Gossip

“සනීපාරක්ෂක තුවා ගැන වේදිකාවක කතා කිරීමෙන් විහිළුවට ලක්වෙන්න පුළුවන්” – “කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සම්බන්ධ කාරණය තිබුණේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ.”

ශ්‍රී ලංකාවේ ජනපති පදවියට තේරී පත්වුවහොත් රජයේ රැකියා පුරප්පාඩු සඳහා ලබා දෙන සියලුම පෝරමවල “ජාතිය” සහ “ආගම” සඳහන් කළ යුතු තීර ඉවත් කරන බව ජනපති අපේක්ෂිකා ආචාර්ය අජන්තා පෙරේරා පවසයි.
බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටි ඇය, “අපේ රටේ මෙතෙක් කල් රජයේ සියලුම පුරප්පාඩු, රස්සාවල් දුන්නේ ජාතිය දිහා බලල, ආගම දිහා බලල. සබඳතා දිහා බලල. මේක ජාතික අසමගියට හේතුවක් වුණා,” යනුවෙන් ද සඳහන් කළාය.
“රජයේ පෝරමවල තියන ආගම සහ ජාතිය ඉවත් කළාම ඉතුරු වෙන්නේ සුදුසුකම් සහ දක්ෂතා පමණයි.
මේ තුළින් මට හැකියාවක් ලැබෙනවා උතුරේ දරුවන්ටත් දකුණේ දරුවන්ටත් එක හා සමානව රැකියා පහසුකම් මේ රට තුළ ඇති කරලා ලොකු බලාපොරොත්තුවක් දෙන්න අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් බව.”
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර එවැනි සංහිඳියාවක් ඇති කොට රටේ ඉදිරි දියුණුවට මග සලසන බව ද ඇය පවසන්නීය.

පරිසර අමාත්‍යාංශය
තමන් බලයට පත්වුවහොත් විධායක ජනාධිපති ධුරය “අනිවාර්යයෙන් අහෝසි කොට” අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ කටයුතු විපරම් කිරීම පමණක් ජනාධිපතිට භාර කරන බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි ආචාර්ය අජන්තා පෙරේරා පවසන්නේ තමන් බලයට පත්වුවහොත් පරිසර අමාත්‍යාංශය ද වහා ම අහෝසි කරන බවය.

ජාත්‍යන්තර කීර්තියට පත් පරිසරවේදිනියක වන ඇය, ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ තරග වදින තුන් වන කාන්තාවය.
මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින එක ම අපේක්ෂිකාව ඇයයි.
කවුරුන් අමාත්‍ය පදවිය දැරුව ද පරිසරය ආරක්ෂා කර ගැනීම පිණිස ඔහු හෝ ඇය දරන බොහෝ උත්සාහයන්ට කැබිනට් මණ්ඩලයේදී නිසි සහයෝගයක් නොලැබෙන බව ආචාර්ය අජන්ත පෙරේරාගේ අදහසය.
“මා ජනාධිපති වූ විගස ම පරිසර අමාත්‍ය ධුරය සම්පූර්ණයෙන් නැති කරලා දානවා.
මොක ද පරිසර ඇමතිතුමෙක් හිටිය කියල ඔහුට තීරණ ගන්න බෑ. අනිත් අමාත්‍යවරු ඔහුගේ හඬට කන් දෙන්නේ නෑ.”
අම්ම කෙනෙක් මේ දේවල් ගැන කතා කිරීම ප්‍රශ්නයක් නෑ නමුත් මම හිතන්නේ වෙනත් පාර්ශවයක් මේ දේවල් ගැන කතා කළොත් ඒකෙන් සමාජයට පහරක් වදිනවා.
ඒක වේදිකාවක කතා කරලා විහිළුවට ලක්වෙන්න පුළුවන් බව දැන දැන ඒ ගැන කතා කරනවා කියන්නේ මම හිතනවා අනුවන කමක් කියල
ආචාර්ය අජන්තා පෙරේරා
ඇය පවසන්නේ, පරිසර අමාත්‍ය ධුරය වෙනුවට මධ්‍යම පරිසර අධිකාරියට වැඩි බලතල ලබා දී, එය ස්වාධීන ආයතනයක් බවට කරන බවය.
ඉන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන එයට අනුබද්ධ කොට “ඔවුන් තුළින් පසු විපරම් කිරීම්, අධීක්ෂණ කටයුතු කිරීම” ඇයගේ සැලසුමය.
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ක්‍රියා කළ නොහැකි බව රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් සනාථ කොට තිබෙන බැවින් රටේ ඉදිරි ගමන උදෙසා ජනපතිවරණයට ඉදිරිපත් වූ බව පවසන ආචාර්ය අජන්තා පෙරේරා, “අවුරුදු 77 ක් මේ හැම දෙනාම කරලා තියෙන්නේ රට ඇදලා බිමට තල්ලු කිරීම. ඔවුන් හම්බ කරගන්නවා ඔවුන් පෝසත් වෙනවා නමුත් රට බිමට අදාල දානවා.”

සනීපාරක්ෂක තුවා
කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන බවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයත් සමග පොදුවේ කාන්තාවන් මුහුණ දෙන ස්වභාවික සංසිද්ධියක් වන මාසික ඔසප්වීම සහ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මතු වූ සංවාදය ගැන ආචාර්ය අජන්තා පෙරේරා එතරම් ප්‍රසාදයක් නොදක්වනීය.
“කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සම්බන්ධ කාරණය තිබුනේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. අන්තර්ජාලය ඔස්සේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මම එළිදක්වුවේ දැන් සති හතරකට විතර කලින්. කාන්තාවක් විදියට මම ඒ ගැන කතා කළා,” ඇය පවසන්නීය.
“අම්ම කෙනෙක් මේ දේවල් ගැන කතා කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් මම හිතන්නේ වෙනත් පාර්ශවයක් මේ දේවල් ගැන කතා කළොත් ඒකෙන් සමාජයට පහරක් වදිනවා. අපිට ඕනේ, කෙනෙක්ගෙන් ගරුත්වය, ආදරය ලබාගන්න. නමුත් ඒක වේදිකාවක කතා කරලා විහිළුවට ලක්වෙන්න පුළුවන් බව දැන දැන ඒ ගැන කතා කරනවා කියන්නේ මම හිතනවා අනුවන කමක් කියල.”
කෙසේ වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ බොහෝ කාන්තාවන් ඒ සංවාදය අනුමත කර තිබුණු බව පෙන්වා දුන් විට ආචාර්ය අජන්තා පෙරේරාගේ ප්‍රතිචාරය වූයේ, “මේ දේට වඩා බරපතල ප්‍රශ්න කාන්තාවන්ට තියෙනව,” යන්නය.
“අපේ ඇඟලුම් කම්හල්වල ඉන්න කාන්තාවෝ පැය අටක් එක දිගට වැඩ කරනවා. වැඩ කරලා හම්බ වෙන්නේ 15,000 ක් නැත්නම් 18,000 ක්. වතුකරයේ කාන්තාවන්ගේ අත් දෙක දිහා බැලුවොත් අත් දෙක ගන්න දෙයක් නෑ ඔක්කොම කැපිල. නමුත් ඒගොල්ල ගෙදර ගියාම වතුර ටිකක් නෑ. ඔවුන්ට අවුරුදු 40 ක් වැසිකිලියක් නෑ. අද කාන්තාවෝ පාර දිගේ ඇවිද ඇවිද යනවා සල්ලි හම්බ කරන්න. බ්ලුමැන්ඩල් මීතොටමුල්ලේ කානතාවෝ ජීවත්වෙන්නේ ලෑලි ගහපු පොලිතින්වලින් ආවරණය කරපු ගෙවල්වල. එවැනි තත්ත්වයක ඉන්න කානතාවට අනිත් දේවල් අදාළ නෑ. කාන්තාවකට අවශ්‍ය බලාපොරොත්තුව, සතුට, දරුවාගේ අධ්‍යාපනය.”
විශේෂයෙන් ම පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අතර ජාතීන් අතර අවිශ්වාසය වර්ධන වීමත් හමුවේ ජාතික සමගිය ප්‍රවර්ධනය උදෙසා ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්න බීබීසී සිංහල සේවය ඇය වෙත යොමු කළ ප්‍රශ්නයකි.
ඒ සඳහා විශේෂයෙන් ම සංවර්ධනය වෙනුවෙන් බලය බෙදා හරිය යුතු බව ඇයගේ ස්ථාවරය වී තිබේ.
“අපේ සිංහල, දෙමළ, මුස්ලිම් අය අතරේ ලොකු විරසකයක් තියෙනව. අපි එකිනෙකා විශ්වාස කරන්නේ නෑ.
උතුරේ ජනතාවට තමන්ගේ සිහිනය සැබෑ කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. උතුරේ නැගෙනහිර ජනතාවගේ සිහිනය තමා තමන්ගේ ප්‍රදේශය සංවර්ධනය කර ගැනීම. ඔවුන්ට ඒ බලය දිය යුතුයි. මා විශ්වාස කරන දේ, උතුරේ වවුනියාව අගනුවරක් විය යුතුමයි. පුත්තලම නගරය අගනුවරක් විය යුතුමයි. හැම දා ම කොළඹ තියාගෙන ඉන්න බෑ අපේ බලය. බලය බෙදිය යුතුමයි.”
තමන් බලයට පත්වුවහොත් උතුරු නැගෙනහිර ජනතාවගේ බොහෝ ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබාදෙන බවත් ප්‍රථම වරට සමාජවාදී පක්ෂයකින් ඉදිරිපත් වූ කාන්තාව පවසන්නීය.

ජනාධිපතිවරණය: දෙමළ ජනතාව ඉල්ලන්නේ කුමක් ද?
“ඉඩම් බලය බෙදා දීමට එකඟයි. මා ජනාධිපති වුනොත් මාස තුනක් ඇතුළත ඒ ප්‍රශ්නය විසඳනවා. වවුනියාවට අවශ්‍ය දේ තමා කාර්මික කලාප. පුත්තලමට අවශ්‍ය කාර්මික කලාප.”
දශක ගණනාවක යුද ගැටුම් පැවති සමයේ සිය ස්වාමි පුරුෂයාට, පුතුට හෝ සමීප ඥාතියාට සිදු වූයේ කුමක් දැයි සොයමින් වේදනාවෙන් ගතකරන උතුරේ දහස් සංඛ්‍යාත කාන්තාවන් ගැන විමසූ විට ඇය කියා සිටියේ, “ඔවුන්ට අවශ්‍ය සහනය තමා සත්‍යය සොයා දීම,” බවය.
“මම ඇත්ත හොයල දෙනවා. හදවතේ ප්‍රශ්නාර්ථ තියෙනව නම් එතන තියෙන්නේ වේදනාවක්. අපි තාමත් පාඩම් ඉගෙනගෙන නෑ.”
සුනාමි ව්‍යසනය අවස්ථාවේ දස දහස් සංඛ්‍යාත ඥාතීන් අහිමිවීමෙන් වේදනාවෙන් හඬා වැටුණු දකුණේ ජනතාව, බොහෝ දෙනා, තවමත් උතුරේ ජනතාවගේ හදවත් පෙලන වේදනාව වටහාගෙන නැති බව ආචාර්ය අජන්තා පෙරේරා වැඩිදුරටත් සඳහන් කළාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!