‘‘මම 4 වැනි පන්තියේ ඉඳලම අත කරකවල බෝල් කළා. ඒ කාලයේ ගොඩක් ටෙනිස් පන්දුවෙන් ක‍්‍රීඩා කළා. මම හය වසරේදී වයස අවුරුදු 13 න් පහළ කණ්ඩායමට ක‍්‍රීඩා කළා. මම කඩුලූ රකින්නා වශයෙන් තමයි අවුරුදු ක‍්‍රීඩා කළේ. අවුරුදු 15 න් පහළ කණ්ඩායමෙත් කඩුලූ රකින්නා මම. 15 න් පහළ කණ්ඩායමේ නායකයා කඩුලූ රකින්නා වුණ නිසා මට ස්ථානය නැති වුණා. ඊට පස්සෙ මම යහළුවන් එක්ක පාරේ බෝල් ගහනවා දැකලා අපේ පුහුණුකරන අයියා කෙනෙක් මාව මැච් එකකට එක්ක ගිහින් බෝල් කරන්න දුන්නා. මම ඒ තරගයේදී කඩුලූ තුනක් දවා ගත්තා. එතන ඉදන් ජාතික කණ්ඩායම දක්වාම ආරම්භක පන්දු යවන්නා වශයෙන් ක‍්‍රීඩා කළා.’’
‘‘1991 දී මාව පළමු වරට ජාතික කණ්ඩායම සමඟ සංචාරයකට තේරුණා. ෂොයිබ් මොහොමඞ් තමයි මම මුලින්ම දවා ගත්ත පිතිකරුවා වුණේ. පාකිස්තානය ඒ කාලයේ ලෝකයේ හොඳම කණ්ඩායම. ඉම්රාන් ඛාන්, රමීස් රාජා, වසීම් අක‍්‍රම්, වකාර් යුනිස් වගේ ක‍්‍රීඩකයන් ඔක්කොම ඒ කණ්ඩායමේ හිටියා. පාකිස්තාන් විනිසුරුවන් ඒ තරගයේදී අපිට ගොඩක් අසාධාරණ කළා. නමුත් සනත්, ගුරුසිංහ, හෂාන් හොඳින් ලකුණු ගැහුව්වා.
‘‘මට මතකයි පාකිස්තනය සමග තරගයකදී සනත් ජයසුරියගේ ඇඟ පුරාම බෝල් වැදිලා වේදනාවෙන් කඳුළු බේරෙනවා. වකාර්ගේ යෝකර් එකක් වැදිලා මගේ කකුල ඉදිමිලා සපත්තුව දාගන්නත් බැහැ. ඊට පස්සෙ සපත්තුව කපලා තමයි බෝල් කළේ. හතුරුසිංහගේ ඔළුවේ බෝලෙ වැදිලා එයා පිට්ටනියටවත් එන්නෙ නැතිව විවේක ගත්තා. ඒ තරගයේදී මම කඩුලූ පහක් දවා ගත්තා. ඒ තරගයෙන් පස්සෙ මාස පහකට පසුව තමයි ආයිත් තරගයට ආවේ. එතකොට අර කඩුලූ පහ වැඩක් නැහැ. ආයිත් ‘ඒ’ කණ්ඩායමට ක‍්‍රීඩා කරලා තමයි කණ්ඩායමට එන්න වුණේ.’’
‘‘ඒ කාලයේ මට සහයට වේග පන්දු යවන්නෙක් හිටපු නැති එකත් මට ටිකක් පාඩු වුණා. මොකද ගොඩක් වෙලාවට එකම වේග පන්දු යවන්නා වුණේ මම. මුරලිදරන් සහ දොන් අරුණසිරි වගේ දඟ පන්දු යවන්නන් හිටියා. මගෙත් එක්ක අලූත් පන්දුවෙන් එක පැත්තකින් පන්දු යැව්වෙ අසංක ගුරුසිංහ. කොහොම හරි 1995 වෙනකොට අපේ ක‍්‍රිකට් වෙනස් වෙන්න ගත්තා. ඇලෙක්ස් කොන්ටෝරි ඇවිල්ලා අපේ ෆ‍්‍රිසිකල් ෆිට්නස් හොඳට කළා.‘’
‘‘එදා අර්ජුන අයියගේ ප්ලෑන් එකට බෝල් කළේ නැතිනම් එඳලා හමාරයි. පට්ට බැණුම් තමයි. අර්ජුන අයියට තරහ ගියාම අත්දෙක ඉනට යනවා. එතකොට අපි දන්නවා බැණුම් තමයි කියලා. මගේ පන්දුවලට පිතිකරුවෙකු හයියෙන් ගැහුව්වොත් කැප් එක ගන්නෙත් නැතිව මම ෆයින් ලෙග් එකට යනවා. එතකොට අර්ජුන අයියා පස්සෙන කෑ ගහනවා ඒයි විකි..විකි…විකි කියලා. මම දන්නවා බනින්න තමයි කතා කරන්නේ කියලා ඇහුන් නෑ වගේ යනවා. එයත් එක්ක පිට්ටනියෙදි යාළුකම් තියා ගන්න බෑ. අපේ වැඬේ විතරයි කරන්න ඕන.’’
‘‘මට කණ්ඩායමේ හිටපු හොඳම යහළුවා තමයි මුරලිදරන්. හැබැයි එයා ප්ලාස්ටික් කප් එකකට වීදුරුවක් කිව්වත් කවුරුවත් තර්ක කරන්න යන්නෙ නෑ. හැබැයි මම තර්ක කරලා දිනනවා. ඊට පස්සෙ අපි දෙන්න ආයිත් කතා කරන්නේ නැහැ කියලා තරහා වෙනවා. පහුවෙනිදාට එයා ඇවිත් අහනවා විකී කෑවද කියලා. ඊට පස්සෙ ආයිත් යාළුයි. දකුණු අප‍්‍රිකාවේ සංචාරයකදී අපි සෆාරියක් එක්කරගෙන ගියා කොටි පෙන්වන්න. හැබැයි හවස් වෙනකම් එක කොටියෙක්වත් දැක්කෙ නැහැ. කරුවල වැටුණම ගහන ලයිට් එක තිබුණෙ මගේ අතේ. ඒක සැර එළියක් තියෙන්නෙ. මම ලයිට් එක වටේට අල්ලනගමන් එක පාරට මුරලිගෙ මුණට ටෝච් එක ඇල්ලූවා ඔන්න කොටියා කියලා. එයාට හොඳටම කේන්ති ගිහිල්ලා මට ගහලා ජීවිතේට කතා කරන්නෙ නැහැ කියලා තරහා වෙලා හිටියා. හැබැයි දවස් දෙකකින් ආයිත් අපි දෙන්නා යාළු වුණා.’’
අසේල විතාන
