රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍ය වැඩිම ප්‍රමාණයක රඟපාන නළුවා ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. නිවේදකයෙක් ලෙස ක්ෂේත්රයට පැමිණ රංගන ශිල්පියෙක් වූ ඔහු සිතිජ ජයසේකරයි.
රඟපාන්න බැරි තරමට ටෙලි නාට්‍ය ගොඩගැහිලද?
විකාශනය වන නාට්‍ය කීපයක්ම තියෙනවා. හැම චැනල් එකකම වගේ මම ඉන්න නාට්‍යයක් තියෙනවා. ඒ වගේම රංගනය අවසන් කරපු නාට්‍ය 16ක් විකාශය වීමට නියමිතයි.
කොහොමද රංගන ශිල්පියෙක් වෙන්නේ?
මම කවදාවත් රඟපාන්න හිතපු කෙනෙක් නෙවේ. සී.එස්.එන්. එකේ නිවේදකයෙක් හැටියට තමයි ක්ෂේත්රයට ආවේ. ඊට පස්සේ වැඩසටහන් කීපයක් කළා. ඉස්සර නළු නිළියෝ එක්ක ටීවී වැඩසටහන් මෙහෙයවනකොටත් හිතුවේ නැහැ නළුවෙක් වෙයි කියලා. කැම්පස් එකේ ඉගෙන ගත්තෙත් මාස් මීඩියා. අවසානයේ නළුවෙක් වුණා.
කොතැනින්ද පටන් ගත්තේ?
මේ කතාව මම හැම තැනම කියලා තියෙනවා. රවින්ද්‍ර විජේරත්නගේ නාට්‍යයකින් තමා මම පටන් ගත්තේ. නමුත් පසුකාලීනව ඒ අය ඔවුන්ගේ නිර්මාණවලින් මාව අයින් කළේ හිත කලකිරෙන විදිහට. ඔබ මගේ ආරම්භය ගැන ඇසූ නිසා කිව්වා මිසක් නැත්නම් මම ඒ ගැන කතා කරන්න අකමැතියි.
ඔබ රසිකයන්ගේ ආදරය ලබන කලා තරුවක් වෙන්නේ කොතැනින්ද?
මාව තරුවක් කළේ ‘සංගීතේ’ ටෙලි නාට්‍යය.
නමුත් ඔබ සංගීතේ නාට්‍යයෙන් අතුරුදන් වෙනවා?
මම හිතන්නේ සංගීතේ නාට්‍යයේ මගේ කොටස ඉවරයි. හරිම ආසාවෙන් රඟපාපු චරිතයක්. සංගීතේ නාට්‍යයෙන් මේ තරම් ඉක්මනට ඉවත් වීම ගැන තියෙන්නේ වේදනාවක්. මොකද මාව බොහෝදෙනා හඳුනාගත්තේ එතැනින්.
ඔබ වෘත්තීය මට්ටමේ නළුවෙක්ද?
නැහැ, මම මගේම ඇඳුම් ව්‍යාපාරයක් කරනවා. මේ ක්ෂේත්රයේ රඟපාලා විතරක් ජීවත් වෙන්න අමාරුයි.
පහුගිය දවස්වල මොකද කළේ?
ගෙදරට වෙලා ඉන්න හොඳ නිවාඩුවක් ලැබුණා. බලන්න බැරි වෙච්ච හින්දි චිත්‍රපට 92ක් බැලුවා. මම ආසයි හොලිවුඩ්, බොලිවුඩ් නිර්මාණ බලන්න. එක ෆිල්ම් එකක් මගහරින්නේ නැහැ. ඒවා බලලා මගේ රංගනයට බොහෝ දේවල් එකතු කරගන්නවා.
මෑතක කරපු හොඳම චරිතය මොකක්ද?
මින්නේරියේ ටෙලි නාට්‍යයක් කළා ‘ගමනේ යා’ කියලා. හරියටම මාසයක් එහෙ නතර වෙලා උන්නා. ඒක තනිකරම හමුදා පුහුණුවක්. කොළඹ එනකොට ගල්අඟුරු කෑල්ලක් වගේ මාව කළුවෙලා. හැබැයි හොඳ ආමි ට්‍රේනින් එකක් ගත්තා.
ක්ෂේත්රයේ සතුටින්ද වැඩ කරන්නේ?
සතුට අසතුට දෙකම තියෙනවා. සමහර අයගේ වැඩ ගැන අතිශයින්ම කලකිරෙන අවස්ථා තියෙනවා. නමුත් සියල්ල අමතක කරලා මගේ තෘප්තිය වෙනුවෙන් රඟපානවා.
මොනව ගැනද කලකිරීම?
මම ඕන කෙනෙක්ට උදව් කරනවා. නමුත් පණ ඇරලා උදව් කරපු අය තැනකට ගිහින් අපිව කපනකොට දැනෙන්නේ මාර කලකිරීමක්. එහෙම අය මේ ක්ෂේත්රයේ ඉන්නවා.
ඒ කියන්නේ ක්ෂේත්රයේ ප්‍රශ්න තියෙනවා?
කල්ලිවාදය තියෙනවා. සමහර ඩිරෙක්ටර්ලා ඉන්නවා එකම කට්ටියක් තමා නිර්මාණවලට තෝරගන්නේ. හැබැයි ස්වාධීනව වැඩ කරන රත්තරන් මිනිස්සු ටිකකුත් ඉන්නවා.
මේ ප්‍රශ්න මැද්දේ ඔබට වැඩ ලැබෙන්නේ කොහොමද?
මම වැඳගෙන වැඩ ඉල්ලාගෙන නම් යන්නේ නැහැ. මගේ දක්ෂතාවට සාධාරණයක් කරන කෙනෙක් ළඟ සතුටින් වැඩ කරනවා.