunathilake