රාජකාරි කටයුත්තක් සඳහා කල්පිටියට ආ අපි ආපසු ගමනේදී මුහුදු වෙරළට යෑම සඳහා මාම්පුරි ප්‍රදේශයේ අතුරු පාරක් දිගේ ගමන් කරමින් සිටියෙමු. ඒ යන අතර දී විහාරස්ථානයක් දුටු අපි එහි නැවතුණෙමු.
අන්තර් සමුද්ද පිරිවෙන් විහාරය – දළුව
එහි නාම පුවරුවේ විය.
එදා ඉරු දිනයකි. දහම් පාසල පැවැත්වෙන බැවින් අපි දරුවන්ට බාධා නොවන සේ ගමන් කෙළෙමු. විහාර බිමේ තැන් තැන්වල දරු දැරියෝ උගනිති.
විහාරාධිපති හිමියන් හමු වී තොරතුරු දැනගැනීම සඳහා ධර්ම ශාලාව අසලින් යමින් සිටියදී අපේ ඇස් මොහොතකට එක තැන නතර විය.
ධර්ම ශාලාවේ එක් කෙළවරක කුඩා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පන්තියක මදුරු දැලක් යට සුව සේ නිදන සිඟිත්තෙකු නෙත ගැටිණි.
දරු කැළ අප දුටු සැණින් නිහඬ වූහ. දරුවන්ට උගන්වමින් සිටි ගුරුතුමිය අප දෙස සිනාමුසු මුහුණක් පෑවාය.
“මේ මොකද?”
“කාගෙද මේ බබා” මම විමසුවෙමි.
‘‘මගේ” ගුරුවරිය සෙමින් කීවාය.
‘‘ඇයි ඉතින් මේසෙ උඩ නිදි කරලා”
‘‘මේ දහම් පාසලේ පොඩි දරුවන්ට උගන්වන්න ගුරුවරුන් නැහැ. ඒක නිසා දරුවත් අරන් දහම් පාසල් එනවා” ඇය අහිංසකව පැවැසුවාය.
“ දරුවාගේ වයස කීයද?”
“මාස 5යි”
ඇය ඇගේ කතාව කියන්නට වූවාය.
“මම ඉස්කෝලෙ යන කාලේ ඉඳලා කොළඹ පරිසරයට හුරුවෙලා හිටියෙ ගෙවල් පෑලියගොඩ.
විවාහ වෙලා කල්පිටියට ආවෙ මහා ලොකු බලාපොරොත්තු තියාගෙන නොවෙයි.
සතුටින් ජීවත් වෙන්න විතරයි. මම ආපු දවසෙ ඉඳලා දැක්කෙ බෞද්ධයන් හැටියට මෙහේ ජනතාවට විඳින්න වෙලා තිබෙන දුක් ගැහැට.
පෝය දවසකටවත් බෞද්ධ කොඩිවලින් පාර සරසන්න හැකියාවක් නැහැ. අන්තවාදී පරිසරයක් නිර්මාණය වෙලා තිබුණෙ.
උතුරු නැඟෙනහිර බෞද්ධ සිද්ධස්ථානවලට සිදු වන විනාශය ගැන දැනගන්න ලැබෙන කොට මට දුව ලැබෙන්න හිටියෙ.
දරුවා ලැබෙන්න හිටියත් මම දහම් පාසල් ආවේ බෞද්ධ දරු දැරියන් වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න හිතාගෙනයි”
කල්පිටිය පාරේ දළුව ශ්‍රී සුමිත්ත දහම් පාසලේ ආචාර්යවරියක වන ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මි එහෙමත් නැත්නම් තුෂාරි මිස් අපට ඒ කතාව කිව්වෙ දළුව මාම්පුරි සුමිත්ත දහම් පාසලේදීය.
දහම් පාසල් එන ඇය දරුවා නළවා නිදිකරවා දහම් පාසලේ ගුරු මේසය උඩ තබා නෙට් එකෙන් වසා දරුවන්ට උගන්වයි. බලන් ඉන්න දුක හිතෙන ඒ දර්ශනය කාගේත් ඇස්වලට කදුළු උනයි.
‘‘පුත්තලම් දිස්ත්‍රික්කයේ බෞද්ධයන් අඩුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තමයි අපි මේ ඉන්නෙ. මගෙ ලොකු පුතා ඉස්කෝලෙට ඇතුළත් කළා. ඉන් පස්සේ ලොකු පුතා දහම් පාසලට ඇතුළත් කළා. දරුවත් එක්ක මමත් දහම් පාසල් ආවා. දෙවැනි දරුවා ලැබෙන්න ඉන්න කොට ගමන අපහසු වුණත් මම මේ පොඩි දරුවන් ගැන හිතලා අපහසුවෙන් වුණත් ආවා.
මම දහම් පාසල් නෑවිත් හිටියේ දුව ලැබෙන්න රෝහල් ගත වෙච්ච දවස් කිහිපයයි තවත් මාසයක් දෙකක් හැරෙන්න මම දහම් පාසලෙන් ඈත් වුණේ නැහැ.
චූටි දුව ලැබුණට පස්සෙ මම කල්පනා කෙළේ දහම් පාසලේ දරුවන්ට උගන්වන්නෙ කොහොමද කියලා.
ඒ වේලාවෙ තමයි මට සිහියට ආවේ දරුවත් අරගෙනම දහම් පාසලට ගියා නම් දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු කරලා දෙන්න පුළුවන්නේ කියලා.
මමයි මහත්තයි දරුවන් දෙන්නයි විතරයි ගෙදර ඉන්නේ. මහත්තයා වුණත් මේ එන ගමනට කිසිම අකමැත්තක් නැහැ.
පස්මස් දියණිය සහ පුතු සමඟ දවසේ වැඩකටයුතු කිරීම අසිරුය. එහෙත් ඇය කාලය කළමනා කරගනී.
පුතුට කවා පොවා බිලිඳියද සුදානම් කරගෙන හිමිදිරියේම ඇය දහම් පාසලට පැමිණෙයි.
දහම් පාසලේදී උදෑසන සම්බුද්ධ පූජාව ආරම්භ වූ පසුව ඇය සිඟිත්තාට කිරි පොවා නිදි කරවයි.
දරුවා අවදි වීමට පෙර ඇය සිසු දරුවන්ට උගන්වයි. දරුවා අවදි වූ පසු ධර්මශාලාවේ පසෙකට වී යළිත් කිරි පොවයි. දහවල් 12.00 වන තුරුම ඇය දහම් පාසලේ රැඳී සිටින්නේ එසේය.
“මගේ මහත්තයාට ස්ථිර රැකියාවක් නැහැ. එයා බොහෝම හොඳ කෙනෙක්. මම එයාට තේරුම් කරලා දීලා තියෙන්නේ අනුන් වෙනුවෙන් කරන යහපත් දෙයක් විතරයි අපට ඉතිරි වෙන්නේ කියලා.”
කොතරම් බාධක අගහිඟකම් තිබුණ ද ඇය ඇගේ හොඳ ගති ගුණවලට මුල්තැන දෙයි. ඇගේ සේවය පිළිබඳ අපට පැවැසුවේ විහාරාධිපති සුමිත්ත ස්වාමීන් වහන්සේය.
‘‘තුෂාරි ගුරුතුමිය දරුවන් වෙනුවෙන් පුදුමාකාර මහන්සියක් වෙනවා. මේ පළාතේ බෞද්ධයන් සියයට 3යි ඉන්නෙ. සිංහල අය ඉතාම අඩුයි. පෝය දවසට, කඨින පින්කමකට බෞද්ධ කොඩියක්වත් දාන්න අපහසු තත්ත්වයක් තියෙන්නේ, නමුත් අපි ආගමික සහජීවනය රැකගන්න ඕනෑ නිසා දබර කර ගන්න යන්නෙ නැහැ. පෝය දවසට ශබ්දයෙන් බණක්වත් දාන්න බැරි තත්ත්වයක් උදා වී තියෙන්නෙ.
දහම් පාසල පවත්වාගෙන යන මේ විහාරය අවුරුදු 468ක් පැරැණියි. විදේශවලින් ආපු මිෂනාරිවරුන් පන්සල අල්ලාගෙන හිටියේ. මේ පන්සලේ එදා තිබුණු පිරිවෙනත් ගිය අවුරුද්දේ නැවත පටන් ගත්තා”
මාම්පුරි, දළුව, අන්තර් සමුද්ද පිරිවෙන් විහාරයේ දහම් පාසලේ අඩු පාඩු එමටය. ධර්ම ශාලාවේ පවත්වාගෙන යන්නේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති කාමර පමණි. 6 ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන්නේ එළි මහනේය. ගස් ගල් යට අකුරු කරනා මේ දරු දැරියන්ට තුෂාරි ගුරුතුමිය දැඩි කැපවීමෙන් උගන්වති. ගුරුවරු 14ක් සිටින දහම් පාසලේ දරු දැරියෝ 200ක් පමණ ඉගෙනුම ලබති.
වැසි කාලයට එළිමහනේ පන්ති පැවැත්වීම අසීරුය. එවිට සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ වේ. බොහෝ පහසුකම් නැති වුව ද දරුවන්ගේ නුවණ පෑදීමට තම කාලය සේවය කැප කරන තුෂාරි මිස්ලා වැනි ගුරුවරු රටටම ආදර්ශයකි.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත